විශේෂාංග

මිනී මස්වලින් කේක් හැදූ ඉතාලි නෝනා ලියනාඩා සියන්සියුලි (Leonarda Cianciulli)

ඉතාලි ජාතික ලියනාඩා සියන්සියුලි’ (Leonarda Cianciulli) මිනිසුන් ඝාතනය කර ඒ මස් යොදාගෙන සබන් සහ කේක් ව්‍යාපාරයක් සිදුකළ කාන්තාවකි. මේ ඇගේ කතාවයි.

ලියනාඩාට තිබුණේ සුන්දර ළමා කාලයක් නොවේ. සම වයසේ දරු දැරියන්ගේ ජීවිතවල තිබූ සතුට මෙන් අංශුමාත්‍ර සතුටක් හෝ ඇයට තිබුණේ නැත. ඒ ඇගේ මවගේ නපුරුකම් හේතුවෙනි. දැරියට කෙතරම් නම් ජීවිතය තිත්ත වී තිබුණාද කිව්වොත් වරක් දෙවරක්ම ඇය සියදිවි හානිකරගන්නට පවා උත්සාහ කළාය.

ලියනාඩා, මේ අහගනිං. උඹ යක්ෂයාගේ ශාපයට අහුවුණු එකියක්…”

ඒ පුංචි ලියනාඩාට විසිහතර පැයේ වැඩිපුරම ඇසුනු කතාවය. නපුරු ගතිගුණවලින් යුතු ඇගේ මව නිතර නිතර ඇයට බැණවැදුනේ එලෙසිනි. නමුත් තමාට එලෙසින් බැණවදින්නේ ඇයිදැයි ඇය කිසි දවසක මවගෙන් ඇසුවේ නැත. නිකමට හෝ එසේ ඇසුවා නම් බොහෝවිට ඇයට සිදුවන්නේ මැරුම් කන්නටය. එනිසා මවගේ නපුරුකම් ඉවසාගෙන සිටිනු විනා ඇයට වෙනත් විසඳුමක් නොවිණි.

කාලයත් සමඟ පුංචි ලියනාඩා රූමත් තරුණියක් ලෙසින් වර්ධනය විය. ඇගේ රූමත් බව නිසාමදෝ ඇයට පෙම් යෝජනාවලින්නම් අඩුවක් තිබුණේම නැත. ඒ අතරින් එක් තරුණයෙකුට ලියනාඩාගේ හිත ඇදී ගිය අතර ඒ වනවිට ඔහු කාර්යාලයක ලිපිකරුවෙක් ලෙස සේවය කරමින් සිටියේය. මවගේ අකමැත්තෙන් වුවද අවසානයේ ලියනාඩා ඔහු සමඟින් විවාහ විය.

කාලයත් සමඟ ඇය දරුවන් දාහතක් බිහිකළාය. නමුත් අවසනාවට මෙන් එයින් දහතුන්දෙනෙකුම අඩු වයසින් මියඇදුනි. නමුත් ජීවත්වෙන්නට වාසනාව ලැබුණු දරුවන් සිව්දෙනා ඇය ඉතා ආදරෙන් සෙනෙහසින් හදාවඩා ගත්තාය. ඒ කෙසේවුවද තමාට ගෙවා දමන්නට සිදුවූ අතීතයත් දරුවන්ගේ අහිමිවීමත් නිසා ඇගේ මානසික මට්ටම එතරම් හොඳ මට්ටමක තිබුණේ නැත. ඒ නිසා ඇය නිතරම පාහේ ජීවත්වූයේ දැඩි කෝපයෙනි.

කාලය ගෙවීයද්දී ලියනාඩාට එක පිට එක ආ කරදරවලද නිමක් නැති විය. වරක් ඇයට සිර දඬුවම් පවා විඳින්නට සිදුවූවාය. ඒ ඇය සිදුකළ වංචා සහගත ක්‍රියාවක් සම්බන්ධයෙනි. තවත් වරෙක ඇය ජීවත්වූ නිවස දරුණු භූමිකම්පාවකින් විනාශ වී ගියේ උන්හිටිතැන් පවා නැති කරමිනි.

