විශේෂාංග

හිතේ අමාරුවට අංශභාගය හැදුනොත් සක්කරයටවත් බේරන්න බෑ

එක්තරා දවසකදී හදිස්සියේම ආව දුරකතන ඇමතුමකින් දැනගන්නට ලැබුනේ මගේ හොඳම යාළුවෙකුගේ මාමා කෙනෙක් අසනීප වී ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි. අනපේක්ෂිත මොහොතක අංශභාගය රෝගය වැළඳිලා ඔහුට සෑහෙන්න අමාරුයි කියලා තමයි මට දැනගන්න ලැබුණේ. පෞද්ගලික හැඳුනුම්කමකුත් තිබෙන නිසා මමත් ලහි ලහියේම ලෑස්තිවෙලා ඒ කියපු රෝහලට ගියා. ඒ යන අවස්ථාවේදී යහළුවාගේ මාමා පරීක්ෂණ ගණනාවක්ම කරලා ඒවාගෙ දත්ත වාර්තා ලැබෙනතුරු කෙඳිරිගාමින් ඇඳ මත වැතිරිලා හිටියේ ඉතාමත් අසාධ්‍ය විදිහටයි. මාමගෙ අසලම ඉකි බිඳිමින් ඔහුගේ බිරිඳත් හිටියා. වෛද්‍යවරු සැක කළේ මොළයේ ලේ කැටියක් හිරවීම නිසා තමයි අංශභාගය තත්ත්වය ඇතිවුණේ කියලා. ඒ වගේම එවැනි ලේ කැටියක් හිරවෙලා තියෙනවානම් ඒක දියවෙන්න අවශ්‍ය කරන ඖෂධත් ඒ වනවිට ලබාදීලා අවසන්.

ඖෂධ ලබා දීලා තිබුණත් මාමගේ වේදනාවේ කිසිම අඩුවීමක් නම් පෙන්නුම් කළේ නෑ. ඒ අතරතුරම වාර්තා ටිකත් ආවා. වාර්තාවල නම් හිරවුණු ලේ කැටියක සේයාවක්වත් තිබුණේ නැහැ. නමුත් රෝගියා තනිකරම පෙන්නුම් කළේ ලේ කැටියක් හිර වුණාට පස්සේ දකින්නට ලැබෙන කායික ලක්ෂණ. වෛද්‍යවරු තව තවත් කලබල වුණා. විශේෂඥවරුන්ගේ නිර්දේශ මත රෝගය හඳුනාගන්න තව තවත් පර්යේෂණ ආරම්භ කළා. ඔය විදිහට ටික දවසක් ගියාට පස්සේ ඉබේම යාළුවාගේ මාමාගේ අංශභාග තත්ත්වය පෙන්නුම් කරන ලක්ෂණ නැතිවෙලා ගිහින් සුව වුණා. රෝග ලක්ෂණවලට හේතුව හොයාගන්නත් බැරි වුණත් Covid වසංගතය එක්ක රෝහල්වල ඇතිවෙලා තිබුණ තදබදය නිසා ඔහුව ටිකට් කපලා ගෙදර එව්වා.

