විශේෂාංග

අවුරුදු හයේ ඉඳලා කොකේන් ගහපු මම වෙනස් වුණානම් කාටද වෙනස් වෙන්න බැරි!

‘‘ජීවත්වීම තදබල විහිළුවක් ලෙසයි මට දැනුණේ. දරුවෙකු ලෙස මා මුහුණදුන් බොහෝ දේ කුමක් නිසා වුණාද කියලා මට අදටත් හිතාගන්න බෑ. ඒත්, අද ඒ සියල්ල වෙනස්. ඒ අත්දැකීම් සියල්ල තවත් අයෙකුට පිහිට වීම වෙනුවෙන් මට ලැබුණු බවයි මම විශ්වාස කරන්නේ.’’

සිය ජීවිතය උඩු යටිකුරු කිරීමෙන් පසු ජිනී බර්ට්න් සිතන්නේ එලෙසිනි.

‘‘වයස අවුරුදු 39 දී මගේ පෙනුමයි, ඊට අවුරුදු දහයකට පස්සෙ අද තියෙන පෙනුමයි හාත්පසින්ම වෙනස්. ඒ කාලේ මම ඇන්දේ පුංචි දරුවෝ අඳින ප්‍රමාණයේ කුඩා ඇඳුම්. ඇවිද්දෙත් මළ මිනියක් වගේ. දැන් මම සෞඛ්‍ය සම්පන්නයි. මට මගේ ජීවිතය වෙනස් කිරීමට හැකි වුණා කියන්නේ ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් කියන එකයි.’’

1972 දී ඇමරිකාවේ උපන් ජිනී බර්ට්න්ගේ ළමා කාලය කිසිසේත් සුන්දර නැත. ඇ​ගේ මව දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි තැනැත්තියකි. එමෙන්ම ඇය මානසික රෝගියකුද විය. පියා ඒ වනවිට සිටියේ සිරගතවයි. කුඩා ජිනීට හැදී වැඩෙන්නට සිදුවුණේ මත් සුළියක සිරවය. තමාට කිරීමට සිදුවන ඇතැම් දේ වැරදි බව කුඩා දැරියගේ සිතට දැනුණද ඉන් මිදීමට ඇගේ පරිසරය ඇයට ඉඩ දුන්නේ නැත. ජිනීගේ මව ඇයට මත්කුඩු හඳුන්වා දී තිබුණේ වයස අවුරුදු හයේදීය. වයස අවුරුදු 14ක් වනවිට ඇය කොකේන් භාවිතයට දැඩි සේ ඇබ්බැහිව සිටියාය. සියලු සබඳතාද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟිනි. තමා මුහුණ දී සිටින ව්‍යසනය වටහා ගැනීමට නොහැකි තරමට ජිනී සිටියේ මතෙහි ගොදුරක් වීය. මේ අතර හැදුණු වැඩුණු පරිසරයේ සියලු නොපනත්කම්වලට මුහුණ දීමටද ඇයට සිදුවිය. වරක් සිය මවගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණෙන අයෙකු අතින් දූෂණයට ලක්වූ ජිනී සියදිවි නසා ගැනීමටද උත්සාහ දරා ඇත.

වයස අවුරුදු විසි තුනක් වනවිට ඇය දෙදරු මවක් බවට පත්ව සිටියාය. එහෙත් ඇගේ පැවැත්ම නිසා දරුවන් ඇගේ භාරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි. ඒ වෙද්දී ඇය හෙරොයින්වලට දැඩි සේ ඇබ්බැහිව සිටියාය. මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ඕනෑම දෙයක් කරන මට්ටමකයි ඇය සිටියේ. සොරකමද එහි ප්‍රතිඵලයකි. බරපතළ වැරදි 17කට වරදකාරිය වූ ඈ තුන් වතාවක්‌ම සිර දඬුවම් වින්දාය. උන්හිටි තැන් අහිමිව මංමාවත්හි දිවි ගෙවනවිට ජිනීට අනාගතය ගැන කිසිඳු හැඟීමක් නොවීය.

‘‘පාරට වැටිලා, අසූචි ගඳ ගසමින් කිසිදා නෑමට ඉඩක් නොලැබෙනකොට ඔබ කොහොමද සමාජයට සේවයක් කරන්නෙ? ඔබේ ඇබ්බැහි වීම් ඔබටත් වඩා විශාල වුණාම ඒවා නඩත්තු කරනවා මිසක් සේවයක් කරන්න ඉඩ ලැබෙන්නෙ නෑ. ඔබ පාරෙ ඉන්න මිනිස්සුන්ගෙ ගොදුරක් වෙනවා. එතකොට ඔබට බලාපොරොත්තුවක් කොහෙන්ද? ඔබේ ජීවිතය ඔබටම දරාගන්න බැරිවෙනවා. එවිට ජීවත්වනවාට වඩා මියයාම හොඳ බව හිතෙනවා. මගේ ඇබ්බැහිවීම් නිසා මම ගතකළේ එවැනි ජීවිතයක්. කොයි මොහොතක හරි කවුරුන් හෝ මාව පුපුරුවා හරියි කියන බලාපොරොත්තුවෙනුයි මම හිටියේ.’’

