ප්‍රීතිමත් ජීවිතයකට

ප්‍රශ්න විසඳගෙන දරුවො හදනවද? දරුවො හදලා ප්‍රශ්න විසඳනවද?

2012 අවුරුද්දෙදි අපේ වෙඩින් එක අරන් ආපහු ජපානෙට ඇවිත් මාස දෙකකට විතර පස්සේ මගේ ඇඟට හරි අමුත්තක් දැනෙන්න ගත්තා. හැබැයි ඒක සුබ නිමිත්තක අමුත්තක්. ඒත් වැඩේ කියන්නෙ ඒ කාලේ මංවත් දහම්වත් Pregnancy Strip එකක් ගෙනත් ගෙදර ඉඳන් Pregnancy Test එක කරන විදිය දැනගෙන හිටියේ නෑ. ඒ නිසා අපි දෙන්නා ගේ ළඟ තිබුණු ගැහැනු අයටම වෙන්වුණ ක්ලිනික් එකකට ගියා. එතැනදි තමයි පරීක්ෂා කරලා බලලා කිව්වේ මං සති දෙකක ගැබිනියක් කියන ලස්සන ආරංචිය.

ඒ සතුටත් එක්කම ගෙදර ආවට පස්සෙ එවලෙම දහම්ට තව කෝල් එකක් ආවා. කෝල් එක ඉවර වෙලා දහම් මට කීවා, ‘‘Citizenship එක Ok වෙලා, Japan Passport හදාගන්න එන්න කියන්නයි කෝල් කරේ’’ කියලා. 2011 අප්‍රේල්වල එයා මං එක්කම ගිහින් තමයි ජපන් පුරවැසිභාවයට ඉල්ලුම් කරේ. ඒක ලැබුණා කියලා අපිට දැනුම් දුන්නේ 2012 ජූලි මාසේ මට නතාරි දූ ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තු දවසේමයි. ඉතින් එදා අපිට විශේෂම දවසක්.

දරුවෝ අපේ ජීවිතේට එන්නේ සුබ ආරංචි අර​ගෙන කියලා එදා මං විශ්වාස කරන්න ගත්තා. ඕනම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්නේ නැති එක දහම්ගේ පුරුද්දක්. මේ දේ ගැන වුණත් එයා හිටියේ එහෙම. කොහොම වුණත් දරුවා ගැන දැනගත්ත දවසේම ජපාන පුරවැසිභාවය ලැබුණා කියන ආරංචිය ලැබුණ නිසා එයාටත් සතුටුයි.

මෙන්න මේ​ කාලෙටයි දරුවෙක් හදන්නේ කියලා අපි විශේෂ කාලයක් තෝරගෙන බේරගෙන හිටියේ නෑ. ගෙයක් අරගෙන දරුවෙක් හදන්න, සල්ලි ඉතුරු කරලා දරුවෙක් හදන්න, ප්‍රශ්න අඩු වුණාම දරුවෝ හදන්න වගේ දේවල් අපි හිතුවේ නෑ. ප්‍රශ්න කියන්නේ ජීවිතේ හැමදාම තියෙන දෙයක්. ඉතින් ප්‍රශ්න ඉවර වෙනකල් හිටියොත් දරුවෝ හදන්න වෙන්නෙම නෑ. හැමදේම සර්වසම්පූර්ණ කරගෙන දරුවෝ හදන්න අමාරුයි. මොකද දරුවො ලැබුණාමත් ප්‍රශ්න කියන දේවල් එනවා. මුදල් අඩුපාඩුකම් එනවා. ඒවාට දෙන්නාම සහයෝගයෙන් මූණදෙන්න ඕනේ. අපිටත් මුදල් අඩුපාඩුකම්, ප්‍රශ්න තිබුණා. දරුවා ලැබෙන්න ඉඳිද්දී ඒ හැමදේම එකින් එක විසඳුනා. හැබැයි නිකන්ම නෙවෙයි. දහම්ගේ මහන්සිය නිසා.

