විශේෂාංග

ඉන්නෙ ඔබේ හඬ අහන්නට පතා ආයෙ කවදාද මෙහෙ එන්නෙ ලතා

එදා සුමධුර හඬින් ගී ගැයූ භාරතයේ ගීත කෝකිලාවිය මෙදා සිය ජීවන ගීතය ගයා නිමකොට යන්නම ගිහින්ය. ඇගේ වියෝවෙන් ඔද්දල් වූ සිත් ඇති රසිකයෝ ඇය ගැන බොහෝ දෑ කියති. ඉන් නොනැවතී ලියති. ඒ අතර ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල වචන හයකින් ඇය ගැන තැබූ සටහන අපේ සිත් ගත්තේය. ‘ශ්‍රාවකයාගේ නිවන පසක් කළ සප්තස්වර බුදුවරිය’ යනුවෙනුයි ඔහු ලතා මංගේෂ්කාර්ව හඳුන්වා තිබුණේ. සත්‍ය වශයෙන්ම එය එසේ නම් මෙතැන් සිට ලියැවෙන්නේ ශ්‍රාවකයන්ගේ නිවන පසක් කළ ඒ සප්තස්වර බුදුවරියගේ කතාවයි.

මීට වසර 92කට පෙර එනම් 1929 සැප්තැම්බර් 28 වැනිදාවකයි ධීනාත් මංගේෂ්කාර් සහ ෂෙවන්ති මංගේෂ්කාර් යුවළට දාව ඒ පවුලේ කුළුඳුල් දියණිය ලෙසින් ඇය ඉපදු‍ණේ. මංගේෂ්කාර් පවුල ඒ වනවිටත් කලාවට ඇලී සිටි නිසා වයස අවුරුදු 5 පිරෙනවිටම පුංචි ලතාටත් තාත්තාගේ අතේ එල්ලී නාට්‍ය රඟපාන්න යෑමට අවස්ථාව උදාවිය. බාලේ පටන්ම හිත තිබු‍ණේ කලාවට නිසා කාලේ ගතවුණත් ඈ පොතපතට නම් ආලේ කළේ නැතිතරම්.

කාලය එසේ ගතවෙද්දී ලතාගේ තනි මකන්නට මීනා, ආෂා, ඌෂා මෙන්ම ඉර්ද්‍යනාත් ලෙස තවත් දරු පැටවුන් සිව්දෙනෙක්ම මංගේෂ්කාර් පවුලට එකතු වූහ. ඇස්වහක් කටවහක් නොවදින්නට ඒ දරුවෝ සියල්ලටම කලාවට අධිපති සරස්වතී දේව මෑණියන්ගේ ඇල්ම බැල්ම නොඅඩුවම ලැබී තිබුණි. පවුලේ තිබූ කලා පසුබිමත් දරුවන්ගේ හැකියාවනුත් නිසා මේ පවුලේ සියලුම දරුවෝ සංගීතයට පෙම්බැන්දහ.

ඒ මොනවා වුණත් තමා විසින්ම පමුණුවා ගත් වාරණයක් නිසා කුඩා ලතා කිසිදිනෙක තම පියා ඉදිරියේ ගී ගයා තිබුණේ නැත. සංගීතය පිළිබඳ දැනුමැත්තෙකු වූ ඔහු ඉදිරියේ ගී ගයන්නට ඇයට තිබු​ණේ බයකි. නමුත් ගීත ගායනයට තිබූ ඕනෑකම නිසාම ඇය නිවසේ මුළුතැන්ගෙට ගොස් තම ගී අසන ලෙස මෙහෙකාරියන්ට නිතරම ඇවිටිලි කළාය. එහෙව් දවසක පියාගෙන් සංගීතය උගෙනීමට පැමිණි ශිෂ්‍යයෙක් සංගීත කාමරයේ ගීතයක් පුහුණුවෙන ආකාරය මෙන්ම පියා මඳකට එතැනින් ඉවත්වන ආකාරයත් ලතා බලාගෙනයි සිටියේ.