දවසින් දවස මෙලෙස තමාට පැමිණෙන කරදර ගැන කල්පනා කරද්දී ලියනාඩාට අගේ මව නිතර කියූ කතාව සිහිපත් විය. එනම් ඇය යක්ෂයාගේ ශාපයට හසුවූ එකියක් යන්නයි. එහි ඇත්ත නැත්ත දැනගැනීමට සිතු ඈ අනාවැකි කියන කාන්තාවක් සොයාගෙන යන්නට තීරණය කළාය. එහිදී ඇයට අසන්නට ලැබුණේ ඇය දකුණු අතේ සිරගෙයද වම් අතේ අපරාධ සහ උම්මත්තකභාවයද සළකුණු කරගෙන ඉපදුණු තැනැත්තියක් බවයි.

මේ අතර තම පුතුන් සිව්දෙනා අතරින් ලියනාඩා වැඩිපුරම ආදරේ කළේ ඩිසේපිටයි. ඔහු එවකට ඉතාලි හමුදාවේ සේවය කරමින් සිටියේය. ඒ නිසාම ඇයට ඩිසේපිගේ ආරක්ෂාව ගැන විශාල බියක්ද හටගෙන තිබුණි. අනාවැකි කියූ කාන්තාව කී පරිදි තමා යක්ෂයාගේ ශාපයට ලක්වී ඇති නිසා තම පුතුටත් එයින් බලපෑමක් වනු ඇතැයි ඇය බියපත් විය. පසුව තම දරුවා එම ශාපයෙන් බේරාගැනීමට මිනිස් බිලි පූජාවක් සිදුකිරීමටයි ලියනාඩාට අවශ්‍ය වූයේ. එහි ප්‍රතිඵලය ලෙස ඇය අතින් කාන්තාවන් තිදෙනෙකුම ඝාතනයට ලක්විය. ඒ වනවිට ලියනාඩාගේ වයස අවුරුදු හතළිස්තුනකි. කෙසේ හෝ එම සිදුවීමෙන් පසු  දිගින් දිගටම මිනිසුන් මරා දැමීම ඇගේ ජීවිතයේ නිරන්තර කාරියක් බවට පත්විය.

ඔය අතරතුරයි ඇයට අලුත් අදහසක් පැමිණියේ. ඒ තමා අතින් ඝාතනය වන මිනිසුන්ගේ මිනී මස් යොදාගෙන සබන් සහ කේක් නිපදවීමටයි. පසුකලෙක එම ව්‍යාපාරය වෙනුවෙන් ඇය මිනිසුන් ඝාතනය කළ බව පැවසෙන්නේ වස පානය කිරීමට සැලැස්වීමෙනි. ඉන්පසු පොරවක් ආධාරයෙන් මළසිරුරු කැබලි කර කෝස්ටික් සෝඩා තුළ ගිල්වා දින කීපයක්ම තැම්බීමට හැරීමෙන් පසු කේක් සහ සබන් සාදා ඇත. ඒ සම්බන්ධව ඇයගේ දිනපොතක තිබූ සටහනක් මෙසේය.

 

‘මැරී සිටින අයගේ සම සුදු පාටට හුරු මේදයෙන් සමන්විතයි. මම එය දිය කරගෙන ඊට සුවඳ විලවුන් බෝතලයක්ම එකතු කළා. ඊළඟට එය තවත් තම්බා ගත්තම සුවඳ සබන් නිර්මාණය කරගන්න හැකියාව ලැබුණා. මං ඒ සබන් දන්න කියන අයට තෑගි විදියට බෙදුවා.’

