විශේෂාංග

ප්‍රශ්නෙ තියෙන්නේ හස්බන්ඩ්ට ඒත් ළමයි නෑ කියලා කතන්දර අහගන්න වෙලා තියෙන්නේ මට

ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය

I.L. ජයවීර

MBBS. PG Diploma

MD (Venereology)

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන

අද මගේ ලිපියට ප්‍රස්තුත වන්නේ බොහෝ අඹු-සැමියන් සඟවන, නමුත් කතා කළ යුතුම මාතෘකාවක්ය.

ඒ මාතෘකාව පැහැදිලි කිරීමට මා උදාහරණයට ගන්නේ ඉතා මෑතකදී මා හමුවීමට පැමිණි යුවළකගේ කතාන්දරයක්ය. නම් ගම් හෙළි කිරීම සුදුසු නැති නිසා මා එම දෙපල අයෝමා සහ සමීර යන නම්වලින් හඳුන්වමි.

අයෝමා සහ සමීර විවාහ වී ඇත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙරය. විවාහයෙන් වසර දෙකක් ගතවන තුරු දරුවන් නොසාදන බවට ඔවුන් විවාහයට පෙර සිටම කථිකා කොටගෙන තිබිණි.

ඩොකටර්, දැන් අපි බබෙක් හදන්න ට්‍රයි කරන්න පටන් අරගෙන අවුරුද්දකටත් කිට්ටුයි. ඒත් තාම අපිට බබාලා නැහැ.”

අයෝමා පැවසූයේ සෝසුසුම් ලමින්ය. වයස 30ක් වුවද දරුවකු ලැබීමට අපොහොසත් වීම නිසා ඇය සිටියේ දැඩි කණස්සල්ලෙනි. එසේම සැමියාගේ මව නිතර නිතර ඇයට මේ සම්බන්ධයෙන් ඇණුම්පද කියනා නිසා ඇයට දැන් ජීවිතය පවා එපා වී ඇති බව ඈ තවදුරටත් පැවසුවාය.

ප්‍රශ්නේ තියෙන්නේ මෙයාට. ඒත් එයාලගෙන් කයි කතන්දර අහගන්නේ මම….”

ඇය එසේ පවසද්දී සමීරයේ මුහුණ මැලවී යන යුරු මම දුටුවෙමි. තත්ත්වය හේතුවෙන් අයෝමා පමණක් නොව සමීරත් සිටින්නේ දැඩි පීඩනයක බව පැහැදිලිය.

රෝග තත්ත්වය පිළිබඳව නිගමනයකට එළැඹිය යුතු නිසා මේ පිළිබඳව මම දෙදෙනා සමඟ තවදුරටත් කතාබහ කළෙමි.

එහිදී අයෝමා හැඬූ කඳුළින් කියා සිටියේ ලිංගික ඇසුරේදී තම සැමියාට ලිංගික ප්‍රාණවත් බව පවත්වා ගැනීම අපහසු වීම මේ ගැටළුවට හේතුව බවය.

එසේම විවාහ වී වසර දෙකක් යනතුරු මෙවැනි ගැටළුවක් නොතිබුණු බවත් දරුවෙකු සෑදීමට උත්සාහ ගන්නා කාලසීමාවේ පටන් මේ තත්ත්වය ඇතිවූ බවත් ඈ කියයි.

ලිංගික අකර්මණ්‍යතාවය ඇතිවීමට බලපානු ලබන ප්‍රධාන හේතු කාරණා ද්විත්වයකි. ඉන් පළමුවැන්න කායික හේතූන් වන අතර අනෙක වන්නේ මානසික හේතූන්ය.

තරුණ වයසේ සිටි සමීරට කිසිඳු කායික ගැටළුවක්ද නොවූ නිසා ගැටළුව පිටුපස යම් මානසික බලපෑමක් ඇති බව පැහැදිලි විය.

ප්‍රතිකාර කිරීමට ඒ පිළිබඳව දැනගත යුතුම නිසා සමීරගෙන් තත්ත්වය පිළිබඳව තනිව ප්‍රශ්න කිරීමට මම කටයුතු කළෙමි.

බිරිඳ පිළිබඳව යම් අමනාපයක් හෝ දරුවන් සෑදීමට අකමැත්තක් අත්දැයි මා ඇසූවිට ඔහු කියා සිටියේ එවැනි කිසිඳු ගැටළුවක් නැති බවයි.

හැබැයි මෙහෙම දෙයක් නම් තියෙනවා ඩොක්ටර්. දරුවෙක් හදන්න ට්‍රයි කළ මුල් කාලේ ඉඳලම වයිෆ් ලොකු පීඩනයක හිටියේ. සරු කාලෙට එයා මට ඔෆිස් යන්නත් එපා කියනවා. ඒත් එහෙම නිවාඩු ගන්නත් අමාරුයිනේ. වැඩ නිසා සරු කාලෙදි හරියට එකතු වෙන්න බැරි වුණු වෙලාවල් තිබුණා. ඒ දවස් දෙක තුන මිස් වුණොත් වයිෆ් හරියට අඬනවා. ඇත්තටම මටත් ඒක නම් පීඩනයක්.”

