විශේෂාංග

අත්තම්මලාගේ හුරතලේ තමයි ළමයි නරක් කරන්නේ

හේමලතා ගෙදරට ආවේ මුහුණත් දෙක කරන්.

‘‘ඇයි අම්මා? මහන්සිද?’’ මිදුලේ වාඩිවෙලා පොතක් කියවා කියවා හිටිය නිම්මි ඇහුවේ කුතුහලයෙන්.

‘‘අර ශාලිකා, මහ හිතක් පපුවක් නැති අම්මණ්ඩියෙක්.’’ හේමලතා කිව්වේ තමන්ගේ දියණිය නිම්මි ගාවින් වාඩිවෙන ගමන්. ශාලිකා කියන්නේ හේමලතාගේ ලේලි.

‘‘ඇයි අම්මා?”’’

‘‘අනේ අර අහිංසක පොඩි එකාට මේකි දෙන වධයක්. මගේ නම් පපුවට කටුවකින් අනිනවා වගේ බලාගෙන ඉද්දි…’’ හේමලතා කිව්වේ ඇස්වලට ආපු කඳුළු පිසදාන ගමන්.

‘‘කියන්නකෝ අම්මා තේරෙන්න? පුතාට මොකද වෙලා තියෙන්නේ?’’ නිම්මිත් ඇහුවේ කලබලයෙන්.

‘‘පොඩි දරුවෙක්නේ තාම. අනේ කොල්ලට ශාලිකා හැමදාම කියනවලු සෙල්ලම් කළාට පස්සෙ බඩු ටික ආයෙමත් කබඩ් එකට දාන්න කියලා. කොල්ලා දාන්නේ නැහැලු.’’ හේමලතා කියද්දි නිම්මිට හිනා ගියා.

‘‘අපෝ ඔව්. සත්සර පුතා මහ කම්මැලියා. කොයිවෙලේත් සාලේ පුරාම සෙල්ලම් බඩු. දවසක් අක්කා කියපු නිසාම මාත් පුතාගෙන් ඇහුවා ඇයි පුතා සෙල්ලම් බඩු අස් නොකරන්නේ කියලා. මේ පණ්ඩිත කොල්ලා කියනවා අස් කරන එක බොරු වැඩක්ලු. එතකොට ඊළඟ දවසේ ආයේ කබඩ් එක ඇරලා සෙල්ලම් බඩු ගන්න වෙනවලු.’’ නිම්මි කිව්වේ හයියෙන් හිනාවෙන ගමන්. සත්සරගේ දඟ වැඩ මතක් කර කර ඉන්න නිම්මි කොහොමත් හරිම කැමතියි.

‘‘අනේ මගේ අහිංසකයා. කොල්ලාට තියෙන්නේ අපේ පුතාගේ මොළේමයි. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න දන්නවා. එහෙම කොල්ලටනේ මේ ගෑනි මෙහෙම කරන්නේ.’’ හේමලතා ආයෙමත් කිව්වා.

‘‘කියන්නකෝ අම්මා මොකද්ද වෙලා තියෙන්නේ කියලා? ශාලිකා අක්කා පුතාට බැණලද? ගහලවත්ද? ඒක වෙන්න බෑනේ. අක්කා මාත් එක්ක කියලා තියෙනවනේ එයා නම් කවදාවත් පුතාට අතක් උස්සන්නේ නැහැ කියලා.’’ නිම්මි ඇහුවේ කලබලයෙන්.

‘‘අනේ ශාලිකාගේ විකාර. දන්නවද කරලා තියෙන වැඩේ. පොඩි එකාගේ සෙල්ලම් බඩු ඔක්කොම බෑග් එකකට දාලා අල්මාරිය උඩින් තියලා. මම යද්දි කොල්ලා ඉකි ගගහා අඬනවා සෙල්ලම් බඩු බෑග් එක අරන් දෙන්න කියලා. ඇයි ඉතින් එච්චර උසකින් තියෙන බඩු පොඩි එකාට ගන්න බැහැනේ.’’

‘‘ඉතින්?’’ නිම්මි ඇහුවා.

‘‘මම අරන් දෙන්න හදද්දි මටත් කෑ ගැහුවා අරන් දෙන්න එපා කියලා. කොල්ලට සෙල්ලම් බඩු ඕනෙ නම් කරන්න ඕනේ දේ එයා කියලයි තියෙන්නේ කිව්වේ.’’ හේමලතා කිව්වේ තවත් තරහෙන්.

‘‘මොනාද අක්කා පුතාට කරන්න කියලා තියෙන්නේ?’’ නිම්මි ඇහුවේ තවත් පුදුමෙන්.

‘‘අඬ අඬ ඉඳලා සෙල්ලම් බඩු නොලැබෙන බව තේරුණාම, හෙම්බත් වෙලා කොල්ලා ගිහින් එක්සයිස් පොතක් අරන් ආවා. ඊටපස්සේ ඒ පොතේ පේලි පහක් ලිව්වා මම මීටපස්සෙ සෙල්ලම් කරලා ඉවර වෙලා සෙල්ලම් බඩු අස් කරනවා කියලා. අනේ ඒක දකිද්දි මගේ පපුව හෝස් ගාලා ගියා.’’ හේමලතා කියද්දි නිම්මි සුසුමක් හෙලුවා.

‘‘අම්මා, මෙහෙම කියනවට වරදවා හිතන්න එපා. ශාලිකා අක්කා වැරදි නැහැ.’’ නිම්මි කියද්දි හේමලතා ඇය දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

‘‘අම්මට මතකද මන්දා ඉස්සර මායි, අයියයි දඟ වැඩ කරද්දි අම්මයි තාත්තයි අපිට කොච්චර නම් ගහලා ඇතිද? ඒ දවස්වල අපිට කොච්චර නම් දුක හිතුණද? රිදුණද? අපිත් ඒ දවස්වල කොච්චර ඇඬුවද? දැන් හොයාගෙන තියෙනවා අම්මේ, ළමයින්ට ගහන්න හොඳ නැහැ කියලා. ගහද්දි දරුවන්ගේ මනසටත් ඒවා බලපානවා. එහෙමයි කියලා දරුවන්ගේ වැරදි නිවැරදි නොකර ඉන්නත් බැහැනේ. ඉතින් අක්කා සත්සර පුතාගේ වැරදි නිවැරදි කරන ඔය ක්‍රමේ වරදක් නැහැ. ඒ පුංචි දඬුවම නිසා සත්සර පුතාගේ වරද හැදෙනවා මිසක්, සත්සර පුතාගේ ඇඟටවත් හිතටවත් හානියක් වෙන්නේ නැහැනේ.’’ නිම්මි කියද්දි හේමලතා මොහොතකට ගොලු වුණා.

‘‘දුව කියන්නේ පාරක් දෙනවට වඩා එහෙම කරන එක හොඳයි කියලද?’’ මොහොතකින් හේමලතා ඇහුවා.

‘‘ඔව් අම්මා. ලොකු අය පොඩි අයට ගහන්නේ තමන්ට තරහ ගියාම. ලොකු අය හිතුවට පොඩි පාරක් කියලා සමහර වෙලාවට ඒ පාර ගොඩක් සැරයි. එහෙම ගුටි කන දරුවන්ට පස්සේ එක එක පෞරුෂ දුර්වලතා ඇති වෙනවා කියලත් හොයාගෙන තියෙනවා.’’ නිම්මි කියද්දි හේමලතා නිහඬ වුණා.

සමාධි ඩයස්