 

මේ අතර එකී දිනපොතේම තවත් පිටුවක ඇය මිනී මස්වලින් කේක් නිෂ්පාදනය කළ ආකාරය ගැන සටහන් කර තිබූ බව කියන්නේ මෙලෙසිනි.

 

‘බේසමකට එකතු කරගත් මළසිරුරුවල තිබුණු ලේ කැටි ගැහෙනකල් මට බලාගෙන ඉන්න වුණා. ඊළඟට ඒවා කුඩුකරලා පිටි, සීනි, චොක්ලට්, කිරි සහ බිත්තර එකතු කරලා කේක් හැදුවා. ඒවත් මං දන්න කියන අයට කන්න බෙදුවා. ඒ විතරක් නෙවෙයි මගේ ළමයින්ට පවා මං ඒ කේක් කන්න දුන්නා.’

 

ලියනාඩාගේ මෙම ජුගුප්සාජනක ක්‍රියා කලාපය නිසා බොහෝ කාන්තාවන්ට ඇය අතින් මැරුම් කන්නට සිදුවිය. එසේ මැරුම් කා ඔවුන්ට සබන් කෑල්ලක හෝ කේක් ගෙඩියකට අමුද්‍රව්‍යයක් බවට පත්වෙන්නට සිදුවිය. ඕනෑම අපරාධයක් දීර්ඝකාලීනව වසන් කිරීමට නොහැක. ඒ නිසා ලියනාඩාගේ මේ අපරාධය ගැනද එරට ආරක්ෂක අංශ වෙත තොරතුරු සැල විය. එහෙත් පොලිසිය ඉදිරියේ ඇය එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කළාය. අනතුරුව වැඩිමල් පුතු වන ඩිසේපිව පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමට පොලිසිය තීරණය කළපසු ඇය සියල්ල පාපොච්චාරණය කළාය. එහිදී අනාවරණය වූ පරිදි ඇය මිනිසුන් ඝාතනය කිරීම පමණක් නොව මුදල් ඇතුළු ඔවුන්ගේ වටිනා දෑ පවා සොරාගන්නටද පෙළඹී ඇති බවයි. මේ සියල්ලටම හේතුවී තිබුණේ ඇයට තිබූ දරුණු මට්ටමේ මානසික ව්‍යාධියකි.

අවසානයේදී ඇයට මිනිස් ඝාතන සිදුකිරීමේ වරදට බරපතළ වැඩ සහිතව වසර තිහක් සිර දඬුවමකට යටත් කළ අතර ඊට පෙර වසර තුනක් ඇයට මානසික රෝහලක ප්‍රතිකාර ලබන්නට සිදුවිය. කෙසේ හෝ තිස්වසරක් පුරාවට සිරබත් කෑ ලියනාඩා 1970 ඔක්තෝබර් 15 වැනිදා රක්තාඝාතය නම් රෝගය වැළඳී මියගියාය. එසේ මියයන විට ඇයට වයස අවුරුදු 76කි. ඉතාලි ජාතික කාන්තාවක් වූ ලියනාඩා ඉපදී තිබුණේ 1894 අප්‍රේල් 18 වැනිදාය.

මේ අතර අදටත් ඉතාලියේ රෝම නගරයේ අපරාධ විද්‍යා කෞතුකාගාරයේදී ඇය මිනිසුන් ඝාතනය කර මස් කැපීමට භාවිතා කළ පොරෝව ඇතුළු ආයුධ මෙන්ම එකී මස් තම්බා සබන් කිරීමට යොදාගත් කල්දේරම දැකගත හැකිය. ලියනාඩා සියන්සියුලිගේ මේ බිහිසුණු කතාව අළලා මෑතකදී චිත්‍රපටයක්ද නිර්මාණය වූ අතර ඒ ‘ලියනාඩා’ (Leonarda) නම් ඉංග්‍රීසි චිත්‍රපටයයි.

රුවන් එස්.සෙනවිරත්න