විශේෂාංග

ඇඟිලි සළකුණු වෙනස් කරන්න පුළුවන්…. නමුත් ඒක නීති විරෝධියි!

ඇඟිලි සළකුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන අතර, පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීමේ නිර්ණායකයක් ලෙසද සැලකෙයි. කිසිවිටක දෙදෙනෙකුගේ ඇඟිලි සළකුණු සමාන නොවන අතර එකටම උපත ලබන නිවුන් දරුවන්ගේ වුවද ඇඟිලි සළකුණු වෙනස් වෙයි. එසේම එකම පුද්ගලයෙකුගේ ඇඟිලි දහය ගත්තත් එහි රේඛා සටහන් විවිධය.

ඇඟිලි සළකුණුවල ඇති මේ අනන්‍ය බව නිසා ඇතැම් අවස්ථාවල නීති රාමුවෙන් පිටත කටයුතු කරන්නන්ට තම ඇඟිලි සළකුණ බාධාවක් වන අවස්ථාද තිබේ. එවිට ඒවා වෙනස්කර ගැනීමට, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් වෙත පැමිණෙන්නන්​ හිඳී. විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කවින්ද රාජපක්ෂ මහතා මෙවර කතාබහ කරන්නේ ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතු කරුණු කාරණා පිළිබඳවයි.

ඇඟිලි සළකුණක ඇති විශේෂත්වය ගැන සඳහනක් කරමින්ම අපි මේ කතාබහට ප්‍රවේශයක් ගනිමු?

ඔව්. ඇත්තටම මුලින් කිව්වා වගේ මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ වගේම වැඩුණු පුද්ගලයෙකුගේ ඇඟිලි සටහන් මියයන තුරුම එකම ස්වභාවයක් ගන්නවා. කුඩා දරුවෙකු යෞවන වයසට පැමිණිවිට එම වර්ධන ස්වභාවයේ යළි වෙනසක් ඇති වෙන්නේ නෑ. ගුවන්ගමන් බලපත්‍රයට හෝ වෙනයම් ලියකියවිල්ලකට ඇඟිලි සටහන තැබූවිට එම සටහනේ වෙනසක් නොකළේ නම් එය පුද්ගලයාගේ නිශ්චිත අනන්‍යතාව පිළිබඳ සහතිකයක් වෙනවා. එසේ නොමැතිව යම් අනතුරකින් හෝ වෙනස් කිරීමකින් පසු එම අනන්‍යතාව වෙනසක් වෙනවා.

එහෙම ඇඟිලි සළකුණු වෙනස් කරන්න ඉල්ලීම් එනවද?

එය නීතිවිරෝධී වුවත් එවැනි ඉල්ලීම් එන අවස්ථා තිබෙනවා. අපරාධවලට, හොරකම්වලට සම්බන්ධ පුද්ගලයෝ නීතියේ රැහැනින් පලායාමට මෙවැනි උපාය මාර්ග අනුගමනය කරනවා. ඒ වගේම, මැදපෙරදිග රැකියාවල ගිහින් යම් යම් නීතිමය කටයුතුවලට මැදිවුණ අය වෙනත් නම්වලින් යළි මැදපෙරදිග රැකියාවලට යන අවස්ථා තිබෙනවා. එසේ යන අයවලුන් මෙසේ තම අනන්‍යතාව සඟවා කටයුතු කිරීමට ඇඟිලි සටහන් වෙනස් කරන්න පෙළඹෙනවා.

එය නීතිවිරෝධී කටයුත්තක් හෙයින් එය පහදා දී ආපසු හරවා යැවීමයි අප කරන්නේ. එහෙත් මුදලට එවැනි සැත්කම් කරන අයත් ඉන්නවා.

ඇඟිලි සළකුණු වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වූ වෙනත් ශරීර පිහිටීම් මොනවද?

ඇසේ රෙටිනාව කියන කොටසේ ලේ නහර පිහිටන රටාවක් තිබෙනවා. අක්ෂි ගෝලයේ ඇතුල් බිත්තිවල ලේ නහර පිහිටන ආකාරය අක්ෂීය පරීක්ෂණ උපකරණයක් මගින් බැලුවම එහි අතු බෙදී ගිය ආකාරය දැකිය හැකියි. මෙම නහර රටාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. දත්වල මූල පිහිටීමත් වෙනස්. ඒ වගේම ඇඟිලි තුඩුවල රටාවේ වෙනස සැලකිල්ලට අරගෙන ඇතැම් රටවල එම දත්ත ඉතා විධිමත් ආකාරයට පවත්වා​ගෙන යමින් අවශ්‍ය විටකදී අපරාධකරුවන්ව හඳුනාගන්නවා.

එය තවදුරටත් පැහැදිලි කරනවා නම්?

