විශේෂාංග

ඕකනම් ෂුවර් එකටම හොර කපල් එකක්

ගීත්මා හිටියේ කාලෙකට පස්සේ එයාගේ පවුලේ අය එක්ක සීගිරියට ට්‍රිප් එකක් යන ගමන්. වාහනය ටිකක් නැවැත්තුවාම ගීත්මායි, අයියලා දෙන්නයි කඩේකට ගියේ වෑන් එකේ ඉන්න කට්ටියටම උදේට කන්න ආප්ප ටිකක් ගන්න. ඒ අතරේ අයියලා කාටද හිනාවෙනවා. ඒ හිනාවෙන්නෙ කාටද කියලා දැන ගන්න ගීත්මාට ලොකු උවමනාවක් තිබුණා. ඒ නිසාම ඇය ටිකක් පස්ස හැරිලා බැලුවා.

ගීත්මාගේ ලොකු අයියා ඇහැකින් පෙන්නුවේ පැත්තක තිබුණු මේසයක්. ඒ මේසය ගාව හිටියේ කපල් එකක්. පෙනුමින් නම් දෙන්නම මැදිවියේ. දෙන්නා හරි ආදරෙන් හිනාවෙවීම පරාටා කනවා. පිරිමි කෙනාගේ මුහුණේ වැදුනු ඉඳුල් වගයක් කාන්තාව ඇගේ ලේන්සුව අරගෙන පිහිදානවා. ඒ දෙන්නගේ ඇස්වල ආදරය උතුරනවා.

ඒ විතරක්ද පිරිමි කෙනා කාන්තාවගේ පිඟානට තව හොදි බෙදනවා. මොනවදෝ කිය කියා ඇයව හිනස්සනවා.

‘‘මිස් ගාන දෙසිය පනහයි.’’ අවන්හලේ සේවකයාගේ හඬින් තමයි ගීත්මා පියවි සිහියට ආවේ.

ආප්ප ටිකත් අරගෙන එළියට එද්දිත් අයියලාගේ කතාව ඒ දැකපු ජෝඩුව ගැන.

‘‘ෂුවර් එකට හොර කපල් එකක් වෙන්න ඇති.’’

‘‘මල විකාර නේද? අර ගෑනිට හොදි බෙදාගන්න බැරිද මනුස්සයා බෙදලා දෙන්නේ?’’

‘‘ඒකනේ. අනිත් අය බලාගෙන ඉන්නේ කියලවත් ගානක් නෑ.’’

එන ගමනුත් අයියලාගේ කතාව ඒ ගැන.

ගීත්මාට ඒ අස්සෙ මතක් වුණේ පොඩ්ඩ බැරි වුණ ගමන් පැටලෙන තමන්ගේ අම්මවයි තාත්තයි. ඒ දෙන්නට රණ්ඩු වෙන්න තැනක් නොතැනක් නැහැ. අම්මයි, තාත්තයි අර කඩේ දැකපු ජෝඩුව වගේ ආදරයෙන් ඉන්නවා නම් කොච්චර හොඳද කියලා ගීත්මාට හිතුණත් ගීත්මා අයියලාට ඒ ගැන කියන්න ගියේ නැහැ.

වෑන් එකට නැගලා කට්ටියම ආප්ප කෑවේ වාහනය පිටත් වෙද්දි.

‘‘පුතේ, වෑන් එක නවත්තන්න කියන්නකෝ. ටොයිලට් එකකට යන්න ඕනෙ.’’ ගීත්මාගේ අම්මා කාලා ඉවර වුණු ගමන්ම කිව්වා.

‘‘මේ ගෑනිට නම් ඔලුවක් නැද්ද කොහෙද? අර දරුවෝ ආප්ප ගන්න නවත්තපු වෙලාවේ යන තැනක ගිහින් එන්න එපැයි. නිකන් කාලේ නාස්ති කරනවා.’’ එකපාරටම ගීත්මාගේ තාත්තා තරහින් කියවන්න ගත්තා.

‘‘අනේ මේ, ඔහේ ඔහේගේ වැඩක් බලා ගන්නවද? ඇ‍යි ඉක්මණට සීගිරියට යා ගන්න පුළුවන් වුණොත් කාෂ්‍යප රජ්ජුරුවෝ ඔහේට සම්මානයක් දෙනවා කිව්වද?’’ ගීත්මගේ අම්මත් ආපස්සට කිව්වා.

‘‘මේ වගේ මෝඩ මගුලක් මාත් කර ගහගත්තනේ මගේ ගොන්කමට. මගේ ජීවිතේ නිස්කාරණේ ගෙවිලා ගියේම මේ වගේ මෝඩ වැඩ දිහා බලන් ඉඳලා.’’ තාත්තා තවත් තරහින් කියාගෙන ගියා.

‘‘අපෝයි ඔව්. ඒ ගැන නම් මොකට කතා කරනවද? පහ වසරෙන් ඉගෙනීම නවත්තපු මිනිහා මට කියා දෙන්න එනවා උගත්කම ගැන. පොල් මුදලාලි කෙනෙක් කිව්වම මමත් රැවටුණා අඩුම තරමේ අටවත් පාස් ඇති කියලා. බැන්දට පස්සෙනෙ දැනගත්තේ පහට වෙනකම් විතරයි ඉස්කෝලෙ ගිහින් තියෙන්නේ කියලා.’’

ගීත්මගෙයි, අයියලාගෙයි මුහුණු ලැජ්ජාවෙන් රතු වෙද්දි පිටිපස්සෙ හිටිය නැන්දලාගේ පවුලේ අය හිකි හිකි ගාලා හිනාවෙන්න පටන් ගත්තා.

වෑන් එකේ රියදුරාත් හිනාවෙවීම වෑන් එක නැවැත්තුවා.

‘‘බලන්න නංගි මේ මිනිස්සු අපිටත් ලැජ්ජ කරන හැටි. අපි වැදගත් තැන්වල රස්සා කරනවා. ඒත් මේ දෙන්නා තාම තැනක් නොතැනක් නැතුව රණ්ඩු. ගෙදරින් එද්දි මම කොච්චර නම් කිව්වද මේ දෙන්නට සීගිරි ගිහින් එනකම් රණ්ඩුවලට පැටලෙන්න එපා කියලා.’’ ගීත්මාගේ ලොකු අයියා ගීත්මාගේ පැත්තට බරවෙලා හොරෙන් කිව්වා.

‘‘අර කඩේ හිටිය කපල් එක? ඒ දෙන්නාට ඔයාලා හිනාවුණු එක වැරදියි අයියේ. ඇත්තටම හිනාවෙන්න ඕනෙ තැනක් නොතැනක් නැතුව ආදරෙන් ඉන්න අයට නෙවේ. මේ වගේ දරුවන්ටත් ලැජ්ජ කර කර ඔහේ ප්‍රසිද්ධියේ රණ්ඩු කරන මිනිස්සුන්ට.’’ ගීත්මා කිව්වේ හිතේ වේදනාවෙන්.

ගීත්මාට ඊළඟට ඇහුනේ අයියා දිගු සුසුමක් හෙලන හඬ.

සමාධි ඩයස්