මෙය පැහැදිලිවම ලිංගිකව එක්වී දරුවෙක් සැදීමට තිබූ කලබලය සහ එයින් ඇතිවන මානසික පීඩනය නිසා ඇතිවූ ලිංගික අකර්මණ්‍යතාවයක් බව මට පැහැදිලි විය. දරුවෙකු සෑදීම සම්බන්ධයෙන් අයෝමාගේ සිතේ හටගෙන තිබූ පීඩනය සමීරට බලපා තිබුණේ මේ ආකාරයටය.

තත්ත්වය කායික හේතුවක් නිසා ඇති නොවූයෙන් මේ දෙදෙනාට යුවළ උපදේශන ලබාදීමට මම කටයුතු කළෙමි.

අනවශ්‍ය මානසික පීඩනයකින් ලිංගික ක්‍රියාවලියේ යෙදීම නිසා මෙවැනි ගැටළු ඇතිවිය හැකි බව මම ඔවුන්ට පැහැදිලි කළෙමි. ආදරණීය යුවළක් ලෙස සතුටින්, ආදරණීයව නිතිපතා ලිංගිකව එක්වීම වඩා යෝග්‍ය බව මම තවදුරටත් අවධාරණය කළෙමි.

ප්‍රජනන ක්‍රියාවලියට අමතරව අපගේ මානසික යහපැවැත්ම හොඳින් පවත්වාගැනීම උදෙසාද ලිංගික එක්වීම අත්‍යවශ්‍ය බව තේරුම්ගත යුතුය.

සැමියාගේ බිරිඳගේ පවුල් ආරවුල් නිසා ලිංගිකව අකර්මණ්‍යතාවයට පත්වූ සැමියන් පවා අපට හමුවී ඇත.

මානසික හේතූන්වලට අමතර අධිරුධිර පීඩනය, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු, හෘද රෝග ඇතුළු විවිධ රෝග තත්ත්වන්ද යමෙකු ලිංගිකව අකර්මණ්‍ය වීම උදෙසා බලපෑ හැකිය. එසේම දුම්පානය සහ මත්ද්‍රව්‍ය නිසාත් මෙවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ ඇත.

හේතුව කායික හේතුවක් වුවත්, මානසික හේතුවක් වුවත් තම පිරිමිකමට නිගා වේ යැයි සිතන නිසාදෝ මේ සඳහා ප්‍රතිකාර ලබාගන්නා පිරිමින් සාපේක්ෂව අඩුය. තමා පිළිබඳව අන්‍යයන් වැරදි වැටහීම් ඇති කරගනීවි යැයි සිතනා ඇතැම් බිරියන් පවා සැමියාගේ මේ ගැටළුව ඉවසාගෙන ජීවත්වීමට හුරුවෙති.

කාන්තාවකගේ මානසික යහපැවැත්ම හොඳින් පවත්වා ගැනීමට ඇයට කායික ස්පර්ශය මෙන්ම සතුට ගෙන දෙන ලිංගික එක්වීම් ඉතා වැදගත්ය. එම තෘප්තිය නොලැබෙන විට ඇයට සැමියා පිළිබඳව වෛරීසහගත සිතක් වුවත් පහල විය හැකිය. එවිට සිදුවන්නේ සංකීර්ණ පවුල් ආරවුල් ඇතිවීමයි.

වයස අවුරුදු 40 ගත කරනා පුද්ගලයන්ගෙන් 40%ක් යම් ලිංගික අකර්මණ්‍යතාවකට මුහුණ දෙන බවට ගණන් බලා ඇත. ලිංගික අකර්මණ්‍යතාවය ඇතිවූ සැණින් බොහෝදෙනා එයට විසඳුම් ලබාගන්නේ ක්ෂණික ලිංගික උත්තේජනය පිණිස ලබාගන්නා ඖෂධ වර්ග භාවිතා කිරීමෙන්ය. ලිංගික අකර්මණ්‍යතාවය උදෙසා ලිංගික උත්තේජන පෙති ගිලදැමීම අතීසාරයට අමුඩ ගැසීමක් පමණකි.

හඳුනා නොගත් හෘද රෝග තිබෙන පුද්ගලයන් මෙම පෙති ලබාගැනීම මාරාන්තික වීමටද ඉඩ ඇත.

නිසි ප්‍රතිකාර මගින් ලිංගික අකර්මණ්‍යතාවය නිට්ටාවට සුව කිරීමට හෝ මැනවින් පාලනය කිරීමට හැකිය. එසේම ජාතික ලිංගාශ්‍රිත රෝග සායන මගින් මෙම ප්‍රතිකාර සහ උපදේශන සේවා නොමිලයේම ලබාගත හැකි බවත් සටහන් කළ යුතුමය. තම සැමියා එවැනි තත්ත්වයකින් පීඩා විඳිනවා නම් නිසි ප්‍රතිකාර වෙත යොමු වීමට ඔහුට සහාය වීම යහපත් බිරිඳකගේ වගකීමක් බවත් පැවසිය යුතුය.

සෙව්වන්දි හෙට්ටිආරච්චි