බන්ධනාගාරගතව සිටි සෑම වතාවකදීම නිවැරදි වීම සඳහා ජිනීට අවස්ථාව හිමි වුණත් ඇය එහි ප්‍රතිඵල නොගත්තාය. නැවත නැවත පුරුදු ජීවන රටාවටම අවතීර්ණ වූවාය.

2012 ජිනීගේ තීරණාත්මක වසරයි. එවිට ඇයට වයස අවුරුදු හතළිහකි. සොරාගත් ට්‍රක් රථයකින් පළා යමින් සිටියදී පොලිසිය ඇය ලුහුබැඳ ගියේය. හොරා-පොලිස් ක්‍රීඩාව නැවතුණේ රථය ගසක ගැටීමෙනි. එය ජිනීගේ ජීවිතයේ වෙනසකට මග කීවේය. මේ රුදුරු සිහිනයෙන් අවදි විය යුතු බව ජිනී තීරණය කළේ ඒ මොහොතේය. අත්අඩංගුවට ගනු ලදුව පොලිස් රියේ පසුපස අසුනට බර දුන් ජිනී මේ ජීවිතය අතහරින බවට තමාටම පොරොන්දු වූවාය. අධිකරණ නියෝගය මත වොෂින්ටනයේදී අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇයට හිමිවිය. සැබෑවටම ඈ ඉගෙනීමේ හපනියකි. සිය ජීවිතය කෙතරම් නාස්ති වී ඇතිද යන්න ඇයට ඒත්තු ගියේ එහිදීය. අධ්‍යාපනයට මෙන්ම ආගමානුකූලව දිවි ගෙවීම කෙරෙහිද ඇගේ නැඹුරුව විශේෂිත විය.

ඉගෙනුම් කටයුතු විශිෂ්ට අන්දමින් සිදුකළ ජිනී බර්ට්න් වොෂින්ටන් සරසවියට ඇතුළත් වූවාය. එහිදී ඈ හැදෑරුවේ දේශපාලන විද්‍යාවයි. ඇයට ශිෂ්‍යත්වයක්ද හිමිවිය. අධ්‍යාපන ආයතන පනස් පහකින් ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලද සිසු සිසුවියන් හැට දෙදෙනා අතරට තමාගේ නමද ඇතුළත් වීම ජිනීට පුදුමයක් විය.

‘‘ඔබට වැරදීමක් වෙලා. ඔබ දන්නෙ නෑ මම කවුද කියන එක. එනිසයි මෙතරම් වටිනා ශිෂ්‍යත්වයකට මා තෝරාගෙන තියෙන්නෙ.’’

ශිෂ්‍යත්වය හිමිවීම ගැන ඇය සිය මතය දැක්වූයේ එලෙසිනි. එහෙත් ඊට ලද පිළිතුර ඇගේ හදවතේ ගැඹුරට කිඳා බැසීය.

‘‘අපි දන්නවා ඔබ කවුද යන වග. එනිසයි ඔබව තෝරාගත්තේ.’’

වයස අවුරුදු හතළිහේදී මත්ලෝලී සෙරක වූ ජිනී ඉන් වසර අටකට පසු සම්පූර්ණයෙන් මතින් මිදුණු උපාධිධාරිනියක වූයේ ඒ සියල්ල මෙන්ම තමාගේම අවංක උත්සාහය හේතුවෙනි.

‘‘ජීවත්වීමට කිසිඳු ආසාවක්, බලාපොරොත්තුවක් නොතිබුණු මා අදටත් ජීවත් වෙනවා. මා මිය නොයන්නට ඇත්තේ මගෙන් මේ සමාජයට සේවයක් විය යුතු නිසා කියලයි මම විශ්වාස කරන්නෙ. දෙවියන් මං දිහා බලාගෙන ඉන්නවා ඇති. මගෙ වැරදි සියල්ලට සමාව දෙන්න ඇති. ඒ නිසා මං සමාජයට මගෙන් විය යුතු දේ ඉටු කරනවා.’’

මේ වනවිට ජිනී ඇතුළතින් මෙන්ම බාහිරින්ද සම්පූර්ණයෙන්ම වෙනස්ය. වසර හතළිහක් පුරා ගමන්ගත් වැරදි මාවත වෙනුවට නිවැරදි මාර්ගයට පිවිසීමට ඈ සමත් වූවාය. සිය සැමියා ක්‍රිස් සමඟ ජිනී මේ වනවිට සාර්ථක දිවියක් ගෙවන්නීය. සිය දරුවන්ට ඈ දැන් සැබෑ මවකි. විවිධ සමාජ ක්‍රියාකාරකම් සඳහාද ඇය නිරතුරු දායක වන්නීය. ඒ අතර ඇය අපූරුවට ජීවිතය විඳින්නීය. තමාට අහිමි වූ දේ වෙනුවෙන් ලෝකයට වෛර කරනවා වෙනුවට මිනිසුන්ට ජීවිතය දිනීමට ඈ මග පෙන්වන්නීය. ඇය පවසන පරිදිම ඕනෑම අයෙකුට සිය ජීවිතය නිවැරදි මාවතට රැගෙන යා හැකිය. කිසිවකුත් කිසිවකට ප්‍රමාද නැත. අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් උත්සාහ කිරීම සහ විශ්වසනීය පළමු පියවර තැබීම පමණි.

රෂ්නිකා ලියනගේ