ඔහුගේ ගායන ශෛලිය නිවැරදි නොවන බව ඇය වහාම අවබෝධ කරගත්තාය. ලූලා නැති වළට කණයා පණ්ඩිතයාය කියන්නාක් මෙන් තාත්තා නැති අතර ගෝලයාගේ වැරැද්ද නිවැරදි කරනතෙක් දැන් ඇයට ඉස්පාසුවක් නැත. පියා නැති ඇසිල්ලේ ඊට අවස්ථාව සලසාගත් ඇය වහා සංගීත කාමරයට ගොස් ඔහුට නිවැරදිව ගයන අයුරු ගයා පෙන්වූවාය. පියා එතැනට පැමිණි බවක් ඇය නොදැක්කත් තම ගෝලයාට ශිල්ප දෙන වැඩිමල් දෝණිගේ ගායන හැකියාව ගැන තාත්තා නම් එදා දැනගත්තේය. ඊට ටික දිනකට පසු ඔහු දියණියගේ ජන්ම පත්‍රය රැගෙන දක්ෂ නක්ෂත්‍රකරුවකු වෙතයි ගියේ.

‘‘ඔබේ වැඩිමල් දියණිය කිසිවෙකුට ළඟා විය නොහැකි තරම් වෘත්තීය මට්ටමින් සාර්ථක වෙනවා. ඇය ඔබේ රටේ ජනප්‍රියම ගායිකාවක් වෙනවා. ඒක ස්ථීරයි.’’

නමුත් නක්ෂත්‍රකරුට ඔහුගේ මුහුණ බලාගෙන කියන්නට බැරි කතාවක්ද තිබුණේය. ඒ දියණිය ජනප්‍රිය වනවිට ඈ නංවන ජයකෙහෙළි සියැසින් දකින්නට ඔහු ජීවතුන් අතර නැති බවයි.

කාලය ටිකෙන් ටික ගෙවී යන්නට විය. ඒ 1942 අවුරුද්දයි. ඒ වනවිට ලතාට වයස අවුරුදු 13 කි. එදා ඇයට කිසිසේත්ම නොසිතූ නොපැතූ අන්ද​මේ වාසනාවක් පෑදුනේය. ඒ වසන්ත් ජොගල්කර් නිෂ්පාදනය කළ ‘කිටි හසාල්’ නම් මරාති චිත්‍රපටියේ පසුබිම් ගීතයක් ගායනා කරන්නටයි. ඒ වයසේ කෙල්ලකට කොහෙත්ම නොලැබෙන ඒ අවස්ථාව ලැබීම අතින් ලතා වාසනාවන්තය. නමුත් අවාසනාවට මෙන් ඒ ගීතය චිත්‍රපටියට ඇතුළත් වුණේ නැත. එදා නම් ලතාට නොහඬා ඉන්නට බැරිය.

ඔය අතරවාරයේ තමයි ඒ දුක දෙපිටින් යන්නට තවත් අසුබ ආරංචියක් ලැබුණේ. ඒ ආරංචියෙන් කියවුණේ ඊට සුළු මොහොතකට පෙර හදවත් රෝගයක් නිසා පියා මියගිය බවයි.

මංගේෂ්කාර් පවුලේ මුදුන් මුල එසේ ගැලවී යද්දී මතුවූ ආර්ථික ප්‍රශ්න එතැන් පටන් ලතාලාට දෙපයින් හිටගන්නට දුන්නේම නැත. කාටත් වඩා ඒ බව දැනුණේ පවුලේ වැඩිමලා වූ ලතාටය.

රැකියාවකට යන්නට තරම් සුදුසුකමකුත් ඒ වනවිට ඇයට නැත. පාසල් අධ්‍යාපනයක් ලබා තිබුණේද නැත. නමුත් සුරූපී තරුණියක වූ​ හෙයින් රංගනයට එක්වීමට ඇය ඕනෑවටත් වඩා සුදුසුකම් සපුරා තිබුණි. පහිලී මංගලෝර්, මාස් බාල්, ජීවන් යාත්‍රා, චත්‍රපති ශිවාජී වැනි චිත්‍රපටිවලට රංගනයෙන් දායක වන්නට ඇයට අවස්ථාව හිමිවන්නේ ඒ අනුවය. ඒ අතරතුරේ කෝකටත් වඩා හැකියාව ඇති ගායනයෙන් වැඩක් ගැනීමට කොතෙක් උත්සාහ කළද ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් විය. ඒ ඇගේ හඬ හින්දි සිනමාවට නොගැළපෙන බව කියමින් චිත්‍රපට අධ්‍යක්ෂකවරු දිගින් දිගටම ඇයව ප්‍රතික්ෂේප කිරීම නිසායි. ඉඩක් ලැබෙන වෙලාවක් බලා හින්දුස්ථානි සංගීතය ඉගෙනීමට උස්තාද් අමන් අලි ඛාන් නම් සංගීතවේදියා ළඟට යාමයි එහි අවසන් ප්‍රතිඵලය වුණේ.

