ප්‍රීතිමත් ජීවිතයකට

යමක් කමක් තේරෙන දරුවො ප්‍රශ්න අහද්දි රෝස කැලෙන් එළියට ඇවිත් උත්තර දෙන්න

පුද්ගලික සම්බන්ධතා ගත්තත්, රාජකාරි මට්ටමේ සබඳතා ගත්තත් බොහෝවිට අපි පුරුදුවී සිටින්නේ අගය කිරීමට හෝ ප්‍රශංසා කිරීමට වඩා ​චෝදනා කිරීමටයි. එසේත් නැතිනම් මැසිවිලි නැගීමටයි. එම සබඳතා නිසා සතුටු වෙන්නට කාරණා සියයක් ඇතත්, පසුතැවෙන්නට ඇති එක් කාරණාවක් හෝ මුල් කරගෙන අපි කරන්නේ සියල්ල අවුල් කරගැනීමයි.

සැමියා දහම් සහ දරුවෝ තිදෙනා සමඟ ජපානයේ ජීවත්වන හෂිනි මනමේන්ද්‍ර ඇගේ ජීවිත අත්දැකීම් ඇසුරින් අපිට කියාදෙන්නේ විශේෂයෙන්ම ‘පවුල’ නමැති සම්බන්ධතාවයට මූලිකත්වය දීම සහ එය රැකගැනීමේ ඇති වැදගත්කමයි. එමෙන්ම ඕනෑම හොඳ හෝ නරක සිදුවීමකටම පසු සතුට විය හැකි කාරණා පමණක් ජීවිතයට එක් කරගැනීමෙන්, බලා සිටියදී පවුල් ජීවිතය සතුටින් පිරී ඉතිරී යන අයුරු ඇය කියන්නේ සතුටින් ජීවිතය දරණ ඇගේ ජීවන අත්දැකීම් සමුදාය මුල්කරගෙනය.

අපි හතරදෙනා ඉන්න මේ පින්තූරෙ දකිද්දි නතාරි දූගේ පළවෙනි උපන්දිනේට දෙන්න පුළුවන් වටිනම තෑග්ග දුන්නා කියලයි අද මට හිතෙන්නේ. ඒ තමයි එයාට හොඳම යාළුවෙක් වෙන්න පුළුවන් සහෝදරියක්. නතාරි අක්කාගේ පළවෙනි උපන්දිනේ දවස එනකොට ඔවී නංගිට හරියටම දවස් 14යි.

මෙහේ දරුවා ලැබුණාම දවස් පහකින් තමයි ගෙදර එවන්නේ. ඉතින් ඔවීව ලැබෙන්න ගිහින් හොස්පිටල් එකේ ඉන්නකල් මට නතාරිව විතරමයි මතක් වුණේ. දහම් කෝල් කරලා එනවා කියද්දී ‘‘නතාරිත් එනවා නේද? නතාරිත් එක්ක එන්න’’ කියලා මං කියනවා. නතාරි දූගේ ඇස් ලොකුයිනේ. ඉතින් ඒ ඇස් තවත් ලොකු කරලයි ඔවී දිහා බලන්නේ. ඊටපස්සේ ඔවීගේ දිහා බලන්ම හිනා වෙනවා.

මේ පින්තූරේ ඉන්න පුංචි කෙල්ල දැන් මගේ උරහිස ගාවටම උසයි. තව අවුරුද්දක් යද්දී මං තරමටම උස වෙයි. බලන් ඉද්දි ලොකුවෙලා වගේ මට දැනෙන්නේ. දැන් එයාට හැමදේම තනියම කරන්න ඕන. තනියම ඉස්කෝලේ යන්න, දහම්ගෙන් කීයක්හරි ඉල්ලගෙන තනියම කඩේ ගිහින් එන්න, තනියම ඇඳුම් තෝරලා ඇඳන් යන්න. මේ දවස්වල තනියම කොණ්​ඩෙ පීරන්නත් ඉගෙනගන්නවා.

එයා කරන සමහර දේවල් දිහා මං හොරෙන් බලා ඉඳලා දැක්කෙ නැති ගාණට ඉන්න වෙලාවලුත් තියෙනවා. ගෑනු දරුවෙක් ටික ටික දැනුම් තේරුම් වෙද්දී ඒ දේවල් දිහා එයාට නොදැනෙන්න බලන් ඉඳලා සතුටු වෙන එක අම්මලාගේ පුරුද්දක් වෙන්න ඇති. මටත් ඒක ඒ විදියටම තියෙනවා.