ආයෙත් සතියකට විතර පස්සේ මට හදිස්සියේම දැනගන්න ලැබුණේ නැවත වතාවක් අසාධ්‍ය වී පෙරටත් වඩා දරුණු විදිහට අංශභාග රෝග ලක්ෂණ පෙන්වන්න පටන්ගත්ත බව. මේ අවස්ථාවේදී ඔහුව ඇතුළත් කරනු ලැබුවේ මුල් අවස්ථාවේ ඇතුළත් කළ පෞද්ගලික රෝහලටත් වඩා ඉහළ සැප පහසුකම් සහිත රෝහලකටයි. නැවත වතාවක් මුල සිට සියලුම පරීක්ෂණ සිද්ධ කළා. ලැබුණු ප්‍රතිඵල අනුව යාළුවගෙ මාමාට කිසිම ලෙඩක් නොමැති බව වෛද්‍යවරු තහවුරු කළා. සතියක් පමණ යන විට රෝග ලක්ෂණ නැති වී යාමත් සමඟ නැවත වතාවක් ඔහුව රෝහලෙන් පිටත් කළේ වෛද්‍යවරුන්ටත් දැඩි ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින්. ඒ වනවිට ඔහුගේ පවුලේ සියලුදෙනාම බයවෙලා සිටියේ මගේ යාළුවාගේ මාමාට කිසියම් ආකාරයක දරුණු රෝගයක් වැළඳෙන්නට ඇති කියලයි. ටිකට් කපාගෙන ගෙදර ආවාත් හැමෝම හිටියේ හරිම බයෙන්. ඔවුන්ගේ බය ඇත්තක් වුණා! තුන්වෙනි පාර ඉතාමත් දරුණු විදිහට ශරීරයේ එක පැත්තක් පණ නැතුව යහළුවාගේ මාමා පාර මැද්දෙම ඇදගෙන වැටුනා. මෙවර ඔහුව ඇතුළත් කළේ ජාතික රෝහලට. රෝහලට අරගෙන යන විට ශරීරය එක් පැත්තක් තනිකරම අංශභාග තත්ත්වයට පත්වෙලා තිබුණේ. ජාතික රෝහලේ වෛද්‍යවරුන් ලහි ලහියේ වැඩ කරමින් මෙම පුද්ගලයාගේ රෝගයට හේතු හොයන්න පටන් ගත්තා. ඔයා විශ්වාස කරනවාද අන්තිමට කරපු පරීක්ෂණවලිනුත් කියවුණේ යහළුවාගේ මාමාට කිසිම ලෙඩක් නැති බවයි. තුන්පාරක් පිට පිටම ලෙඩක් නැති බව ඔප්පු වුණා. හැමෝටම හිතාගන්න බැරි ප්‍රශ්නාර්ථයක්!

අවසානයේදී ඔහුව මනෝ වෛද්‍යවරයෙකු ගාවට යොමු කළා. එතැනදි අහන්න ලැබුනේ හරිම අමුතු කතාවක්. මේ යාළුවගෙ මාමා කොහොමත් අධික තරබාරු කෙනෙක්. එයා කොයිවෙලාවෙත් ජංගම දුරකතන එක්කම තමයි වැඩ. රාජකාරියේ කාර්යබහුලතාවය නිසා ව්‍යායාම කියලා නාමයක්වත් එයාගේ ජීවිතයේ කෙරෙන්නේ නෑ. ව්‍යායාම කෙරෙන්නේ නැති හින්දා එයාගෙ හිත නිතරම බයෙන් ඉඳලා තියෙන්නේ එයාට හෘදයාබාධ තත්ත්වයක් හෝ අංශභාග තත්ත්වයක් ඇතිවෙයි කියලා. තරබාරුකම නැති කරගැනීමට වැඩ කිරීම වෙනුවට ඔහු කළේ ඒ ගැන හිතමින් තව තවත් ආතතිය වැඩි කරගැනීම. ඒත් එක්කම පසුගිය මාස කිහිපය තුළ ඔහුගේ රාජකාරියේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙලා තිබුණා. ඔය අතරම මෙයාගේ බිරිඳ සිය පළවෙනි දරු ප්‍රසූතිය වෙනුවෙන් ලෑස්ති වෙමින් සිටියේ. බිරිඳ වෙනුවෙන් ඉටුවෙන්න ඕන යුතුකම් ප්‍රමාණය වැඩිවීමත් එක්කම මෙයා තව ටිකක් ආතතියට පත්වෙලා තිබුණා. ඒ අතරතුරම ලොකුම ආතති තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ එයා හරිම ආසාවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ පැදපු වාහනය අනතුරකට ලක්වීම නිසා.

