විශේෂාංග

රස්සාවෙන් අයින් වෙන්නැයි කළ ඉල්ලීම භාරනොගත් නිසා පොලිස් බිරිඳට ගිනි තැබූ ධීවර සැමියෙකුගේ කතාව

සංසාරේ පුරාවට වෙනස් නොවී ඉන්න පාරමී පිරුවත්, ඒ හිත්ම දවසක විරසක සිතිවිලිවලින් පිරෙනවා. ඊටපස්සේ ඒ ජීවිතවල රැඳෙන්නේ හිත්රිදීම්, බිඳවැටීම්, ඇදවැටීම් විතරයි. සිහින දාහක් තියාගෙන එක වහලක් යටට වුණු නදීකා සංජීවනීගේත්, අසංක චමිත්ගේත් ජීවිතවලට අභාග්‍යය පැමිණියේ චමිත් ‘‘රස්සාවෙන් අයින් වෙන්න’’ කියලා නදීකාගෙන් කරපු ඉල්ලීමත් එක්ක.

නදීකා කියන්නේ පොලිසියේ රාජකාරි කළ සැරයන්වරියක්. චමිත් කලින් රාජකාරි කළේ හමුදාවේ. ඔහු රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ, කාලයක්ම ගෙදර හිටියා. නදීකා රාජකාරියට ගියා. රාජකාරියට තියෙන කැපවීම නිසාම ඇය නිවාඩු ගත්තේ අඩුවෙන්. ‘‘දවසක්වත් ගෙදර ඉන්න බැරිද?’’ කියලා චමිත් ඇයට නෝක්කාඩු කිව්ව දවස් ඕනතරම් තිබුණා. එතකොට දෙන්නම හිත් රිදෙන විදියට කතා කළත් ආයෙම හවස් වෙද්දි ඒ විරසකකම් නැතිවෙනවා.

චමිත් බෝට්ටුවක ධීවර කාර්මිකයෙකු ලෙස රැකියාවට යන්නේ මේ අතරේ. නදීකා ගෙදර එනකොට චමිත් නෑ. චමිත් ගෙදර එනකොට නදීකා නැහැ. මේක නදීකාට කොහොම වුණත් චමිත්ට රිස්සුම් නොදෙන කාරණයක් වුණා. දෙන්නගේ රණ්ඩු සරුවල්, ගෝනාපීනුවල වඩුගොඩ ගමේ අහල පහල නිවැසියන්ටත් රහසක් වුණේ නැහැ.

‘‘මේක නම් කරුමයක්, මිනිහෙක්ව කසාද බැඳලා මෙහෙම වද විඳින්න ඕනද?’’

නදීකා එහෙම කිව්වේ චමිත්ගේ කටකැඩුණු කතාවලට කඳුළු කඩා වැටෙද්දියි. ජීවිතේ සැනසීම කියන අකුරු හතර තමන්ගෙන් දුරස්වෙලා ගිහින් කියලා ඇයට හිතුණ වාර අනන්තයි. ඒත් ගෙයි ගිනි පිටට දෙන්න ඇය හිතුවේ නැහැ. හැමදේම හිත ඇතුළේ දරාගෙන චමිත් දවසක වෙනස් වේවි, හොඳ වේවි කියන සිතිවිල්ල හිත් කොණක තියාගෙන සුසුම් ලෑවා. පොලිස් රැකියාව හිත හයිය කරගෙන කරන්න ඕන රැකියාවක් වුණත්, චමිත්ගේ නෝක්කාඩු කතා විටෙක සැක කිරීම් දක්වා දුරගියේ නදීකාගේ ආත්මයම බිඳ වට්ටමින්. ඇය එවන්විටක රහසේම කඳුළු හෙලුවා.

ඉකුත් පෙබරවාරි 5 වෙනිදා චමිත් ගෙදර එද්දී, නදීකා පුරුදු විදියට රැකියාවට ගිහින්. ඇය ඔහුට කෑම උයලා තියලා ගියත් හිතේ කේන්තිය හින්දදෝ ඒවා ඔහුට රහට දැනුණේ නැහැ.

‘‘අද මං හොඳ වැඩක් කරන්නම්.’’

චමිත් අතමිට මොලවන් හිතුවා.

මේ කේන්තිය නිසාම ඔහුට දැනුණේ දවස හෙමින් ගෙවෙනවා කියලයි. මේ මුකුත් නොදැන නදීකා හැන්දෑවේ ගෙට ගොඩවෙද්දිම චමිත් ඇයගේ ඇඟට කඩාගෙන පැන්නා. දවස තිස්සේම රාජකාරිවලට මැදිවෙලා හිත නිවාගන්න ගෙට ගොඩවුණු නදීකාට වෙනදාට නැති ආවේගයකින් තමන් දිහා බලපු චමිත්ගේ වෙනස නොදැනුණා නොවෙයි. ඊළඟට පුරුදු ගෝරනාඩුව, ‘‘මීට පස්සේ ඔය රස්සාවට යන්න බැහැ. උඹ ආයේ රස්සාවට යන්නේ නැහැ’’ කියමින් චමිත් බැණ වදිද්දී, රස්සාව තමන්ට වටින බව ඇය කිව්වා. මේ කතාව ගුටිබැට හුවමාරුවක් වුණේ ඊටපස්සෙයි. ඊළඟට දෙන්නගේ කෑකෝ ගැසීම් එක්ක නදීකාගේ විලාපය ඇහුනා.