ඔය අතුරතුර 1943 වසරේ ‘ගජාභාවු’ නම් චිත්‍රපටයක් තිරගතවීමට නියමිතව තිබිණි. ඒ චිත්‍රපටයේ පසුබිම් ගීතයක් ගායනා කිරීමට ලතාටද ඇරයුම් ලැබිණි. ඒ හරහා ඇයට ප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරයෙක් වූ ගුලාම් හයිදර්ගේ ඇසුර ලැබිණි. ඔහුගේ මඟ පෙන්වීම මතයි එවකට බොලිවුඩයේ ජනප්‍රියම රංගන ශිල්පිනිය වූ මධු බාලාගේ හඬට පණදෙමින් ‘මහල්’ චිත්‍රපටය වෙනුවෙන් ගීතයක් ගායනා කිරීමට ඇයට අවස්ථාව ලැබුණේ. එතැන් පටන් ඇගේ ගමන නවතන්නට කිසිවෙකුටවත් නොහැකි වුණේ ඒ හඬ පරයා යන්නට තරම් සූරයෙක් ඉන්දියාවෙන් බිහි නොවූ නිසයි.

1955 අවුරුද්ද තරුණ ලතාගේ ගායන දිවියට ආශිර්වාදාත්මක අවුරුද්දක් විය. ඒ පළමු වතාවට ලාංකේය චිත්‍රපටියකට සිංහල භාෂාවෙන් ගීතයක් ගායනා කරන්නට ඇයට අවස්ථාවක් ලැබීම නිසාය. ඒ, ටී.සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කළ ‘සැඩ සුළං’ චිත්‍රපටයේ වූ ‘ශ්‍රී ලංකා…. මා ප්‍රියාදර ජයභූමි’ නම් ගීතයයි. ආනන්ද සමරකෝන් මහතා අතින් ලියවුණු එම ගීතය ලතා ගායනා කළ එකම සිංහල ගීතය වූ අතර එය ගායනා කිරීමෙන් පසු තමන්ට ලැබුණු ගෙවීමත් ඇය ආනන්ද සමරකෝන් මහතාට පරිත්‍යාග කළ බවයි සඳහන්. ඒ තමාට සිංහල ගීත පුරුදු පුහුණු කළ ගුරුවරයා වූ නිසා ඔහුට කෘතගුණ සැළකීමක් වශයෙනි.

තරුණ වියේදී ලතාගේ රූප සම්පත්තිය බොලිවුඩ් නිළියන්ටද අභියෝග කළේය. ඒ නිසාමදෝ තරුණයින්ගේ ඇල්ම බැල්ම නම් අඩුවක් නැතිවම ලැබිණි. ඒවාට ප්‍රතිචාර නොදක්වා සිටියත් බාල සහෝදරයාගේ හොඳම මිතුරා වූ රාජ් සිංව නෙත ගැටීමෙන් පසුනම් ඇගේ හිතට දොරගුලු දා තබන්නට බැරි විය. රාජ් සිං යනු එවකට ඉන්දියාවේ එක්තරා රාජවංශයකට උරුමකම් කී කඩවසම් තරුණයෙකි. කෙසේ හෝ දෙදෙනා අතර ආදරයක් දළුලා වැඩෙන්නට වැඩි කලක් ගතවූයේ නම් නැත.

වාසනාවත් අවාසනාවත් කලින් කලට ආව ගිය ලතාගේ ජීවිතයට යළිත් උදාවෙමින් තිබුණේ අවාසනාවන්ත සමයකි. ඇයගේත් රාජ්ගේත් ආදර කතාවට රාජ්ගේ දෙමව්පියෝ අකමැති වූහ. ඒ ඇය ඔවුන්ගේ රාජවංශයට නොගැළපෙන තරුණියක් වීම නිසාය. ඒ නිසා වේදනාවෙන් වුණත් දෙපැත්තට වෙන්නටයි දෙදෙනාට සිදුවුණේ. නමුත් ප්‍රේමයේ නාමයෙන් රාජ් එහිදී දැඩි තීරණයක් ගෙන තිබුණි. ඒ ජීවිත කාලය පුරාවටම විවාහයක් නොකරගෙන තනිකඩව ඉන්නටයි. පසුව ලතාද ඒ තීරණයම ගත් අතර දෙදෙනාම ගතකළේ තනිකඩ ජීවිතයි. රාජ් 2009 සැප්තැම්බර් 12 වෙනිදා ‘ඇල්සයිමර්’ නම් රෝගයෙන් මියගිය අතර ඒ වනවිට ඔහු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් ලෙසද කටයුතු කර තිබුණි.

