විශේෂාංග

නෝනගේ ආදරේ පෙන්වන්න මහත්තයාගේ ලන්ච් බොක්ස් එකත් ඇති

කෑම උයන්න මං කොහොමත් ආසයිනේ. ඒකෙනුත් මං වැඩියෙන්ම ආස දරුවන්ගෙයි, මහත්තයගෙයි කෑම පෙට්ටි ලෑස්ති කරන වැඩේට.

මුලින්ම මං කෑම පෙට්ටියක් ලෑස්ති කරේ දහම්ට. ජපානෙට ආවට පස්සේ උයන්න පටන් අරන්, හදපු ජාති දෙකක් එක්ක කෑම පෙට්ටියට බත් දාලා තමයි යැව්වේ. පස්සේ ජාති තුන, හතර වුණා. ඊටත් පස්සේ බත් අඩු කරලා ව්‍යාංජන ජාති, මස්, මාළු වැඩියෙන් බෙදලා යැව්වා.

අද වෙද්දි එහෙම හදපු කෑම පෙට්ටිය, ගොඩක් වෙනස් වෙලා. බත් යවන්නෙම නැති තරම්. ඒකට හේතුව තමයි දහම් මීට අවුරුදු දෙකකට උඩදී මෙඩිකල් චෙක්අප් එකක් කළා. ඒ රිපෝට් එකට අනුව ඩොක්ටර් දීපු උපදෙස් එක්ක අවුල් වෙච්ච හැමදේම යථා තත්ත්වයට ගන්න පුළුවන් එකම කෙනා මං කියලා හිතුවා. මට මගේ පවුලේ අයගේ ශරීර සෞඛ්‍ය ගැන වගේම හදන කෑමවල පෝෂණය ගැනත් ලොකු වගකීමක් තියෙනවා කියලා තේරුණා. එදා ඉඳන් මං දහම්ගේ කෑමවේල වෙනස් කරා. දහමුත් ඒ කෑම රටාවට කැමති වුණ නිසා මට ඒක ලොකු පහසුවක් වුණා.

මං දහම්ගේ දවල් කෑමවේලට ගොඩක් වෙලාවට යැව්වේ මස් වර්ග, මාළු වර්ග, තම්බපු එළවළු, ඒ ඇරුණාම සලාද වර්ග වගේ දේවල්. මස් හරි මාළු හරි හදනවනම් කලින් දවසේම ලුණු, ගම්මිරිස්, විනාකිරි, සුදුලූනු, අමුඉඟුරු පේස්ට් එක දාලා, කලවම් කරලා ඒකටම ඔලිව් තෙල් හරි පොල්තෙල් හරි ටිකක් දාලා මැරිනේට් වෙන්න ෆ්‍රිජ් එකේ දානවා. පහුවදා උදේට ගන්න නිසා අධිශීතකරණයට දාන්නේ නෑ. උදේට මේ විදියට හරි ගස්සගත්ත මස් හරි මාළු හරි එයාෆ්‍රයර් එකට දානවා. එයාෆ්‍රයර් එකක් නැති කාලේ මං පෑන් එකේ පියනෙන් වහලා අඩු ගින්දරෙන් දෙපැත්ත රත් කරලා තමයි ගත්තේ. තෙල් නොදා මැරිනේට් වෙන්න දාපු තෙල්වලින්ම දෙපැත්ත බැදගත්තා. මාළු එහෙම හදාගත්තත් මස් වර්ග හද්දදි අවන් එක පාවිච්චි කරා. එකම විදියට ලුණු, ගම්මිරිස් කුඩු ජාති විතරක් දාලා මස්, මාළු මැරිනේට් කරන්න බැරි නිසා තව තව මැරිනේට් කරන විදි අන්තර්ජාලයෙන්, යාළුවන්ගෙන් දැනගෙන හදලා බැලුවා. ඒකෙන් මගේ දැනුමට දේවල් එකතු වුණා. අලුත් ක්‍රම ඉගෙනගත්තා. ෆිෂ් සෝස්, සෝයා සෝස්, අනියන් සෝස් වර්ග, මී පැණි දාලා තව තව විදියට මස්, මාළු මැරිනේට් කරන විදි හොයාගත්තා. ඒකෙන් එකම විදියට නැතුව එක එක රසට මට මස්, මාළු හදන්න පුළුවන් වුණා.

