ප්‍රීතිමත් ජීවිතයකට

බොරු කියන්නන්ගේ ලැජ්ජ නහරය නොමිලේ කපා හරිනු ලැබේ

මේ ලඟදි මට කතා කළ කාන්තාවක් ඇයගේ සැමියාගේ හැසිරීම් සම්බන්ධව පුදුම හිතෙන කතාවක් කිව්වා. ඇය මා සමග කතා කරන වෙලාව වන විටත් තමන්ගේ දී දික්කසාද නඩුව සඳහා ලෑස්ති වෙන ගමන් තමයි හිටියෙ. ඔව් ඔබ හිතුවා හරි! සැමියාගේ ප්‍රශ්නයක් නිසා ඇය දික්කසාද වෙන්නයි යන්නේ!

ඇයගේ සැමියාගේ තියෙන ප්‍රශ්නය තමයි බොරු කීම! ඒක එසේ මෙසේ බොරු කීමක් නෙමෙයි. පුංචි පුංචි දේවල් වල ඉඳන් මහා පරිමාණ කිසිසේත්ම විශ්වාස කළ නොහැකි දේවල් ගැන පවා මේ සැමියා බොරු කියනවා. ඔහු කියන ගොඩක් බොරු ඇත්තටම කියන්න ඕන ඒවා නෙමෙයි! උදාහරණයක් විදිහට ඔන්න සැමියා බඩු ගන්න cargills එකට ගියා කියන්න. හැබැයි එයා ගෙදර ඇවිල්ලා කියන්නේ keells එකට ගියා කියලයි. බඩු ගන්න වියදම් වුණේ රුපියල් දාහයි නම්, එයා වියදම් වූ ගාන විදිහට කියන්නේ රුපියල් නවසීයයි. මේවා තමයි සැමියා කියන පොඩි බොරු.

ඊට අමතරව ගොඩක් ලොකු බොරු මෙයා කියනවා. ලොකු බොරු කිව්වට ඇත්තටම ඒවා බොරුවලින් හදපු කතන්දර! උදාහරණයක් විදියට රටේ ඉන්න සමහර ප්‍රසිද්ධ පුද්ගලයන්ව අඳුරන බවට සහ ඔවුන් එක්ක තිබෙන දැන හැඳුනුම්කම් ගැන සැමියා කියපු දේවල් බොරු බව බිරිද දැනගත්තේ සෑහෙන කාලයක් ගියාට පස්සේ. ඒ වගේම තමාට දරුණු මාරාන්තික ලෙඩක් තිබිලා මරණයෙන් බොහොම අමාරුවෙන් ගොඩ ආව කෙනෙක් විදිහට තමයි සැමියා බිරිඳට සම්බන්ධතාවය මුල් කාලයේදී පවසා තිබුණේ. හැබැයි ඇත්තටම එහෙම කිසිම ලෙඩක් තිබිලා නැති බව බිරිඳ පසුවෙලා දැනගන්නවා.  ඒ වගේම නිවිහැනහිල්ලෙ කල්පනා කරල බලද්දි තේරෙනවා මේ විදිහට ලොකු බොරු කියන්න එයාට කිසිම හේතුවක් නැහැ කියලා!

ඔයාගේ ජීවිතයේදිත් ඔයාට මේ වගේ අය මුණගැහිලා ඇති. අපි ඒ අයට කියන්නේ pathological liars ලා කියලයි. ඉතින් අද මම කතා කරන්න හිතුවා මේ pathological liars ලාගේ ස්වාභාවාය ගැන.

බොරු කියනවා කියලා කියන්නේ, ඇත්තම කතාව දැනගෙන අනිත් මිනිස්සුන්ව නොමග යැවීමට. එහෙම නොමඟ යවන්න විවිධ කාරණා හේතු වෙනවා. ඒ අතරින් රහස් හංගන්න, නැති ප්‍රතිරූපයක් මවාපාන්න, අන් අයව අපහසුතාවයට පත් කරන්න, තමන්ගේ තියෙන දුර්වලතා වහගන්න, පෞරුෂත්වයේ තිබෙන දුර්වලතා වගේ දේවල් හේතුවෙන්න පුලුවන්.

