විශේෂාංග

ඇමරිකානු රූ රැජිනට ජීවිතේ තිත්ත වුණේ සමාජ මාධ්‍යය නිසාද?

දිනය පසුගිය ඉරිදාය. නිව්යෝර්ක් නගරයේ අන් බොහෝ ස්ථානවලට මෙන් මෑන්හැට්න්හි ද හිරුගේ රැස් පැතිරෙන්නට ගත්තා පමණි. වේලාව උදේ හත හමාරට ආසන්න වී තිබිණි. 42 වැනි හරස් වීදියේ පිහිටි අංක 350W දරණා ඔරියොන් ගොඩනැගිල්ල කවුරුත් දන්නා ස්ථානයකි. දින කිහිපයක් පුරා ඇදවැටුණු හිමවලින් මාර්ගය දෙපස බොහෝ ස්ථාන තවමත් වැසුනු ගමන්ය. එකවරම හිම තට්ටුව මත ලෙයින් තෙමී ගිය තරුණියකගේ මළ සිරුරක් කිසිවෙකුගේ නෙත ගැටුණේය. පෙනුණු ආකාරයට එය මහල් 60කින් යුත් ගොඩනැගිල්ලෙන් ඇද වැටීම නිසා සිදුවුණු මරණයකි. වැඩිවේලා යන්නට පෙර ආරංචිය පොලිසියට ගියේය.

කෙසේ වුවත් එය සාමාන්‍ය මරණයක් ලෙස සලකා අවසන් කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබු‍ණේ මියගොස් සිටියේ කවුදැයි හඳුනාගැනීමෙන් පසුවය. අද ඇය ගැන මුළු ලෝකයම කතා වෙයි. මරණයට පත්වී තිබුණේ 2019 වසරේ එක්සත් ජනපද රූමතිය (MISS USA) ලෙස කිරුළු පළන් චෙස්ලී ක්‍රිස්ට් ය. අවුරුදු 30ක් තරම් අඩු වයසකදී ඇය ස්වකැමැත්තෙන් සිය දිවි ගමනට සමුදී තිබිණි.

මුළු ලෝකයම අද ක්‍රිස්ට්ගේ මරණය ගැන කතා කළද තමා යන බව ඇය කලින්ම දැන සිටියාය.

‘‘තව ටික දවසකින් මුළු ලෝකෙම මගේ ලස්සන ගැන, මගේ ආත්ම ශක්තිය ගැන කතා කරාවි.’’

ඒ ඇය පසුගිය දින කිහිපයේ සිය පවුලේ අයට පවසා තිබූ කතාවයි. එහෙත් ඇගේ කතාවේ අරුත තේරුම් ගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත.

මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව ඇය මෙම තට්ටු ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානි කරගත් බව තහවුරු කරගෙන ඇත.

ඔරියොන් ගොඩනැගිල්ලේ තට්ටු 60කි. එහි නවවැනි මහලේ නිවසකයි ක්‍රිස්ට් ජීවත් වූයේ. එහෙත් මියයාමට ටික වේලාවකට පෙර කාටත් විවෘත 29 වැනි මහලේ සඳලුතලය මත ඇය තනිවම සිටිනු කිසිවෙකු විසින් දැක තිබුණි.

එපමණක් නොවේ. ඊට පැය කිහිපයකට පෙර ඇය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමට තමාගේ ඡායාරූපයක් නිදහස් කර තිබුණි.

අද ඔබ සමාදානයේ සැතපෙන දිනයයි.’

එම ඡායාරූපයට ක්‍රිස්ට් එක්කර තිබූ සටහනයි ඒ.

මේ කරුණු සලකා බලන විට ඇය තමාගේ මරණය කලින්ම දැන සිටි බව නැතිනම් සියදිවි නසාගන්නට සිතා සිටි බව කාටත් පෙනෙන දෙයකි.

1991 අප්‍රේල් 28 වනදා මිචිගන්හි ජැක්සන් ප්‍රදේශයේ ඇය උපත ලැබුවේ රූ රැජිනකගේ දියණියක වීමේ වාසනාවද හිමි කරගෙනය. 2002 වසරේ උතුරු කැරොලිනාවේ විවාහක රූ රැජින වූ ඒප්‍රිල් සිම්ප්කින්ස් ඇගේ මවයි.

