ප්‍රීතිමත් ජීවිතයකට

දිගට හරහට ඉවසන ගෑනු ඉඳලා හිටලා පෙනේ පුප්පන්නත් ඕන

ඔන්න ඉස්සර කාලයේ ලස්සන ගමක් මැද අතිවිශාල නුගරුකක් පිහිටලා තිබුණාලු. මේ ගහ කොච්චර ලස්සන වුණත්, ඒ අවට වටපිටාව කෙතරම් සුන්දර වුණත් කිසිම මනුස්සයෙක් ඒ ගහ ළඟින් යන්න නම් කැමැත්තක් තිබිලා නෑ. ඊට හේතුව තමයි ඒ ගහ ළඟ තිබුණු තුඹස ඇතුළේ විශාල නාගයෙක් වාසය කිරීම. මේ නාගයා මෙතනින් යන හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම පස්සෙන් පන්නගෙන ගිහිල්ලා දෂ්ට කරනවා. මේ දෂ්ට කිරීම නිසා ගම්මානයේ මිනිසුන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වෙලයි හිටියේ. ගමේ මිනිසුන් මරලා නාගයත් එසේ මෙසේ පාපයක් නෙමේ කරගත්තේ.

දවසක් ඔන්න ඔය ගමට එක්තරා භික්ෂූන් වහන්සේ නමක් වැඩම කළා. ඊටපස්සෙ මේ භික්ෂූන් වහන්සේ දකිනවා ගම්මානය මැද පිහිටා තිබෙන විශාල නුග රුක. ඉතින් උන්වහන්සේ තීරණය කරනවා එතැනට ගිහිල්ලා පොඩි වෙලාවක් භාවනා කරන්න ඕන කියලා. උන්වහන්සේ එතැනට වඩින්න සූදානම් වෙනකොට ගම්මුන් ඇවිල්ල වහාම උන් වහන්සේව නවත්තනවා. ‘‘හාමුදුරුවනේ! ඔය නුගරුක ගාව ඉන්න නාගයාගෙන් බේරිලා යහතින් පැමිණි කෙනෙක් නම් මේ අසල ගම් හතකවත් නෑ. ඒ හින්දා පණට ආදරය කරනවානම් කරුණාකරලා ඔතනට වඩින්න හිතන්නවත් එපා’’ ගම්වැසියන් හාමුදුරුවන්ට අනතුරු ඇඟෙව්වා.

ඔවුන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ වුවත් හාමුදුරුවන් නුගරුක ගාවට වැඩම කළා. භාවනා කිරීම සඳහා සූදානම් වනවිටම නාගයා උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිනවා. හාමුදුරුවන්ගේ සන්සුන් මුහුණ දැක නාගයා පුදුම වෙනවා. ‘‘මම ඔබට දෂ්ට කරන්නයි යන්නේ! ඔබ බය වෙන්නෙ නැද්ද?’’ නාගයා හාමුදුරුවන්ගෙන් අහනවා. ‘‘මම රහතන් වහන්සේ නමක්! ජීවිතය නැති වුණාට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම සියල්ල අතහැරලා ඉන්න කෙනෙක්. ජීවිතයවත් මම අල්ලගෙන නැහැ. ඉතින් මොකටද මම බය වෙන්නේ?’’ හාමුදුරුවන් උත්තර දෙනවා.

‘‘ඔබ මිනිස්සුන්ට දෂ්ට කරන්නේ ඇයි?’’ හාමුදුරුවන් වහන්සේ නාගයාගෙන් ප්‍රශ්න කරනවා.

‘‘මට බයයි මිනිස්සු මගේ ජීවිතයට හානි කරාවි කියලා! ජීවිතය බේරගන්න තමයි මම ඔවුන්ට දෂ්ට කරන්නේ.’’ නාගයා උත්තර දුන්නා.

‘‘ඒක හරි! නමුත් ඔබගේ දෂ්ට කිරීම් නිසා මිනිස්සු විශාල ප්‍රමාණයක් මේවනවිටත් මියගිහින්. ඔබගේ ජීවිතය රැකගන්න කියලා ඔබ ඔය කරන වැඩෙන් අවසානයේදී ඔබ අනිවාර්යයෙන්ම අපාගාමී වනවා. තමන්ගෙ ජීවිතය රැකගන්න අනිත් මිනිසුන්ගේ ජීවිතය විනාශ කිරීම තරම් පාපයක් තවත් කොහින්ද?’’ හාමුදුරුවන් වහන්සේ නාගයාට පැහැදිලි කළා.

