විශේෂාංග

නැවෙන් එනකල් ඉන්නවද? ගෙදරම හදාගන්නවද?

ගෙවත්තේ එළවලු පාත්ති ටික දකිද්දි සඳමාලිට දැනුණේ ලොකු සතුටක්. කවුරු කොහොම මොනවා කිව්වත්, කාබනික වගාව තමන්ගේ ගෙවත්තට නම් නපුරු වෙලා නෑ කියලයි ඇයට හිතුණේ. බටු, වම්බටු, මෑ, බණ්ඩක්කා, තක්කාලි, මාලු මිරිස් වගේම අමුමිරිස් පාත්ති ටිකත් හරි අපූරුවට ඇය හා හිනාවෙමිනුයි උන්නේ.

ටීවී එකේ පොහොර නැතුව නිස්සාර වුණු කුඹුරු යායවල් ළඟ ඇමතිගේ පඹයෝ පුච්චනවට වඩා පොඩි හරි උත්සාහයක් යෙදුවා නම් සාර්ථක වගාවක් වගා කන්න දෙක තුනකින් හරි ගොඩදාගන්න තිබුණා නේද කියලා සඳමාලිට හිතුණා.

සඳමාලිත් මුලින් හිටවපු මාලු මිරිස් පැළ ටික කෙඩෑරි වෙද්දී වැඩේ අතහැරලයි තිබුණේ. ඒත් කෘෂිකර්ම උපදේශිකා ස්වර්ණලතා සී.සගරන්දෙණිය මහත්මිය මුණගැහුනට පස්සේ කාබනික වගාව ගැන අලුත් බලාපොරොත්තුවක් සඳමාලිට ඇතිවුණා.

ඒ විතරක් නෙවෙයි සඳමාලි කාබනික වගාවයි රසායනික වගාවයි අතර වෙනසත්, එහිදී පසට සිදුවන හොඳ නරක බලපෑමත් ගැන දැනගත්තා. කාලයක් රසායනික පොහොරවලට හුරුවුණු පස ඒ අනුව හැඩ ගැහෙනවා. එහිදී පසේ ගුණාත්මක බව වර්ධනය කරන ක්ෂුද්‍ර ජීවීන්, අනෙකුත් කෘමි සතුන් හා ගැඩවිල්ලන් වැනි සතුන් විනාශ වෙනවා. එවිට පස තුළ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නොමැතිවීමෙන් පස හිරවී, වැලි සහ මැටි ගතිය වැඩිව පස නිසරු වීම සිදුවෙනවා. එවිට රසායනික පොහොර යොදන්නට වෙනවා. මේ තත්ත්වය තුළ කොම්පෝස්ට් පොහොර යෙදුවත් පළමු කන්නයේදී අස්වනු අඩුවෙන්න හේතුවෙනවා. ඒත් වගා කන්න තුන හතරකදී මේ තත්ත්වය හොඳ අතට වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාම කාබනික පොහොරවල වැදගත්කමත්, සෞඛ්‍යාරක්ෂාව ගැනත් හිතන කෙනෙකුට කොම්පෝස්ට් ටිකත් ගෙදරදිම හදාගන්න හැකියාව පවතිනවා.

‘‘කොම්පෝස්ට් පොහොර පසට යෙදීමෙන් පස සරු කරන්න උපකාරී වන ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා. මෙය කන්න දෙක තුනක් යොදද්දී පසට හොඳින් වාතාස්‍රය, තෙතමනය සහ පැළෑටිවලට අවශ්‍ය ​අනෙකුත් සාධක වර්ධනය වීම තුළින් ශාඛවල හොඳ මූල මණ්ඩලයක් ඇති වී වගාවෙන් හොඳ අස්වැන්නක් ලබාගන්න හේතුවෙනවා. අතීතයේ හේන් ගොවිතැන, ගොඩ කුඹුරු ගොවිතැන වගේම මඩ වී ගොවිතැනේ නිරත වූ බොහෝදෙනෙක් කොළරොඩු දිරාපත්වන්නට ඉඩ හැර පසට එක්කිරීමෙන් පස සරු කරගත්තා. ඒ වගේම කාලාන්තරයක් වගාකළ බිම් නිසරු වුණහම ඉස්සර ගොවීන් කොළරොඩු වැටිලා දිරාපත්වුණු අලුත් වගාබිමකට ගියේ ස්වභාවිකව දියුණු වූ පසෙහි වැදගත්කම නිසයි.’’