‘‘එතකොට මම රළු ඇහිබැමක් හා කැරලි කොණ්ඩයක් තියෙන කළු කෙල්ලක් විතරයි. මට මතකයි මගේ අම්මා MRS NORTH CAROLINA 2002 සාටකය හා කිරුළත් පැළඳගෙන අශ්ව කරත්තයෙන් ආව හැටි.’’

රූ රැජින තරඟ කෙරෙහි ඇගේ උනන්දුව ඇතිවූයේ එතැන් සිට බව ක්‍රිස්ට් පසුකලෙක පැවසුවාය. ඉගෙනගන්නා අවධියේදී එවැනි තරඟ සඳහා ඇය ඉදිරිපත් වූයේ එබැවිනි.

රූ සපුව පමණක් නොව අධ්‍යාපනය කෙරෙහිද ඇගේ උනන්දුවේ අඩුවක් නොවීය. මේ නිසා දකුණු කැරොලිනා විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය දිනාගත් ඇය දර්ලා මුවර් සරසවියෙන් MBA උපාධියක් හා ​​වේක් ෆොරස්ට් නීති විද්‍යාලයෙන් නීති උපාධියද හිමිකරගත්තාය.

2019 උතුරු කැරොලිනා රූමතිය ලෙස අභිෂේක ලැබූ ක්‍රිස්ට් ඒ හරහා එම වසරේ එක්සත් ජනපද රූමතිය තරඟයද ජයගත්තාය. ඇයට එම කිරුළ පළඳවනු ලැබුවේ 2018 රූ රැජින වූ සාරා රෝස් සමර්ස් විසිනි.

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 රූ රැජින තරගය කල්ගිය නිසා වැඩිම කාලයක් එම කිරුල දැරූ තැනැත්තිය වූයේද ක්‍රිස්ට්ය. ඇය කිරුළු දරා සිටි කාලය දින 551කි.

ඇමෙරිකාව නියෝජනය කරමින් 2019 විශ්ව රූ රැජින තරඟයට ඉදිරිපත් වූ ක්‍රිස්ට් එහි අවසන් 10 දෙනා අතරටද තේරුණාය.

එපමණක් නොවේ, 2019 කළු ජාතික කාන්තාවන්ටම විශේෂ වූ වසරකි. ප්‍රධාන රූ රැජින ඉසව් හතරක්ම කළු ජාතික කාන්තාවන්ට හිමිවූ එකම වසර එයයි. ඒ විශ්ව රූ රැජින – දකුණු ඇමරිකාවේ සොසිබිනී ටුන්සි, MISS TEEN USA – කේලි ගැරිස්, MISS USA – චෙල්සි ක්‍රිස්ට් හා MISS AMERICA නියා ෆ්‍රෑන්ක්ලින් සිව්දෙනාම කළු ජාතිකයන් වීම නිසාය.

‘‘මට සිතාගන්නත් බැහැ ඇය මියගිය බව. එය හරියට සිහිනයක් වගෙයි. ඇය නිතරම කතා කළේ සමාජ සාධාරණත්වය ගැන. සමහරවිට ඇය මේ ලෝකයෙන් නොලැබෙන සාධාරණත්වය සොයා යන්නට ඇති.’’

ක්‍රිස්ට්ගේ සමීපතම යෙහෙළියක වූ 2019 විශ්ව රූ රැජින සොසිබිනී ටුන්සි සිය සමාජජාල ගිණුමේ දක්වා තිබුණේ එසේය.

ටුන්සි පමණක් නොවේ ක්‍රිස්ට් ගැන දැන සිටි බොහෝදෙනා කියන්නේ ඒ කතාවය. සිය නීති දැනුම ඇය වැඩිපුරම කැප කළේ මුදල් සෙවීමට නොවේ. විශේෂයෙන් අසාධාරණ ලෙස බන්ධනාගාරගත වූ පුද්ගයන් ඉන් ගලවා ගැනීමට ඇය දැඩි වෙහෙසක් ගත්තාය.

වසර 25ක් තිස්සේ අසාධාරණ සිර දඬුවමක් විඳිමින් සිටි පුද්ගලයෙකු ඉන් ගලවා ගැනීමට පසුගිය වසරේ ඇය සමත් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මත්ද්‍රව්‍ය චෝදනා මත ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී තිබුණි. සිය පවුලේ අය සමඟ එක්ව ඔහු නත්තල සැමරුවේ දශක දෙක හමාරකට පසුව ක්‍රිස්ට්ට පිංසිදු වන්නටය.