දැන් ඉතින් මගෙන් ගොඩක් ප්‍රශ්න අහන එකත් වැඩිවෙලා. මැරුණාම කොහෙටද යන්නේ? දරුවෝ ලැබෙන්නේ කොහොමද? Best friendsලද කසාද බඳින්නේ? මමා පපා Best friendsලද? මැරුණ අය අහසේ තරුවෙලා ඉන්නවද? වගේ ප්‍රශ්න ගොඩයි. කොච්චර ප්‍රශ්න ඇහුවත් මේ හැමදේටම මං උත්තර දෙනවා. හැබැයි ඇත්තම උත්තර. එහෙම නැතුව දරුවො රවටන බොරු උත්තර නෙවෙයි. ළමයි ගෙනාවේ රෝස කැලෙන් කියලා මං කියන්නේ නෑ. අම්මගේ බඩෙන් තමයි ඔයා ආවේ. තව පොඩ්ඩක් ලොකු වුණාම බබාලා හැදෙන්නේ කොහොමද කියලා මං කියලා දෙන්නම් කියලා තමයි ඒ ගැන අහද්දි මම කියන්නේ.

නතාරි උයන වැඩවලටත් ආසයි. මාත් ඉතින් පුළුවන් පුංචි පුංචි වැඩවලට එයාව උදව් කරගන්නවා. ඒකෙන් මට එයා එක්ක වැඩියෙන් කාලේ ගත කරන්න ලැබෙනවා. තමන්ගේ අතින් වැරැද්දක් වුණත් ඒ වැරැද්ද වුණේ මගේ අතින් කියලා අම්මාට තාත්තාට ඇත්ත කියන්න පුළුවන් විදියට පුළුවන් තරම් ආදරෙන් තමයි දරුවො හදන්න ඕනේ. එතකොට කාට බොරු කිව්වත් අම්මාට තාත්තාට බොරු කියන්නෙ නෑ.

ඒ වගේම තමයි දරුවා කරන කියන හැමදේටම තහංචි නොදා, එපා නොකියා එයාලාට අත්දැකීම් ලබාගන්න දෙන්න ඕනේ. වැරදෙන්න දෙන්නත් ඕනේ. එතකොටයි එයාලා ඒවාගෙන් ඉගෙනගන්නේ. නොකළ යුතුම, නොසුදුසුම දේවල් හොඳ නෑ කියලා තරවටු නොකර තේරුම් කරන්න ඕනේ. දරුවාට දේවල් තනියෙන් කරන්න දීලා, බය නැති කරලා සමාජයේ ඕන තරාතිමක කෙනෙක් එක්ක සුහදව ඉන්න පුළුවන් විදියට දරුවා හදන්න ඕනේ. ඒත් මේ කිසි දෙයක් ලේසි නෑ. අමාරුයි. මාත් අත්දැකීම් ගොඩක් තියෙන අම්මා කෙනෙක් නෙවෙයි. මගේ දරුවන්ගෙන් එදිනෙදා ලැබෙන අත්දැකීම් එක්ක පරිණත වෙන අම්මා කෙනෙක්.

ගිය සුමානේ දවසක පුංචි සිද්ධියක් වුණා. දැන් ටික ටික ජපානේ සීත අඩුවෙනවා. දවල් වෙද්දී සෙල්සියස් අංශක 15ට 17 වගේ උශ්ණත්වය වැඩිවෙලා හවස වෙද්දි 6ට වගේ අඩු වෙනවා. ඉතින් නතාරි දූ උදේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා එයාගේ සීතලට අඳින ජැකට් එක ඇඳගෙන යන්න බෑ කිව්වා. මම කීවා ‘‘තාම සීතලයි, දාගෙන යන්න, අසනීප වෙයි’’ කියලා. දැන් දූ බෑම කියනවා. පොඩි පොඩි මුරණ්ඩුකම් ඉතින් නැත්තෙම නෑ. පස්සේ මං ආදරෙන් කීවා ‘‘හවස් වෙද්දී සීතයි, ඔයා එන වෙලාවට තවත් සීත වැඩියි, ඒ නිසා ජැකට් දාගෙන යන්න, මමා ඔයාගේ හොඳටනේ කියන්නේ’’ කියලා. එහෙම කියද්දි ඔන්න මූණ බෙරි කරගත්තා. දහම් කිව්වා ළඟට ඇවිත් ‘‘හරි එහෙනම් ජැකට් එක නැතුව යන්න, එයාට සීතල නැතුව ඇතිනේ’’ කියලා.ඔන්න එතකොට හිනාවක් ඇවිත් බෑග් එකත් දාගෙන ගෙදරින් ගියා.

