විශේෂාංග

දරුවෙක් වදලා කිරි දුන්නු පමණින් හැමෝටම පත්තිනි අම්මලා වෙන්න බෑ

ඉන්දියාවේ ඉපදුණ කන්නගී දුටුවන් වශී කරවන ඉතාම රූමත් තරුණියක් කියලා කියනවනේ. ඒත් අවාසනාවකට ඇයගේ සැමියා නම් විනෝදකාමී සල්ලාල චරිතයක් කියලයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඒ මොනවා වුණත් කන්නගී තමන්ගේ ස්වාමියාට ඉතාමත් ගෞරවයෙන්, භක්තියෙන් සළකපු කාන්තාවක්. ඔන්න ඉතින් දවසක් මේ මනුස්සයා වෙනත් තරුණියක් එක්ක විනෝද වෙන්න මුදල් ඉල්ලලා කන්නගී එක්ක රණ්ඩු කරන්න පටන් අරන්. අන්තිමට ඉවසන්න බැරිම තැන කන්නගී ඇගේ පාසළඹ ගලවලා දීලා කිව්වලු විකුණලා සල්ලි අරන් ඕන දෙයක් කරගන්න කියලා. ඒ විදියට එදා ඇගේ පාසලඹ අරන් ගියැයින් ගියත් හරි ඇගේ සැමියා ආපහු ගෙදර ඇවිත් නෑ. ඉතින් තමන්ගේ සැමියා නැති විස්සෝපෙන් හිටපු කන්නගී ඔහුව හොයන්න පිටත්වෙලා ගියාලු. ඇය ගියපු ගමන් මාර්ගය වැටිලා තිබිලා තියෙන්නේ ගඟක් මැද්දෙන්. ඒ අතරතුර ඇගේ රූපයට වහවැටුණු​ තොටියෙක් ඇයට හිරිහැර කරන්න හදලා තියෙනවා. එයින් බේරෙන්න එදා පති භක්තියෙන් පඬිපුර දවා හළු කළා යැයි කියන කන්නගී පසුකලෙක පත්තිනි නමින් දේවතාවියක් වුණා. අද දේවතාවියක් වෙන පත්තිනිත් එදා ගැහැනියක්. අදටත් පත්තිනිගේ ළය ඇය වැනිම ගැහැනුන් සහ කිරි දරුවන් වෙනුවෙන් උණුවෙන්නේ ඒ නිසා කියලයි කියන්නේ. ඒ නිසාම අද වෙනකොට බොහෝදෙනා විවිධ දානමාන දීලා පත්තිනි දිව්‍යාංගනාවුන්වහන්සේව වන්දනාමාන කරනවා. කිරිඅම්මාවරුන්ගේ දානය කියලා කියන්නෙත් අන්න ඒ වගේ පත්තිනි මෑණියන්ටම ආවේණික වුණ දානයක්. පත්තිනි දේවතාවිය සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, දේව පත්තිනි, ගිනි පත්තිනි සහ සත් පත්තිනි අය ආරූඪ හතකින් පෙනී ඉන්න නිසා කිරිඅම්මාරුවන්ගේ දානයට කිරිඅම්මාවරු හත්දෙනෙකුට ඇරයුම් කරනවා. ඒ වගේම කිරිඅම්මාරුවන්ගේ දානයට සහභාගී වෙන අම්මාවරු නියෝජනය කරන්නේ පත්තිනි මෑණියන්ව. අන්න ඒ නිසා ඒ හැම අම්මා කෙනෙක්ම පති භක්තිය ඇති, ආගමානුකූලව ජීවත්වෙන, කුලවත් ස්ත්‍රීන් වීම අනිවාර්යය වෙනවා. ඒ වගේම අද වෙනකොට සමහරක් කිරිදානවල සුරුට්ටුවක් අතට දීලා කිරිඅප්පා විදියට වාඩි කරවන්නේ එදා කන්නගීට හිරිහැර කරන්න ආපු තොටියව කියලත් ජනප්‍රවාදයේ කියැවෙනවා.

‘‘මම මුලින්ම කිරිඅම්මාවරුන්ගේ දානෙකට වාඩි වුණේ 1995 අවුරුද්දෙදි. එදා ඉඳලා අද වෙනකල් මම කිරිඅම්මා දාන 2500කට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම අදටත් එක අවුරුද්දක කිරිදාන සීයකට අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා.’’