දරුවෝ හදන එක කල් දාදා හිටපු අය හදන්න ඕන වුණාම දරුවෝ ලැබෙන්නේ නැතිව පුදුමාකාර විදියට දුක් විඳිනවා. මම පුද්ගලිකව එහෙම අයව දන්නවා. එහෙම අයට මම කියලා තියනවා කල්දාන්න එපා දරුවො හදන්න, ප්‍රශ්න ඉබේම විසඳෙයි. දරුවෝ ඉපදෙන්නෙම ප්‍රශ්නවලට උත්තර වගේම ජීවිතේට ආදරෙත් අරගෙන කියලා. මොකද මං ඒක අත්දැකීමෙන් විඳලා තියෙන නිසා.

ඇත්තටම වුණේ දරුවෝ ලැබෙද්දී අපි ප්‍රශ්නවලට විසඳුම් හොයාගත්ත එක. එයාලගේ වැඩ කටයුතු කරන්න, එයාලව හොඳින් තියන්න මහන්සි වෙන්න ශක්තිය ලැබුණ එක. දරුවො නිසා කිසිම දෙයක් නෑ, බෑ නොකියා කරන තැනට අපි පත්වුණු එක.ඒ නිසා දරුවෝ හදන්න නැකත් බලන්න එපා. එයාලා අපේ ජීවිතේට එන්නේ නියම වෙලාවට හොඳම විදියට. ඒ විදියට එයාලට එන්න දෙන්න. ප්‍රශ්න කියලා කල් දාලා එයාලා එන්න හදන වෙලාව පමා කරගන්න එපා. මේ ලෝකේ හැමදේටම විසඳුම් තියනවා. නැති දෙයක් නෑ. සමහර විසඳුම් ලැබෙනකම් අපිට ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා. සමහරවිට පවුල් ජීවිතවල තියෙන විසඳගන්න බැරි ගොඩක් ප්‍රශ්නවලට විසඳුමත් දරුවෙක් හැදීම වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට ආස අය අසනීප තත්ත්වයක් හැරුණාම ජීවිතේ ප්‍රශ්න විසඳගන්නකන් කියලා දරුවෝ හදන එක කල්දාන්න එපා. හැමදේකටම විසඳුම් තියන්නේ අපි ගාව. අපි ඒක හොයාගන්න ඕනේ. අපි අපිව විශ්වාස කරන තරමට හැමදේකටම හොඳම විසඳුම් ලැබෙනවා.

ඒ වගේම තමයි කසාද බැඳලා දරුවෝ හදන්න පුළුවන්කම තියෙද්දිත් දෙන්නගෙම කැමැත්තෙන් දරුවො නොහදා ඉන්න අයත් ඉන්නවා. ඒක සමහරවිට ඒ අයගේ ජීවිතවල ප්‍රතිපත්තිමය තීරණයක් වෙන්න පුළුවන්. ගොඩක්වෙලාවට එයාලා සතුටුවෙන්නෙ ඇවිදලා, එහෙම නැත්නම් සුරතල් සතුන් ඇතිකරලා, එහෙමත් නැත්නම් වෙනයම් විනෝදාංශයක යෙදිලා. ඇත්තටම දරුවන්ට දැඩි සෙනෙහසක්, ඇල්මක් නැති කෙනෙක්ට හෝ වෙනයම් දේකින් ජීවිතේ සතුට හොයාගන්න පුළුවන් කෙනෙක්ට තමන්ගේ ජීවිතේ සම්බන්ධව එහෙම ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න නිදහස තියෙන්න ඕන. කසාද බැන්දොත් දරුවො හදන්නම ඕන කියලා දෙයක් නෑ. ඒ නිසා එහෙම තැන්වල තම තමන්ගේ කෝණවලින් බලලා, එහෙම අයව හෙලා දකින එක මම නම් අනුමත කරන්නේ නෑ. ඒ නිසා දරුවෝ සම්බන්ධව මම කියපු කාරණාව අදාළ වෙන්නේ දරුවෝ හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට විතරයි කියන එකත් කියන්නම ඕනේ.

හෂිණී මනමේන්ද්‍ර