නාගයා මොහොතකට ගොළු වුණා. තමන් කරගත්ත පව්වල බැරෑරුම්කම තේරුම් ගියා. මින්පස්සේ කවරදාකවත් මිනිසුන්ට දෂ්ට කරන්නේ නැති බවට නාගයා තමාටම පොරොන්දු වුණා. කාලයක් යන විට මිනිසුන්ටත් තේරුම් ගියා නාගයාගේ තිබුණු ආවේගය තවදුරටත් ඌ සමීපයේ නැති බව. නාගයා කිසිවෙකුට දෂ්ට නොකරන බව මිනිස්සුන්ට තහවුරු වුණා. ඔන්න දැන් මිනිස්සු ටිකෙන් ටික නුගරුක දිහාවට ඇදෙන්න පටන් ගත්තා. තවත් කාලයක් ගියාට පස්සේ මිනිස්සුන්ට නාගයාව සෙල්ලම් බඩුවක් බවට පත්වුණා. කුඩා ළමුන් නාගයා උස්සලා කරකවලා ඈතට වීසි කරා. තවත් සමහරු නාගයාට ගල්වලින් ගසමින්, කෝටුවලින් අනිමින් විනෝද වුණා. හැබැයි මේ කිසිම අවස්ථාවකදී නාගයා කිසිම කෙනෙකුට දෂ්ට කරන්න ගියේ නැහැ. කාලයක් ගත වුණාට පස්සෙ මෙම තාඩන පීඩන හමුවේ නාගයා හොඳටම ගිලන් වුණා. මරණාසන්න ලෙස වැටිලා ඉන්න වෙලාවක නැවත වතාවක් පෙරකී භික්ෂුව එතැනට වැඩම කළා.

‘‘බලන්න ඔබ වහන්සේගේ උපදෙස් නිසා අද මම මරණාසන්න වෙලා! මගේ අහිංසකකම, කරුණාව මිනිස්සුන්ට විහිළුවක් බවට පත්වෙලා!’’ නාගයා කෙඳිරි ගෑවා.

‘‘ඔබ මම කිව්ව දේ වැරදියටයි වටහාගෙන තියෙන්නේ! මම ඔබට කිව්වේ දෂ්ට කරන්න එපා කියල විතරයි. තමන්ගේ ආරක්ෂාව පතා පෙනේ පුප්පන්න එපා කියලා මම කිව්වේ නැහැ. කරදර කරන්න එන මිනිසුන්ව බය කරන්න එපා කියලා මම ඔයාට කිව්වේ නැහැ.’’ හාමුදුරුවන් වහන්සේ උත්තර දුන්නා.

කාන්තාවක් විදිහට මේ කතාවෙන් ලැබෙන පණිවිඩය ගැන ඔයා පුළුවන් තරම් අවධානය යොමු කරන්න ඕන. ජීවිතයේ සමහර තැන්වලදී අපිට පෙනේ පුප්පන්න වෙනවා. ඒ මිනිසුන්ට දෂ්ට කරන බලාපොරොත්තුවෙන් නෙමෙයි. අපි කවුරුන්ද කියන එක ඔවුන්ට කියන්නයි. එහෙම නැති වුණොත් කාලයක් යද්දි අපේ අහිංසකකම, හිත හොඳකම, කරුණාවන්තභාවයෙන් මිනිස්සු ප්‍රයෝජන ගන්න එක නවත්වන්න බැහැ. ඔයා නිළියක් වෙන්න. වේදිකා නාට්‍යයක් මතක් කරගන්නකෝ. ඔන්න එක්තරා ජවනිකාවකදී රඟපාන නිළිය ඉතාම ආවේගාත්මකව යටිගිරියෙන් කෑගහමින් නළුවෙක්ට බැණ වදිනවා. ප්‍රේක්ෂකාගාරයත් හෙල්ලිලා ගිහින්. හැබැයි මේ නිළිය ඇතුළාන්තයෙන් ඇත්තටම තරහ ගිහිල්ලාද ඉන්නේ? කොහෙත්ම නැහැ! එය හුදෙක් රඟපෑමක් විතරයි. ඇය ඇතුළාන්තයෙන් නිවිලා ඉන්න ගමන් පිටතට වෙනම ස්වරූපයක් පෙන්වනවා.

