විශේෂාංග

මගේ බොඩියත් කත්‍රිනාට දෙන්න

බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන විදියට මී කුණක් විකුණලා පොහොසතෙක් වුණු මනුස්සයෙක් ගැන කතාවක් ඔයාලා අහලා ඇතිනේ. හැබැයි එදායින් එදා මළ කුණු විකුණලා පොහොසත් වුණු මිනිස්සු ගැන කතා ගැන කවුරුත් අපිට කියලා නෑ. ඒ වුණත් මිනිස් මළ කුණුවලින් බොහොම අපූරු වැඩක් කරන්න යන කාන්තාවක් ගැන කතාවක්නම් ඊයේ පෙරේදා අපිට අහන්න ලැබුණා.

ඇගේ නම තමයි ‘කත්‍රිනා ස්පෙඩ්’ (Kathrina Sped). ජීවත්වෙන්නේ ඇමරිකාවේ. මිනිස් මළ සිරුරු යොදාගෙන කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්නයි ඇගේ ලක ලැහැස්තිය. ‘මානව කොම්පෝස්ට්කරණය’ කියලා නම්කරපු මේ වැඩේට මේ වෙනකොටත් ලොකු අවධානයක් ලැබිලයි තියෙන්නේ.

මනුස්සයෙක් මැරුණට පස්සේ මළ සිරුර කොහේ හරි අරන් ගිහින් වළදානවා. ඒත් නැත්නම් ආදහනාගාරයකට ගිහින් පුච්චනවා. මං පහුගිය කාලේ ඒ ගැන සෑහෙන්න හිතුවා. ඊටපස්සේ මට හිතුණා පරිසරයටත් හානියක් වෙන විදියට ඉවත් කරලා දාන ඒ මළ සිරුරුවලින් ප්‍රයෝජනවත් දෙයක් කරන්න. එහෙම හිතලා තමයි මළ සිරුරුවලින් කොම්පෝස්ට් හදන වැඩේට අතගැහුවේ.”

කත්‍රිනාට මේ අපූරු අදහස ඇතිවෙලා තියෙන්නේ මීට අවුරුදු දහතුනකට විතර කලින්. එතකොට ඇයට වයස අවුරුදු 30ක්ලු. ඉතින් මේ දහතුන් වසරක් පුරාවටම ඒ සම්බන්ධව පර්යේෂණවල යෙදුනු බවයි මේ වනවිට 43 වැනි වියේ පසුවෙන කත්‍රිනා පසුගියදා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කරලා තිබුණේ.

මළ සිරුරු භූමදානයේදි වගේම ආදාහනයේදි පරිසරයට ලොකු බලපෑමක් වෙනවා. මට ඒ තත්ත්වය නැතිකරන්නයි උවමනා වුණේ. මොකද පරිසරය හානිවෙන්න හානිවෙන්න එහි බලපෑම ඇතිවෙන්නේ අපිටමයි. අනික මට හිතුණා ජීවිත කාලයක් පුරාම අපිව රැකබලාගන්න මේ ලෝකයාට අපි ජීවත්වෙලා ඉන්නකොට විතරක් නෙවෙයි මියගියාට පසුවත් යමක් දිය යුතුයි කියලා.”

ඇය කියන විදියට මේ වැඩෙන් මළ සිරුරක් ආදාහනයකදී සිදුවෙන කාබන් ටොන් 1.4ක් වායුගෝලයට මුදාහැරීම වැළකී යනවලු. ඒ වගේම සම්ප්‍රදායික භූමදානයකදී වුවත් මළ සිරුර ප්‍රවාහනයට, දේහය තැන්පත් කිරීමට භූමියක් සෙවීමට වගේම එහි සොහොන් ඉදිකිරීම් වැනි පොදු කටයුතුවලදී පාරිසරිකව සිදුවන හානියත් නැති වෙනවලු. ඒ නිසාම මළ සිරුරු කොම්පෝස්ට් බවට පත්කිරීමට තමා ගත් තීරණය ඉදිරියේදී බොහෝ රටවල් අනුගමනය කරාවි කියලයි කත්‍රිනා කියන්නේ.