මේ දේවල් මහා ලොකු ප්‍රශ්න නෙමෙයි කියලා පිටතින් බලන අපිට පෙනුනත්, අපේ කතානායකයා වැඩි කතාබහක් නැති, දේවල් හිත ඇතුළෙම තියාගෙන ඉන්න පුද්ගලයෙක් නිසා ඔහුට මේ දේවල් ඉතාමත් බරපතළ විදිහට දැනුණා. මිනිස්සු දාහක් මැද මෙයා ප්‍රශ්නත් එක්ක තනිවුණා. ආතතිය සම්බන්ධ හරි ලස්සන කතාව තමයි ඔයාට දැනෙන ආතතීන් එන්න එන්නම එකතු වෙනවා කියන එක. ඔයා ප්‍රශ්නයක් දැනෙන වාරයක් පාසා බාල්දියකට වතුර පුරවගෙන ගිහින් ඒ වතුර පොකුණකට දානවා කියලා හිතන්න. කාලය සමඟ ඉක්මනටම මේ පොකුණ පිරෙනවා. ඊටපස්සේ ඔයා දාන වතුර පොකුණෙන් එළියට ගලාගෙන යනවා. අන්න ඒ වගේම තමයි ආතතිය කියන දේත් එකතු වෙනවා. එළියට ගලාගෙන යන වෙන විදිහක් නැතිනම් පිටාර ගලනවා.

එක දවසකට අපේ ඔලුවට මානසික ආතතීන් කොච්චරනම් එනවද? එහෙම බැලුවට පස්සේ ජීවත් වීම සහ මානසික ආතතිය කියන්නේ ගහට පොත්ත වගේ බැඳුණු වචන දෙකක්. එදිනෙදා ජීවිතයේදී ආතතිය පාලනය කරගන්න, ඔයාගේ මනසේ ගබඩා වන ඍණාත්මක ශක්තිය එළියට දමන්න ඔයා අපොහොසත් වුණොත් අපේ කතානායකයා වගේ දරුණු තත්ත්වයකට ඔයත් අනිවාර්යෙන්ම ඇදවැටෙනවා. ආතතිය එකතුවෙලා එකතුවෙලා පිටාර ගලන්න පටන් ගත්තොතින් ඔයාගේ මොන ඉවුරට හානි වේවිද? සමහරවිට ඒක රස්සාව වෙන්න පුළුවන්, විවාහය වෙන්න පුළුවන්. නැවත කලින් තත්ත්වයට පත් කරගන්න බැරි විදියට ඉවුරක් කැඩුනොත් මොනතරම් නම් අපරාදයක්ද!

කාර්යබහුල ජීවිතය මැද්දේ වුණත් යාළුවොත් එක්ක පොඩියට හරි පාටියක් දාන්න වෙලාවක් හදාගන්න. ඉඳලා හිටලා හරි අනිවාර්යෙන්ම ට්‍රිප් එකක් යන්න අමතක කරන්නත් එපා. ඔයාට යහළුවෝ කවුරුවත්ම නැත්නම්, යාළුවෙක්ව හොයාගන්නකම් ඔයාගෙ හිතෙන දැනෙන දේවල් ඩයරියක් අරගෙන ලියන්න. හිතට දැනෙන හැමදේම! ඔයාගේ ඔලුවට එන හැම විස්තරයක්ම ඒකේ ලියන්න! ඔයාගේ ඔලුව නිදහස් වෙනකම් ලියන්න. ඒ වගේම ඔයාගේ ආතතිය පිට කරන්න හොඳ සෞඛ්‍යමත් විදිහක් හොයාගන්න. ඒක කෙනෙක්ට හොඳම යාළුවෙක් එක්ක රාත්‍රී කෑමකට යෑමක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඒක මෝස්තරයක් මැසීම වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට හැන්දෑවට මුහුදු වෙරළේ රැල්ල පාගන එක වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඔයා ගැනම විශ්ලේෂණයක් කරලා ආතතිය පිට කරගන්න ඔයාට ගැළපෙන විදි තුන හතරක් හදාගන්න. අධික ආතති වෙලාවක ඔයා මොනවද කළ යුත්තේ කියන දෙය ඔයා දැනගෙන ඉන්න අවශ්‍යයි.

හිතට දැනෙන ආතතිය පිට කරන්නෙ නැතුව එකතුවෙන්න දුන්නොතින්, ඔයාටත් වෙන්නේ අපේ කතානායකයාට වුණ වැඩේම තමයි. මොකද මනස ලෙඩ වීමත් සමඟ ශරීරය ලෙඩ වීම නවත්වන්න සක්කරයටවත් බෑ. ඉතින් මනස සුවපත් කරගන්න මේ තරම් ක්‍රම සහ විධි තියෙද්දී ඇයි මැරි මැරි ජීවත්වෙන්නේ?

හසින්ත ​හේවාවසම්