විශේෂාංග

හැඩෙන් කොල්ලෙක් වෙලා හඬෙන් කෙල්ලෙක් වගේ වුණොත්?

‘‘වෛද්‍ය විද්‍යාව තුළ මේ තත්ත්වය හඳුන්වන්නේ Puberphonia කියලා. ඒ කියන්නේ පිරිමි ළමයින්ට කාන්තා කටහඬක් පිහිටීම. අද සමාජයේ එහෙම දරුවෝ සෑහෙන්න ඉන්නවා.’’

කාන්තා කටහඬක් පිහිටීම පිරිමි දරුවෙකුගේ පෞරුෂයට කොහෙත්ම ගැළපෙන්නේ නැත. ඒ ගැළපීම ලස්සනද නැත. මේ තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීමට නම් දරුවා වැඩිවියට පැමිණෙන තෙක් බලා සිටිය යුතුය. මන්ද එතෙක් පිරිමි දරුවන්ටත් ගැහැනු දරුවන්ටත් ඇත්තේ සමාන කටහඬක් වන අතර එය වෙනස් වන්නේ නිසි කාලය පැමිණි පසුය.

‘‘ඕනෑම දරුවෙක් වයස අවුරුදු 12-20 අතර වැඩිවියට පත්වෙනවා. ඒ කාලෙදි තමයි කටහඬත් වෙනස් වෙන්නේ. ගොඩාක් වෙලාවට වයස අවුරුදු දොළහෙදි විතර කටහඬේ වෙනසක් වෙනවා. ඒ අනුව පිරිමි ළමයින්ට රළු කටහඬකුත් ගෑනු ළමයින්ට සෞම්‍ය කටහඬකුත් ලැබෙනවා. ඒත් පිරිමි ළමයින්ගේ ඒ වෙනස්වීම හරියට නොවෙන අවස්ථා තියෙනවා. එහෙම වුණාම ඒක දිගටම ළදරු කටහඬක් විදිහටයි තියෙන්නෙ. හැබැයි කාලයක් යනකොට ඒක පිටට ඇහෙන්නේ කාන්තා කටහඬක් වගේ.’’

පෙනුමෙන් හැඩිදැඩි වී කටහඬ පමණක් සෞම්‍ය නම් එවැනි පිරිමි දරුවෙක් වැඩිවියට පැමිණි පසු සමාජය ඉදිරියේ විවිධ අපහසුතාවලට ලක්වීම වැළැක්විය නොහැකිය. එනිසා පිරිමි දරුවෙකුට කාන්තා කටහඬක් සමඟින් ජීවත්වීම අපහසුය.

‘‘සමවයසේ ළමයි අතරේ ඉන්නකොට ඒ ළමයගේ කටහඬ කාන්තා කටහඬක් විදිහට අනිත් අයට ඇහෙන්න ගන්නවා. ඒ වගේම සමාජයට ගියාම එතැනත් කොන්වෙනවා. දුරකතන ඇමතුම්වලදි එහෙම කටහඬ නිසා නොහිතන ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. සමහර දරුවෝ මේ ගැටලුව නිසා මානසිකව වැටිලා සියවිදි හානිකරගන්න වුණත් බැරි නෑ.’’

පිරිමි දරුවෙකුට කාන්තා කටහඬක් ලැබීමට අදාළව වෛද්‍ය විද්‍යාව තුළ විවිධ පැහැදිලි කිරීම් ඇත. නමුත් කථන භාෂා චිකිත්සකවරිය පවසන්නේ එවන් කටහඬක් ලැබීමට තමා අවට ඇති පරිසරයේ ස්වාභාවය වැඩි වශයෙන් බලපාන බවයි.