වරක් රූ රැජින තරඟයක් අතරතුර විනිසුරුවරයෙකු ඇයට පැවසුවේ යටඇඳුම වෙනුවට සායක් හැඳීම උචිත බවය.

‘‘ඔබ පිරිමින් වෙත ඉදිරිපත් කරන නීති තර්ක මගින් කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතා ගැන අවවාද නොදිය යුතුයි.’’

ඇය දුන් පිළිතුර එයයි.

මාධ්‍යවේදිනියක් ලෙසද ක්‍රිස්ට්ට ලොකු පිළිගැනීමක් තිබුණි. EXTRA නම් වැඩසටහන හරහා ඇය ලේඩි ගාගා, ටේලර් ස්විෆ්ට් ආදී ජනප්‍රිය පුද්ගලයන් රාශියක් සමඟම සම්මුඛ සාකච්ඡාවලට එක්වූවාය. ඊට අමතරව කෙලි ක්ලාක්සන් ෂෝ හා ලිව් විත් කෙලී ඇන්ඩ් රයන් වැඩසටහන්වලටද ඇය සම්බන්ධ වී සිටියාය. එමී සම්මාන උළෙලවල් දෙකකදීම ඇයට සම්මාන හිමිවූයේ මෙම දක්ෂතාවය හේතුවෙනි.

එතරම් දක්ෂතා හා වාසනාව තිබූ 30 හැවිරිදි මේ සුරූපිනියට ජීවිතය හැර දමා යාමට තරම් බලපෑ කාරණය කුමක්ද?

පසුගිය වසරේ මාර්තු මාසයේදී ඇය රූ රැජිනකගේ ප්‍රතිරූපය නමින් සඟරාවකට ලිපියක් සපයා තිබුණි. ඒ වනවිට ඇයගේ 30 වන උපන්දිනයට තිබුණේ මාසයක පමණ කාලයකි.

‘‘අවුරුදු 30ට ළඟාවීම යනු බොහෝදෙනාගේ මතකයෙන් ඈත්වීමක්. වයසට යන අයට විශේෂයෙන් කාන්තාවන්ට සමාජය සලකන්නේ නැහැ. මගේ අනාගතය ගැන මට දැනෙන්නේ හිස්බවක්. වෙලාවකට මට දැනෙන්නේ මා මරණයට ළංවන බවයි.’’

එහි ඇය සටහන් කර තිබුණි.

මේ හිස්බව සමඟම සමාජ මාධ්‍ය තුළ තමා ගැන සංසරණය වූ විවිධ අපහාසාත්මක කරුණුද ඇගේ ජීවිතය අගාධය කරා ගෙන යන්නට ඇත

ඒ ගැන ඇය නොයෙක්වර පවසා තිබේ.

‘‘මා ඉදිරිපත් වූ රූ රැජින තරඟවල ඡායාරූප යටින් වමනය දමන ඉමොජි රූප එක් කිරීමට සමහරු කටයුතු කරනවා. ඒ වගේ සටහන් මා මකා දැමූ වාර අනන්තයි. තවත් අය පවසන්නේ රූ රැජිනක් වීමට තරම් මා ලස්සන නැහැ. මගේ ඇඟ පිරිමියෙක්ගේ වගේ කියායි. නමුත් එය මා උපතින් ගෙනා දෙයක් මිස මගේ වරදක් නෙවෙයි.’’

මේ ඇය වසරකට ආසන්න කාලයක් පුරා නිතර කියූ කතාවකි. නමුත් ඒ සම්බන්ධයෙන් සිදුකිරීමට දෙයක් ඇයට නොතිබුණි. සිදුවූ එකම දෙය ක්‍රිස්ට්ට තමාගේම ජීවිතය එපාවීමය.

ඇගේ මරණයෙන් පසු විමර්ශන සිදුකළ පොලිසියට ඇගේ නිවසේ තිබී සටහනක් හමුවිය. එහි තිබු‍ණේ තමා සතු සියල්ලම සිය මවට භාරදී පිටව යාමට කාලය උදා වී ඇති බවය. අවසානයේ ඇය සිය අදහස ඉටු කර ගත්තාය.

නමුත් ඇගේ මරණය තුළ ලෝකයට සිතා බලන්නට අලුත් යමක් ඉතිරි කර ගොස් තිබේ.

වසන්ත විජේරත්න