ඇමරිකාව වගේ රටක පුද්ගල හැඳුනුම්පතක් සකසද්දී එම ඇඟිලි සළකුණු දත්ත ගබඩාවක තියාගන්නවා. යම් පුද්ගලයෙක් නීතිවිරෝධී කටයුත්තකට සැකපිට අත්අඩංගුවට පත් වුණොත් ඔහු ගැන අනන්‍යතාව තහවුරු කරගන්න ඒ දත්ත උපයෝගී කරගන්නවා. එය දියුණු රටවල්වල දැනට භාවිතා වන ක්‍රමයක්.

සමහරු ඇඟිලි සළකුණු පමණක් නෙවෙයි මුහුණේ හැඩය වෙනස් කරගන්න අවස්ථාත් තිබෙනවා. දත්, කෙස්වල පිහිටීම, නාසය, දෙතොල්, කන්පෙති පවා වෙනස් කළ හැකියි. එහිදී මුහුණේ අලංකාරය වැඩිදියුණු කරන්න කරන සැත්කම් වෙනයි. අපරාධවලින් ගැලවෙන්න මුහුණේ ස්වරූපය වෙනස් කරගන්න එක වෙනයි. ඇතැම් චිත්‍රපටවල ඔබ දැක ඇති මුහුණ සම්පූර්ණයෙන් වෙනස් කරගෙන කරන දාමරික රංගනයන්. නමුත් කිසිඳු වරලත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් සාමාන්‍ය ජීවිතයේදී එවැනි අරමුණු වෙනුවෙන් පුද්ගල ස්වරූපය වෙනස් කරන සැත්කමකට එකඟ වෙන්නේ නෑ.

එවැනි දේ නොකිරීම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වගකීමක්. ඇතැම්විට ශරීරයේ හැඩය වෙනස් කළ හැකි සැත්කම් විකලාංග ශල්‍ය වෛද්‍යවරු කරනවා. ඒ තමයි, උප්පත්තියෙන් එක කකුලක් කොටනම්, කොට කකුල දික් කරන්න පුළුවන්කම තිබෙනවා. එහිදී කකුලේ දිගු අස්ථිය අරන් කකුල් දෙක සමානව හදනවා. ඒ වගේම පුරුෂ ලිංගයේ ප්‍රමාණය වෙනස් කරන්න හැකියාව තිබෙනවා. (අප ඒ පිළිබඳව මින් පෙර ලිපියක සවිස්තරාත්මකව කතාකොට ඇත.) ඒ වගේම හිතන්න යම් අනතුරකින් ඇහිබැමේ කොටසක් අහිමි වෙනවා කියලා. එවිට හිස්කබලේ කෙස් සහිත කොටසක් අරන් අපට එම ඇහිබැම නැවත පිළිසකර කළ හැකියි. තොල, නාසය වුවත් අනතුරකදී යළි සැකසීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ගෙල පිටුපස සමහර පුද්ගලයින්ගේ මොල්ලියක් වගේ පිහිටලා තිබෙනවා. එය ​තෙල් මන්දක් කියලා සමහරු සැත්කම් කරගන්න එනවා. ඒත් එසේ වෙන්නේ ගෙලෙහි හත්වන කෂේරුකාව දිගු වීම නිසයි. එය රූපලාවන්‍ය සැත්කම්, ලයිෆොසක්ෂක් ක්‍රමවලට වෙනස් කළ නොහැකියි. එයට සැත්කමක් කළ යුතුයි. එහිදී ද අස්ථිමය කොටසක් කපා ඉවත්කර වෙනසක් කළ යුතු වෙනවා.

අත්ල රළු ස්වභාවයකින් යුතුයි කියලා කරන රූපලාවන්‍ය සත්කාර නිසා මෙම රේඛා මැකී යන්න ඉඩ තියෙනවා නේද?

අත්ල රළු ස්වභාවයක් ගැනීම සාමාන්‍යයි. එය රළුවට පිහිටන්නේ යමක් අතින් අල්ලද්දී එය ලිස්සා නොයන්නයි. කෙනෙකුගේ ඇඟිලි සටහන් එවැනි දෙයකින් මැකී යන්නේ නැහැ. ඒත් ඇඟිල්ලේ කොටසක් යම් අනතුරක් නිසා ගැඹුරට ඉවත් වුණොත් එහි කැළලක් පමණයි ඉතිරිවන්නේ. එවිට රේඛා සටහන් දකින්න ලැබෙන්නේ නැහැ. අපි ඇඟිලි සළකුණ විදිහට ගන්නේ ඇඟිලි තුඩුවලට අයත් කොටසයි. එය කුමන ආකාරයකට හෝ හිතාමතා වෙනස් කිරීම නීතිවිරෝධී බව නැවත වරක් සිහි ගන්වන්න කැමතියි.

දීපා වසන්ති එදිරිසිංහ