‘‘උගුරේ ස්වතන්ත්‍ර අතර හිඩැසක් තිබුණම හරියට හඬ පිටවෙන්නේ නෑ. එතකොට කටහඬ වෙනස් වෙන්න පුළුවන්. අනික තමයි ගෙදර පරිසරය. ගෙදර අය දරුවට සළකන විදිහත් කටහඬේ වෙනසට බලපානවා. ගොඩාක් වෙලාවට පවුලේ බාලයාට තමයි මේ ගැටලුව එන්නේ. එයාට සළකන්නේ බබෙක්ට වගේ. ලොකු බබ්බු හුරතල් කරන්න ගියාම ඔහොම දේවලුත් වෙනවා. ඒ නිසා දරුවෝ වැඩිවියට පත්වෙද්දිම වගකීම් දෙන්න ඕනේ. ’’

කටහඬේ මෙවන් ගැටලුවක් ඇති ඕනෑම දරුවෙක් සුවකිරීමට කථන භාෂා චිකිත්සාවන් හරහා හැකියාවක් තිබේ. පියවරෙන් පියවර එය සිදුකරන්නේ මෙසේය.

‘‘එහෙම දරුවෙක් ආවම මුලින්ම කටහඬ ඇගයීමට භාජනය කරනවා. කටේ අවයව හරිද බලනවා. ඊටපස්සේ වචන කතාකරන්න කියනවා. එක දිගට හඬ ගෙනියන්න පුළුවන්ද බලනවා. හඬ උස්පහත් කරන්න පුළුවන්ද බලනවා. ඇගයීමෙන් පස්සේ කථන රෝගය විනිශ්චය කරනවා. ඊළඟට ගෙදර අය ගෙන්නලා මනෝ උපදේශය කරනවා. මොකද සුව කරන්න නම් ගෙදර පරිසරයත් වැදගත්. අවසානේ චිකිත්සාව පටන් ගන්නවා. එතැනදි දරුවට විවිධ ක්‍රියාකාරකම් කරවනවා. මාස කීපයකින් දරුවගේ කටහඬ බර හඬකට ගේන්න පුළුවන්.’’

චිකිත්සාවන්ට උනන්දුවෙන් සහ ඕනෑකමින් සහභාගීවීම හරහා මාස කීපයක් ඇතුළත කටහඬ වෙනස් කරගැනීම කළ හැකිය. පැහැදිලි සාක්ෂියක්ද අත දරා ඒ සහතිකය ඔබට දෙන්නේ අප නොව කථන භාෂා චිකිත්සකවරියයි.

‘‘මේ වගේ කටහඬේ ගැටලුවක් තියෙන දරුවෝ සුවකරන්න පුළුවන්. අපි පසුගිය දවසක අපේ සායනවලට ආපු Puberphonia අය ගැන සමීක්ෂණයක් කළා. ඒකෙන් 98%කට දැන් සුවයි. ඉතුරු 2% හරියට සායනවලට එන්නේ නැතුව හිටපු උවමනාවක් නැති අය කියලයි හිතන්නේ වෙන්නේ. මොකද 100% ක් මේ ගැටලුවට කථන චිකිත්සාව මඟින් පිළියම් දෙන්න පුළුවන්.’’

කිසියම් දරුවෙකුට මෙවැනි ගැටලුවක් ඇත්නම් එය එම දරුවාට අයහපත් අන්දමින් බලපාන්නේ අද නොව හෙටය. ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබ දරුවාගේ යහපත ගැන සිතා දරුවා මේ ගැටලුවෙන් නිදහස් කළ යුතුය. එහිදී ඔබ කළයුතු වන්නේ ළමා රෝග විශේෂඥයෙකු වෙත ගොස් රෝගය විනිශ්චය කිරීමෙන් පසුව දරුවාද සමඟ සුදුසුකම් ලත් කථන හා භාෂා චිකිත්සකවරයෙක් හමුවීමයි. එසේ නොවන්නට කටහඬේ ගැටලුව නිසා ඔබේ දරුවාගේ අනාගතයම පවා අඳුරු වී යනු ඇත.

රුවන් එස්.සෙනවිරත්න