පස්සේ දහම් මට කීවා ‘‘රෝසී, දැන් නතාරී ටික ටික ලොකු වෙනවා. එයාට හිතෙන දේවල් කරන්නයි එයා හදන්නේ. ජැකට් එක නැතුව යන එක වරදක් නෙවෙයිනේ. ගිහින් එන්න දෙන්න. ඒ අත්දැකීම එයාට ගන්න දෙන්න. සීතල නම් එයාම හෙට ජැකට් එක දාගෙන යාවි. ඔයා දරුවාගේ හොඳට කිව්වත් එහෙම බල කරද්දි ඒක එයාට වදයක් වෙනවා. හැමදේකටම එපා කියන්න එපා. එයාලට ඔහොම පුංචි පුංචි තීරණ ගන්න දෙන්න. පෙරේදා උදේ එයාගේ colours තියෙන බෑග් එක ඉස්කෝලේ පොත් ගෙනියන බෑග් එක ඇතුළෙන් දාන්න හැදුවා. මං කීවා colour බෑග් එක ලොකුයි දාන්න බෑ, අනික ස්කූල් බෑග් එකේ පොත් තියනවා කියලා. මං එහෙම කිව්වට නතාරිට ඇත්තටම එහෙම දාන්න බැරිද කියලා බලන්න ඕනකම තිබ්බා. මං ඉතින් කීවා ‘හරි එහෙනම් පුළුවන්ද බලන්න’ කියලා. එයාම දාන්න හදලා බැරි වුණාම colour බෑග් එක වෙනදා වගේ අතේ අරන් ගියා. ඒ වගේ පොඩි පොඩි දේවල් එයාටම කරලා බලලා තේරුම් ගන්න දෙන්න ඕනේ. ඒවා ලොකුවට හිතන්න ඕන දේවල් නෙවෙයි. ගිය සෙනසුරාදා මගෙන් සල්ලි ඉල්ලුවා කඩේට ගිහින් එන්න. මං දාහක් දුන්නා. නතාරි එයාට විතරක් නෙවෙයි නංගිටයි, මල්ලිටයිත් ඒ දෙන්නා ආස දේවල් ගෙනත් තිබ්බා. දරුවන්ට ජීවිතේ අත්දැකීම් ගන්න දෙන්න ඕන රෝසී, එතකොටයි එයාලා සමාජෙට හැඩ ගැහෙන්නේ. ඔය මුරණ්ඩු වේගෙන එන වයස. ආදරෙන් ඒ මුරණ්ඩුකම අපි නැති කරමු. හැමදේකටම එපා කිව්වොත් එයා ඒවා හොරෙන් කරන්න හදයි. එතකොට ඒක වැරදියි. එයාලා එක්ක යාළුවෝ වගේ ඉන්න තරමට එයාලා සතුට, දුක, ප්‍රශ්න හැමදේම අපි එක්ක බෙදාගනියි.’’ දහම් මට තව අලුත් පාඩමක් එදා කියලා දුන්නා වගේ තමයි මට දැනුණේ.

නතාරි කියන්නේ අපේ පළවෙනි දරුවා. මට එයාව දැනෙන්නේ මගෙයි දගම්ගෙයි ආදරේට පාට එකතු කරන්න ආපු සුරංගනාවියක් වගේ. අම්මා කියන හැඟීම මට දැනුණේ නතාරි දූ නිසා. එයාගේ හොඳම යාළුවා වෙලා ජීවිතේ ​තේරුම් ගන්න එයාට උදව් කරන්නයි මට ඕනෙ. ඉස්සර මං ආස නතාරී පොඩියටම ඉන්නවාට. දැන් මං ආස එයා ලොකු වෙනවට. එයා නිසා විඳින අත්දැකීම් වටිනවා කියලා එයා එක්කම ඉඳන් එයාට තේරුම් කරන්න.

හෂීණී මනමේන්ද්‍ර