මස්, මාළු වර්ග ඇරුණාම මං සැලඩ් වර්ග හැදුවා. අලුත් ඒවා  try කරා. හැම එකම වගේ රසට ආවා. හදන්නත් ලේසියි. තව මල්ගෝවා මං හීනියට ග්‍රේට් කරන්, ග්‍රේට් කරපු මල්ගෝවාවලින් ෆ්‍රයිඩ් රයිස් හැදුවා. ෆ්‍රයිඩ් රයිස් හදන විදියටම බත් වෙනුවට පාවිච්චි කරේ ග්‍රේට් කරපු මල්ගෝවා. ඒ අරුණාම බ්‍රොකලී, කැරට්, බෝංචි, වට්ටක්කා, ගර්කින් (English cucumber), ගෝවාමල්, හතු, එළවළු වර්ගවලින් කෑම හැදුවා.

අනිත් වැදගත්ම දේ, කෑම රටාවට අමතරව දහම් හැමදාම පැයක් ව්‍යායාම කරා. ඔන්න හැදෙයි මෙන්න හැදෙයි වගේ තිබ්බ ඩයබිටිස්, කොලෙස්ටරෝල් දෙක, මං වෙනස් කරපු ආහාර රටාවයි එයාගෙන් ලැබුණ සහයෝගයයි නිසා මාස දෙකෙන් තියෙන්න ඕන සාමාන්‍ය ගානට ආවා.

බත් උයන්නැතුව මේ විදියට කෑම හදන එක මටත් ගොඩක් පහසු වුණා. සමහර දාට මං එක සැරේට මස්, මාළු වර්ග දවස් පහටම පස් විදියකට හදලා මැරිනේට් වෙන්න අධිශීතකරණයේ දානවා. ඒ ඒ දවසට හදන්න තියෙන මස් හරි මාළු හරි කලින්දා රෑ මං අධිශීතකරණයෙන් අරන් ශීතකරණයේ සාමාන්‍ය කොටසට දානවා. එයාෆ්‍රයර් එකේ ඒ දේවල් සැකසෙනකන් මං ඉතුරු දේවල් හදනවා.

උදේට බොන්න දෙන්නෙත් රසම රස ස්මූති එකක්. දවල් දොළහට කෑම කනකන්, ස්මූති එක හොඳටම ඇති. හැම මාසෙම පළවෙනිදාට මං කිරිබත් හදන නිසා එදා ඇරුණාම අනිත් හැමදාම office යන්න කලින් දහම් ස්මූති එකක් බීලයි යන්නේ. මේ විදියට හදලා යවන කෑම කිසිම විදියකින් දවල් වෙද්දි කන්න බැරි විදියට නරක් වෙන්නේ නෑ. උදේ මං හදන දේ දවල් දොළහටයි දහම් කන්නේ. කිසිම දවසක නරක් වෙලා නෑ.

මං තව පුංචි ආදරණීය දේකුත් කරා. අලවන්න පුළුවන් පොඩි කොළේක පුංචි love note එකක් ලියලා කෑම පෙට්ටිය උඩ අලවනවා, ආදරේ හිතෙන පොඩි දෙයක් ලියලා. එයත් ඒකට උත්තර ලියලා කෑම කාලා කෑම පෙට්ටිය ඇතුළේ දානවා. ඉස්සර හවසට ඕක බලනකන් මට ඉවසිල්ලක් නෑ. පස්සේ කාලෙක මගෙන් ඒක මඟහැරුණා. ඒත් මං ආපහු පටන් ගත්තා. ඒකෙන් ආදරේ අලුත් වෙනවා. කෑම එක කන්න කලින් ආදරේ පිරුණ පුංචි වචනයක් දැක්කාම කෑම එක කන්නෙත් සතුටෙන්.

දහම් කියන්නේ මගේ ආදරණීය ස්වාමිපුරුෂයා, මගේ පැටව් තුන්දෙනාගේ තාත්තා. අපිව ආදරෙන් බලාගන්නේ අපේ හැම ඕන එපාකමක්ම හොයලා බලලා කරන්නේ එයා. එයාව කිසි ලෙඩක් දුකක් හැදෙන්න නොදී බලාගන්න එක මගේ වගකීමක් කියලයි මට හිතෙන්නේ. මං හිතන්නේ ඒක හැම බිරිඳකටම පැවරෙන ආදරණීය වගකීමක්.

ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස සලාද වර්ග කීපයක් ගැන ඊළඟ ලිපියෙන් ලියන්නම්.

පරිස්සමෙන් ඉන්න.

ආදරෙත් එක්ක උයමු.

 

හෂිනි මනමේන්ද්‍ර