මම මේ කියන්නේ ඔයාට තරහ අරන් මිනිසුන්ගේ හිත් රිද්දන්න කියලා නෙමෙයි. මිනිසුන්ට වළ කපන්න හෝ මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්න කියලා නෙමෙයි. ඇතුළාන්තයෙන් සන්සුන් වෙලා ඉන්න ගමන් පිටත ස්වරූපය හරහා පෙනය පුප්පලා ඔයාගේ ආරක්ෂාව සලසගන්න කියලායි.

ලෝකයේ හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු කියන දෙජාතියම ඉන්නවානේ. අපිට මිනිස්සුන්ගෙ හිත් කියවන්න පුළුවන් නුවණක් නැති නිසා බොහෝ අවස්ථාවල අපිට තේරුම්ගන්න බැහැ ඔවුන්ගේ යටි හිතේ තියෙන සැලසුම මොකක්ද කියලා. ඒ වගේ හරියට තේරුම් ගන්න බැරි එක චරිතයක් නිසා ඔයා සදාකාලයටම මානසිකව රෝගී වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා වැඩ කරන ඔෆිස් එකේ ඔයා ඉතාම ආදරණීය, කාරුණික චරිතයක් විදිහට ඉන්නවා. වටේ ඉන්න හැමදෙනාටම ඕනෑම අවස්ථාවකදී උදව් පදව් කරන්න ඔයා සැදී පැහැදී ඉන්නවා. ඔයාට ගොඩක් ශක්තිමත් සම්බන්ධතා තිබුණත්, ඔයාට ගොඩක් බලය තිබුණත් ඔයා ඒ කිසිම දෙයක් අන් අයට පෙන්නන්නේ නැහැ.

ඔය ඔෆිස් එකේ ඉන්න ආත්මාර්ථකාමී චරිතවලින් සමහරක් ඔයා දිහා බලාගෙන ඉඳලා හිතට ගන්නවා ‘‘ෂා! මෙයාව හරියට පාවිච්චි කරොත් මට ගොඩක් ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන්!’’ කියලා. තවත් සමහරු ඔවුන්ගේ වැරදි වහගන්න ඔයාට නැති වැරදි පටවාවි. තවත් සමහරු ඔයාගේ කාරුණික හදවත අවභාවිතා කරලා ඔයාගෙන් කීයක් හරි ගන්නත් උත්සාහ කරාවි.

ඉතින් ඉඳලා හිටලා ඔයාගේ බලය, සම්බන්ධතා ඒ අයට පෙන්නුවෙ නැති වුණොත්, ඒ කියන්නෙ පෙනය පිප්පුවේ නැති වුණොත්, ඔවුන්ගේ අකටයුතුකම් ඉදිරියේ නුරුස්සන මුහුණ, තරහ ගිය මුහුණ පෙන්නුවෙ නැති වුණොත් කාලයක් යද්දි අපේ කතාවෙ නාගයාට වුණ වැඩේම තමයි ඔයාටත් සිද්ධ වෙන්නේ. මතක තියාගන්න සමහර අවස්ථාවලදී මිනිස්සුන්ගේ මානය බිදලා තමන් කවුරුන්ද යන බව පෙන්වන්න බුදුරජාණන් වහන්සේටත් ප්‍රාතිහාර පාන්න සිද්ධ වුණා කියලා.

ඒ හින්දා ඉඳලා හිටලා, ඇතුළාන්තයෙන් නිවිලා ඉන්න ගමන් පෙනය පුප්පන්න අමතක කරන්න එපා. පුළුවන් තරම් ඉවසන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙනතාක් ඉවසන්න. හැබැයි කොච්චර ඉවසුවත් පලක් නෑ කියලා දැනෙන තැනක් ආවොත් බොහොම කලාතුරකින් පෙනේ පුප්පලා පෙන්නන්න. ඒත් එහෙම වෙලාවකවත් අනවශ්‍ය විදියට කෑකෝ ගහන්න ගිහින් ඔබේ පෞරුෂයට හානියක් කරගන්න එපා.

හසින්ත හේවාවසම්