ක්‍රමයෙන් ජනගහනය වැඩිවෙද්දී තිබෙන ඉඩකඩේ, ස්වභාවිකව පස සරුවනතුරු බලා නොඉඳ විටෙක ආර්ථිකය ශක්තිමත් කරගැනීමට රසායනික පොහොර භාවිතයට යොමුවූ බවත් සැබෑවක්. ඒ වගේම තව පිරිසක් තමන්ගේ ගව ගාලේ, එළු ගාලේ කොළ අතු, අමු ගොම, එළුවන්ගේ මළද්‍රව්‍ය, දිගු කාලයක් දිරාපත් වූ කුකුල් මළද්‍රව්‍ය වගේම නිවසේ මුළුතැන්ගෙයින් ඉවත් කරන අළු ටික එක්කිරී‍මෙන් පසෙහි ගුණාත්මක බව වැඩිදියුණු කරගත්තා.

කෘෂි කර්මාන්තය දියුණු තත්ත්වයට එද්දී, ක්‍රමවත් ආකාරයට කොළරොඩු හා අනෙකුත් ද්‍රව්‍ය දිරාපත් වීමට සලස්වා කොම්පෝස්ට් වශයෙන් සකස්කර පසට එක්කිරීමේ වැදගත්කම මේ වනවිට බොහෝදෙනා අවබෝධ කරගෙන තිබෙන්නක්.

තමන්ගේ ගෙදර මිදුලේ වැටෙන කොළ ටික ඇතුළු ​අනෙකුත් ද්‍රව්‍ය කොම්පෝස්ට් තත්ත්වයට පත්කරගන්න හැටි කෘෂිකර්ම උපදේශිකා සගරන්දෙණිය මහත්මිය තවදුරටත් විස්තර කර දුන්නා.

‘‘පළමුවෙන්ම කොම්පෝස්ට් සාදාගන්න සුදුසු සමතලා බිමක් හෝ සුදුසු බඳුනක් අවශ්‍යයි. මේ සඳහා වැසි ජලය නොරැඳෙන තැනක් වගේම අදාළ ද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත්වෙද්දි ඉන් නිපදවෙන දියරය පිටතට ගලායාමට නොදී ඒ තුළ රඳවාගැනීම අවශ්‍යයි. ඊට තාවකාලික මඩුවක් සකස් කරගැනීම වඩාත් සුදුසු වෙනවා. මෙහිදී අඩි තුනක් පමණ උසට, අඩි හතරක් පළලට වගේම දිගින් අඩි දහයක් හෝ දොළහක් වන පරිදි මෙම ඉඩ සකසා ගැනීම කළ හැකියි. මෙහිදී කොම්පෝස්ට් සෑදීමද ක්‍රම තුනක් යටතේ සිදු කරනවා. ඒ ගොඩ ක්‍රමය, වළ ක්‍රමය හා උෂ්ණ ක්‍රමයට අනුවයි.’’

සඳමාලි බොහෝ උනන්දුවෙන් මෙම උපදෙස්වලට ඇහුම්කන් දුන්නා. ඇයට හිතුණේ ගෙදරම පුංචි ව්‍යාපාරයක් විදියට කොම්පෝස්ට් පොහොර හදලා අලෙවි කරලා අමතර ආදායමක් උපයාගන්නා හැටියි.