මගේ සෙටිජෝස් කියන සමාගම එක්කයි මං මේ වැඩේට අතගැහුවේ. මේ වෙනකොටත් අපි කරපු පරීක්ෂණවල ප්‍රතිඵල අපේ රටේ සියැටල්වල තියෙන ඇමෙරිකා විද්‍යාන්භිවර්ධන සංගමය වෙත ඉදිරිපත් කරලයි තියෙන්නේ. ඔවුන් මේ වැඩේ ගැන ලොකු පැහැදීමකින් ඉන්නේ

මෙතැනදි මළ සිරුරක් කොම්පෝස්ට්කරණය කරන්නේ යම්කිසි ක්‍රමවේදයකට අනුව. ඒ දැව කැබලි ඇතිරූ ඇඳක් මත පොරෝනයකින් එතූ මළ සිරුර සෙල්සියස් අංශක 55ක උෂ්ණත්වයක් යටතේ විශේෂිත ක්‍රමයකට දින තිහක කාලයක් තැබීමෙන්. අනෙක් කාරණාව ඕනෑම මළ සිරුරක් ඒ උෂ්ණත්වයේ යම් කාලයක් තැබීම මඟින් විවිධ ලෙඩරෝගවලට ලක්වූවන්ගේ මෙන්ම ඖෂධ සහිත සිරුරු කොටස්වල අහිතකර තත්ත්වය නැතිකිරීමටත් පුළුවන්ලු.

මළ සිරුරක් කොම්පෝස්ට් බවට පත්කළාට පස්සේ මියගිය පුද්ගලයාගේ නෑදෑ හිතවතුන්ට ඒ පොහොර අරගෙන පැළයක් සිටවන්න හෝ ඕනෑම වගාවකට පොහොර ලෙස යොදාගන්න පුළුවන්. ඒක හොඳ පොහොරක් කියලා දැනටමත් අපි හඳුනගෙන තියෙනවා.”

මේ අතරේ කත්‍රිනා ප්‍රමුඛ ඇයගේ සමාගම මේ ක්‍රමවේදය පරිසර හිතකාමී අවමංගල්‍යයක් විදියටයි හඳුන්වන්නේ. ඔවුන්ගේ රටේ ඕනෑම කෙනෙක්ට ඉදිරියේදී ඒ වෙනුවෙන් දායක වෙන්න පුළුවන් කියලයි කත්‍රිනා කියන්නේ.

දැනටමත් අපේ රටේ පශු සම්පත් ගොවිපොළ ආශ්‍රිත සත්ව මළ සිරුරු කොම්පෝස්ට් බවට පත්කිරීම සිද්ධවෙනවා. අපි කරන්න යන්නෙත් ඒ වගේම වැඩක්. එකම විශේෂත්වය තමයි අපි මේකට යොදාගන්නේ මැරුණු මිනිස්සුන්ගේ සිරුරු වීම.”

හැබැයි තවමත් මානව කොම්පෝස්ට්කරණය වෙනුවෙන් නීත්‍යානුකූල අවසරය තියෙන්නේ ඇමෙරිකාවේ වොෂින්ටනයට විතරයි කියලත් කියන්න ඕනේ. ඒත් කත්‍රිනාගේ බලාපොරොත්තුව නම් පුළුවන් ඉක්මණට ඉදිරියේදී ඒක ලෝකය පුරාම ව්‍යාප්ත කරන එකලු.

මුලින්ම මානව කොම්පෝස්ට්කරණය ඇමෙරිකාව පුරාම ව්‍යාප්ත කරන්න ඕනේ. එතැනින් පස්සේ ලෝකයේ හැම රටකම අපේ සමාගමේ ශාඛා විවෘත කරන්න අපි බලපොරොත්තු වෙනවා. මං හිතනවා මිහිතලයට ආදරේ කරන හැමෝම මේ දිහා සුබවාදී විදියට බලලා අපිත් එක්ක එකතුවෙයි කියලා.”

කත්‍රිනාගේ ඒ බලාපොරොත්තුව ඉටුවුණොත් ඉදිරියේදී ‘සෙටිජෝස්’ සමාගමේ ශාඛාවක් ලංකාවෙත් විවෘත වේවි. එහෙම වුණොත් අපිටත් බැරියැ අපි මැරුණු දවසක අපේ බොඩියත් කත්‍රිනාට ඇවිත් අරන් යන්න කියන්න.

රුවන් එස්.සෙනවිරත්න