චමිත් ඒ වනකොට හිතක් නැති කෙනෙක් ගානට පත්වෙලා. ඔහු අතට අහුවුණු හෙල්මට් එකෙන් නදීකාගේ හිසට පහරක් ගහලා. ඊළඟට ත්‍රීරෝද රියට ගෙනාපු පෙට්‍රල් බෝතලය මතක් වුණා. රස්සාවට යන්න එපා කියලා පොලිස් නිල ඇඳුම ගිනි තියන්න චමිත් පොරකද්දී නදීකාට ඕන වුණේ, ඔහුගේ උත්සාහය වළක්වන්නයි. ඒත් ඒ වෙනකොට පෙට්‍රල් ඇගේ ඇඳුමට වැටිලා ඉවරයි. චමිත් ඒ ආවේගයෙන්ම ගිනිකූරක් ගහලා නදීකා දිහාවට දැම්මා. ඇයගේ හඬ විලාපයක් වෙලා ඇහෙද්දී අසල්වාසියෝ ඔවුන්ගේ ගේ දිහාවට දුවගෙන ආවා.

ඒ වෙනකොටත් නදීකා ගිනිදැල්වලට මැදිවෙලා. අසල්වාසීන් ගින්න නිවලා සුවසැරිය ගිලන් රථයකටත් පණිවිඩය දුන්නා. නදීකාගේ ඇස්වලින් ගලායෙන යන කඳුළුවල බොහෝ දේ තිබුණා. දෙන්නෙකුගේ ආදරය, විශ්වාසය, අවබෝධය ප්‍රශ්නයක් විසඳන හැටි දැනගෙන හිටියත්, නදීකාටත් ජීවිතේ කොතැන හෝ වැරදුණු බව ඒ වනවිට වැටහිලයි තිබුණේ. පිළිස්සුම් තුවාලවලින් නැගෙන වේදනාවට වඩා හදවතින් නැගෙන ඒ වේදනාව ඇගේ හිත තවත් ඇඬෙව්වා.

සුවසැරිය ගිලන් රියට නැගුනු නදීකා දෑස පියාගත්තා. තරමක පිළිස්සුම් තුවාල ලබපු චමිතුත් ඒ රියේමයි රෝහලට අරගෙන ගියේ. ඒ වෙලාවේ නදීකා ඇස් ඇරලා සැමියා දිහා බලන්න ඇති. ආදරයෙන් තම හිස පිරිමැදපු, අත අල්ලගෙන ආදරෙයි කියපු හැටිත් මතක් වෙන්න ඇති. ජීවිතය හරි පරිස්සමට තෝරාබේරාගෙන යන්න තිබුණු බලාපොරොත්තු නොයෙක් හැලහැප්පීම් නිසා බිඳ වැටෙද්දි අන්තිමේ ඒ හිත්වලට ගිනි ඇවිලෙන්නේ ආදරය කළ හිත්ම ආගන්තුක කරමින්.

කොහොමහරි බලපිටිය රෝහලට ඇතුළත් කළ නදීකා දින හතරක් පුරා දුක් විඳලා වේදනාත්මක මරණයක් කරා නික්ම ගියා. ඒ හැම ඇසිල්ලකම ඇයගේ හිත හඬා වැටෙන්න ඇති. ‘මට මෙහෙම කළත් මම තරහා නෑ’ කියලා ඔහුට කියන්න ඇයට ඕන වෙන්න ඇති. යුනිෆෝම් එකට ගිනි තියලා බිරිඳව මරාදාන්න තරම් චේතනාවක් චමිත්ට තිබුණත් නැතත් සමාදානයෙන් කතාබහ කරලා ප්‍රශ්නයක් විසඳන්න අවබෝධයක් චමිත්ට නොවුණ නිසාම නදීකාගේ වටිනා ජීවිතය මේ වෙනකොටත් පස් යට සැඟවිලා. නදීකාගේ ඥාතීන්ට දුකක් ඉතිරිවෙලා.

චමිත්ට හිතේවි මේ මම ආදරය කරපු, මං වෙනුවෙන් මේ මිහිමත හිටපු ආදරණීය හදවතට මොකක්ද මේ කළේ කියලා. ඒත් ඒ පසුතැවීමෙන් දැන් ඵලක් නැහැ.

මේ වෙනකොට චමිත්ව බද්දේගම අධිකරණයට ඉදිරිපත් කරලා, මහේස්ත්‍රාත් නියෝගය මත පෙබරවාරි 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා. එදිනට මිනීමැරීම් චෝදනාව මත සැකකාර චමිත්ට එරෙහිව අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආවේග මත තීරණ ගන්න ගිහින් චමිත්ගේ ඉරණම ඒ විදියට විසඳුණත් නදීකා දරාගත්තු වේදනාවන් කන්දරාවක් එක්කම අද නිසල වෙලා. ආදරයෙන්, සාම කතාබහෙන් දෙන්නට ප්‍රශ්න විසඳගන්න අමාරුමනම් දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්ගේ උදව්වක්, අවවාදයක් ගත්තනම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒත් දැන් සියල්ල නිමයි. තමන් ආදරය කළ ජීවිතයක් තමන් අතින්ම විනාශ කරනවද, ඒ ජීවිතය මොන තත්ත්වය යටතේ හෝ ආරක්ෂා කරනවද කියන එක ගැන දැන් චමිත්ට හිතන්න වෙන්නේ නිවී හැනහිල්ලේ නම් නෙවෙයි. හිරකූඩුව ඇතුළට වෙලා කූරු ගැන ගැන.

ඉමාෂා ඒකනායක