‘‘කොම්පෝස්ට් ටිකක් වැඩිපුර නිපදවන්න බලාපොරොත්තු වෙනවනම් ඊට සුදුසුම ක්‍රමය ගොඩ ක්‍රමයයි. එහිදී ලකුණු කරගත් භූමියේ ඉන් පෙර සකසාගත් කොම්පෝස්ට් පොහොර ටිකක් ඇතිරීම පළමුව කරන්න. එවිට අලුත් කොම්පෝස්ට් ගොඩ දිරාපත්වීම ඉක්මන් වෙනවා. අනතුරුව අඩි දෙකක් පමණ උසට කොළ ඇතුළු දිරාපත් වන ද්‍රව්‍ය ඇතිරීම කළ යුතු වෙනවා. පසුව එය හොඳින් තදකළ යුතුයි. කොම්පෝස්ට් නිපදවීම සඳහා ගිලිඩිසීරියා, පිදුරු, මී ගස්වල අතු, මී ගස් යට වැටී ඇති වවුලන්ගේ අසූචි, පාවට්ටා අතු, දාස්පෙතියා ගස් (මල් පිපීමට පෙර), සිහින්ව කපාගත් ඉවතලන කෙසෙල් කඳන්, එළුවන් ගවයන් කා ඉතිරිවෙන කොළ, එම සතුන්ගේ ගොම යොදා ගන්නවා. පහසුවෙන් දිරාපත්වෙන ඉහත ද්‍රව්‍ය ගොම දියරෙන් හෝ ජලයෙන් තෙත් කළ යුතුයි. ගොම දියර හෝ ජලය යොදා නැවත සති දෙකකට පසු පෙරලාගත යුතු වෙනවා. නැවතත් තට්ටු ලෙස ගොම දියර හෝ ජලය දමා මාස දෙකක් යනතුරු සති දෙකෙන් දෙකට මෙය කළ යුතුයි. මාස තුනකට පසු කොම්පෝස්ට් සෑදී තිබෙනවා ඔබට දැකගත හැකියි.

වළ ක්‍රමයේදී කොම්පෝස්ට් වළ වැසි ජලය ගලා නොයන උසකින් සාදාගැනීම කළ යුතු වෙනවා. එසේ නොමැතිනම් සවිමත් පස් වැටියක් හෝ යෙදීම උචිතයි. ගොඩ ක්‍රම​යේදී මෙන් මෙහිදීත් කොම්පෝස්ට් සකසා ගැනීම කළ හැකියි. මෙහිදී වළ තුළ කොම්පෝස්ට්​ ගොඩ පෙරලමින් කරන නඩත්තු කටයුතු සඳහා වළ තුළ අඩි තුනක පමණ ඉඩක් ඉතිරි කළ යුතුයි.

වඩාත් ඵලදායී අස්වැන්නක් ලබාගැනීමට නම් කොම්පෝස්ට් යෙදූ පස ​සේදී නොයන පරිදි සකස්කර ගැනීමටද සැළකිලිමත් විය යුතුයි. ක්‍රමවත් කාණු හා වැටි යෙදීම ඊට වැදගත් වෙනවා.

පොහොර ප්‍රශ්නය නිසා, එළවලු මිල ගණන් වැඩියි කියලා ළතැවෙන බොහෝ ගෘහණියන්ට මින් පස්සේ තමන්ගේ පුංචි වගාබිම සරු කරගන්න වගේම තමන්ගේ මහන්සියෙන් කොම්පෝස්ට් හදලා අවශ්‍ය නම් එය අලෙවි කරගන්නත් අපහසු නෑ.’’

ඇත්තටම එළවලු පැළයක්, මල් පැළයක් සරුවට ගෙමිදුලේ වැවෙද්දි හිතට එන සතුට කියලා නිම කරන්න බැහැ. ඉතින් ඒ සතුට තමන්ගේ ගෙදරට කැන්දගෙන එන එක ගෘහණියකට තවදුරටත් අමාරු දෙයක් නොවෙයි.

දීපා වසන්ති එදිරිසිංහ