ඔන්න ඉතින් බොරුවෙන් සිද්ධ වෙන හානිය අනුව බොරු වර්ග දෙකක් තියෙනවා. පුංචි බොරු සහ මහා බොරු කියලා. පුංචි බොරු කියන්නේ කෙනෙක්ව ආරක්ෂා කරගන්න, එයා වේදනාවට පත් වෙන එක නවත්වන්න, එයාගෙ සුබසිද්ධිය උදෙසා අපි කියන බොරු වලට. ඒ වගේ එකක් තමයි  පුංචි බබාලා බත් කන්නේ නැති උනහම ගෝනි බිල්ලෙක් ඇවිල්ලා අරගෙන යාවි කියලා අපි කියන බොරුව.

තමන් කියන බොරු වලින් අනිත් අයට හානියක් වෙනවා නම් අපි ඒවට මහා බොරු කියලා කියනවා. උදාහරණයක් විදියට ආදර සම්බන්ධතාවයකදී තමන්ගේ සහකරුව රැවටීමට කියන කරන දේවල් වගේ.

ඊළඟට බොරු කියන ආකාරය අනුව වර්ග තුනක් තියෙනවා. Normal lying වලදී සාමාන්‍යයෙන් දවසකට කුඩා බොරු එකක් නැත්නම් දෙකක් හෝ සතියකට එක මහා බොරුවක් බැගින් පවසනවා. Prolific lying වලදී කිසිඅම ලැජ්ජාවක් බයක් නැතුව දවසකට කුඩා බොරු හයක් වගේම මහා බොරු තුනකුත් කියන්න පෙළඹෙනවා. මේ නිසා  Prolific lying වලින් සම්බන්ධතා විශාල වශයෙන් කැඩිලා බිඳිලා යනවා. ඒ වගේම prolific lying කියන එක වැඩිපුරම සිදු කරන්නේ තරුණ පිරිමි කියලත් හොයාගෙන තියනවා. එතනිනුත් විධායක ශ්‍රේණියට අයත් පිරිමි මේකට වැඩි නැඹුරුවක් දක්වනවා. හැබැයි අපි මුලින් කතා කරපු pathological liers ලා මේ අංශ දෙකටම වඩා වෙනස්. ඔවුන් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දිගින් දිගටම බොරු කියනවා. ඒ වගේම ඉන් බාගෙට බාගයක්ම අතේ පැලවෙන බොරු!

Pathological liar කෙනෙක්ව අඳුර ගන්න පුළුවන් පළවෙනිම කාරණය තමයි ඔවුන් කියන්නෙම පිළිගැනීමට අමාරු දේවල්! උදාහරණයක් විදිහට මම දන්න කෙනෙක් ඉන්නවා ඉංග්‍රීසි හරියට කතා කර ගන්න බැරි උනත් ඔහු කියන්නේ, ඔහු එංගලන්තයේ මූලික අධ්‍යාපනය හදාරපු බවයි. මම හඳුනන තවත් කාන්තාවක් පවසන්නේ ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින නිළියක් තමාගේ හොඳම යෙහෙලියක් බවත්, ඇය රංගනය පිළිබඳ බොහෝ දේවල් අසා දැන ගන්නේ තමාගෙන් කියලයි. ඇයගේ පවුල් පරිසරයක සහ අතීත ඉතිහාසය මා දන්නා නිසා එම කාන්තාව පෙර කී නිළියගේ හොඳම යෙහෙළිය වීමට කිසිම සම්භාවිතාවක් නැති බව මම දන්නවා.