ඉන්දියාවේ සිටි සුපිරිතම ගායකයා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන මොහොමඩ් රාෆි මියගිය පසු ඔහුගේ තැන ගත්තේ කි‍්‍රෂෝර් කුමාර්ය. කෙටි කලකින්ම ඔහු හින්දි සිනමාවේද ඉහළින්ම සිටි පසුබිම් ගායකයා බවට පත්විය. වරක් ඔහු ඒ වනවිට මැදිවිය ඉක්මවමින් සිටි ලතා පිළිබඳව පවසා සිටියේ මෙවැන්නකි.

‘‘මේ වෙනකොට හින්දි චිත‍්‍රපටවලට වැඩිම මුදලක් අය කරන ගායකයා මමයි. ඒත් ඒ හැමවිටකම මං ඇය ගීතයකට අය කරන මුදලට වඩා රුපියලක් හරි අඩුවෙන් අය කරන්නේ. ඒ ඇයට කරන ගෞරවයක් භක්තියක් විදිහට. ලතාගේ ගීත ගායනා ශෛලිය සහ ඇගේ හඬ සමඟ හැරෙන්නට අපි කාටවත්ම බෑ.’’

ක්‍රිෂෝර් කුමාර් එලෙසින් ලතාගේ ගායනය වර්ණනා කරද්දී වරක් ඇය ගැයූ දේශාභිමානී ගීතයක් වන ‘ඒ මේරේ වතන් කී’ ගීතය ඇසූ එවකට ඉන්දීය අගමැති ලෙස සිටි ජවහර්ලාල් නේරුතුමාගේ ඇස් කඳුළින් තෙත් වූ බව සඳහන්ය. ඒ බව ඔහු ලතා හමුවී මුහුණටම කියූ බව ඇය වරක් ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

සැබවින්ම ගීතයක් බඳු ජීවිත කතාවකුයි ලතා මංගේෂ්කාර්ට තිබුණේ. භාරත ගී කෝකිලාවිය, ස්වර මාධුර්යයේ රැජිණ, දේශයේ හඬ, සහස්‍රයේ ගායිකාව ලෙස කවදත් කොතැනත් හැඳින්වූ ඇය පසුගිය පෙබරවාරි 06 වෙනිදා ලෝකයක්ම හඬවමින් සිය ජීවන ගීතය ගයා අවසන් කළාය. ඒ කොවිඩ් වැළඳී එය උඩුදුවා මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ජීවිතයත් මරණයත් අතර කළ සටනකින් පසුවයි.

මියයන විට ඇයට වයස අවුරුදු අනූ දෙකකි. ඒ වනවිටත් ලතා මංගේෂ්කාර් වෛජයන්තිමාලාගේ සිට ප්‍රීති සින්ටා දක්වා වූ නිළියන්ට සිය ගායන ස්වරයෙන් පණ පොවමින් භාෂා තිහකට අධික ගණනකින් ගීත තිස්දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර තිබුණි. චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස ෆිල්ම් ෆෙයාර් ඇතුළු ලැබිය හැකි සියලුම සම්මාන අත දැරූ ඇය මිය යනවිට භාරත රත්න, පද්ම භූෂණ වැනි ගරු සම්මාන ගණනාවකින්ද පිදුම් ලබා තිබුණි. මියයන්නට ටික කලකට පෙර ඇය කියා තිබුණේ මරණින් පසු තමන් යළිත් ඉපදීමට කැමති නැති බවයි. බොහෝ විට එසේ කියන්නට ඇත්තේද ඇය නොසිටියද ඇය ගැයූ ගීත ඇයවද ජීවත් කරවන නිසා විය යුතුය. ඉතින් ‘ලතා ජී’ සුවෙන් නිදන්න.

රුවන් එස්.සෙනවිරත්න