දෙවැනි කාරණාව තමයි ඔවුන් කියන බොරු ඔවුන්ට ඉක්මනින් අමතක වීම සහ ඒවා පැටලීම. උදාහරණයක් විදිහට පෙර සදහන් කල කතාව ගමු. එම නිළිය ගැන මා දන්නා කාන්තාව පවසන දේවල් බොහෝ අවස්ථාවල පරස්පර විරෝධී වෙනවා. උදාහරණයක් විදිහට ඇය මුලින්ම පැවසුවේ ඔවුන් දෙදෙනා හමු වූයේ නැටුම් පන්තියකදී කියා නම්, දෙවන අවස්ථාවේදී එම කතාව පවසන විට ඇය කියන්නේ ඔවුන් දෙදෙනා මුලින්ම හමුවූයේ සංගීත පන්තියදී කියාය.

දිගින් දිගටම අපි ඔවුන්ගේ බොරු ප්‍රශ්න කරන විට ඔවුන් ආවේගයට පත්වන අතර අප සමග වෛර බැඳ ගැනීමට ද පුළුවන්! පසුකාලීනව යම් යම් කතාබහ වලින්, වචන වලින් සහ ක්‍රියාවෙන් ඔවුන් අපට hints pass කිරීමට සහ රිදවීමට උත්සාහ කරනවා. ස්වභාවයෙන්ම pathological liar කෙනෙක්ගෙ සංවේදීභාවය හරිම අඩුයි. ඉතින් ඔවුන්ගේ බොරු වහගන්න ඔයාට රිද්දන්න ඔවුන් දෙපාරක් හිතන්නේ නෑ. ඒ වගේම එයාලා හරිම වේගයෙන් හිතනවා. ඒ වගේම හරිම කපටියි. එයා කිව්ව බොරු හොඳටම අහු වෙනවා කියලා තේරුනොත් “අයියෝ!මම මෙච්චර කල් විහිලුවක් කළේ! ඔයා ඒකට අහු වුණා නේද? මෙච්චරම මෝඩයිද අනේ ඔයා? “කියලා බේරෙනවා. හරිම කලාතුරකින් තමයි තමන් බොරු කිව්ව බව පිළිගෙන සමාව ගන්නේ.

pathological liar කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි. පර්යේෂකයන් පවසන විදිහට presenter disorders සමග බද්ධ වෙලා තමයි මේ තත්ත්වය පැමිණෙන්නේ. උදාහරණයක් විදියට – Antisocial personality disoder. හැබැයි මේ බොරු කීම සහ මිනිස් මොලයේ පවතින ඇමිග්ඩලා (Amygdala) කියන කොටස අතර නම් සෘජු සම්බන්ධතාවයක් පවතින බව පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා. එහෙම වෙන්නේ බොරු කියන තරමට බොරු කියන ප්‍රමාණයේ තරමට මොලයේ ඇමිග්ඩලා කියන කොටසේ සංවේදීතාවය අඩු වීම නිසාලු. සාමාන්‍යයෙන් බොරුවක් කිව්වම බය, ලැජ්ජාව, පසුතැවීම වගේ හැගීම් අපට ඇති වෙනවනේ. නමුත් ඇමිග්ඩලා කියන කොටසේ සංවේදීතාවය අඩු වුණාම ඒ විදියට ලැජ්ජාව, බය වැහෙ හැගීම් අපිට දැනෙන එක ඉබේටම අඩු වෙලා යන බව හොයාගෙන තියනවා.

ඉතින් මෙවැනි කෙනෙක් ඔබ සමීපයේ ඉන්නවා නම්, අප කළ යුත්තේ ඔවුන්ව තලාපෙළා කොන් කිරීම හෝ ඔවුන්ගේ බොරු නිසා අපගේ ඔලුව අවුල් කරගෙන මානසික වශයෙන් බිද වැටීම නොව ඔවුන්ව නිවැරදි උපදේශනය සඳහා යොමු කිරීමයි. බැන වැදීමෙන් හෝ රණ්ඩු වීමෙන් මේ තත්ත්වය යථා තත්ත්වයට පත්කළ නොහැකි බව අප තේරුම්ගත යුතුය!

හසින්ත හේවාවසම්