එහෙම කියන මේ කිරිඅම්මව අපිට මුණගැහුණේ අංගොඩ මුල්ලේරියාව ප්‍රදේශයෙන්. බොහෝදෙනෙක් ‘මුල්ලේරියාවේ කිරිඅම්මා’ යන අනුවර්ත නාමයෙන් හඳුන්වන ඇය දයානි අබේවංශ. කිතුල්ගල මහභාගේ මහා විද්‍යායේ සිංහල ගුරුවරියක් විදියට සේවය කරපු ඇය දරු තිදෙනෙකුගේ මවක්. නමුත් විවාහයෙන් පස්සේ ගෙදරදොරේ වැඩකටයුතු එක්ක කාර්යබහුල වුණ දයානි අකමැත්තෙන් වුණත් ගුරු වෘත්තියට සමුදෙන්න තීරණය කරනවා. ඒ සියලු යුතුකම්, වගකීම් මැදින් ජීවන ගමනේ දිගු ගමනක් පැමිණි ඇයට දැන් අවුරුදු 80ක්. එදා ගෙදරදොරේ වැඩකටයුතුත් එක්ක කොයිතරම් කාර්යබහුල වුණත් අහලපහල අසල්වාසීන්ගේ දානමානෙකදී, පොදු වැඩකදී සහාය වෙන්න දයානි දෙපාරක් හිතුවේ නෑ.

‘‘මුලින්ම මම සහභාගි වුණේ ගමේ අයගේ කිරිඅම්මා දානවලට. එහෙම ටික කාලයක් යද්දී ගමේ අයගෙම ආරාධනා නිසා පිටගම්වල අයගේ දානවලටත් ගියා. ඒ ගිය හැම අවස්ථාවකදීම වගේ දො‍ළාස්මහේ කවි, හත්දවසේ කවි, නවග්‍රහ ශාන්තිය වගේම පිරිත් වර්ග දොළහක් විතර කියලා සෙත්ශාන්ති කරන්න ලැබුණෙ මට. අන්තිමට කිරිඅම්මා දානවලට ඇවිත් ලස්සනට කවි කියලා සෙත් ශාන්ති කරන මුල්ලේරියාවේ කිරිඅම්මා කියලා මං ගැන හැමෝම කතා වෙන්න පටන්ගත්තා. අද වෙනකොට මම එකදිගට අවුරුදු 27ක් කිරිඅම්මා දානවලට සහභාගී වෙනවා. ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ මේ තරම් ප්‍රතිපත්තිගරුක වුණේ, ආගමික පැත්තට නැඹුරු වු‍ණේ මේ දානමානවලට සහභාගී වෙලා ලබාගත්ත අත්දැකීම් නිසා කිව්වොත් හරියටම හරි.’’

කිරිඅම්මාරුවන්ගේ දානය දෙන ක්‍රමවේදය ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන ආකාරයත් අපි ඕනතරම් දැකලා තියෙනවානේ. ඒ වුණත් නියම ආකාරයට කිරි දානය සූදානම් කරලා පූජා කරන විදිය ගැන දයානි අපිට කිව්වේ මේ විදියට.

‘‘කිරි දානයක් දෙන්න කලින් මුලින්ම ‘අඩුක්කු’ වෙන්කරලා පොල්ගහක කොළයක් ගැටගහලා තමයි දිනය වෙන් කරගන්න ඕන. අඩුක්කු වෙන්කරනවයි කියලා කියන්නේ මීට සියවස් ගාණක ඉඳලා එන සිරිතක්. පස්සේ දානයට අවශ්‍ය කැවිලි පෙවිලි හදන්නත් ඕන කලින් කොළ බැඳපු පොල් ගහේ ගෙඩිවලින් හිඳගත්ත නැවුම් පොල්තෙල්වලින්. එහෙම හදාගත්ත කැවිලි එක් වර්ගයකින් හතක් ගානේ කෙහෙල් කොළවලට තියලා තමයි කිරිඅම්මාරුවන්ට පූජා කරන්න ඕන. පොල් ගහ වෙනුවට අලුතින් පීදුනු කෙසෙල් ගහක ගොක්කොළයක් ගැටගහලා දින වෙන් කරනවා. පස්සේ ඒ කෙසෙල් කැන ඉදවලා අරන් දානෙට පූජා කරනවා. හැබැයි අද කාලේ නගරබද ප්‍රදේශවල කෙසෙල් ගස් වගේම පොල් ගසුත් අඩු නිසා ඒ සිරිත් විරිත් සිද්ධවෙන්නේ අඩුවෙන්. ඒ වගේම කිරිඅම්මා දානයක් උදේ කපුටන් අඬන්න කලින් පටන් අරගෙන දීලා ඉවර කරන්න ඕන කියන එක අතීතෙ ඉඳලම පැවතගෙන එන රීතියක්. ඊළඟට කිරිඅම්මාරුවන් කවි ගායනයත්, සෙත් ශාන්තියත් කරලා කිසිම කෙනෙක් එක්ක කතා නොකර තමයි ඒ ගෙදරින් පිටත්වෙලා එන්න ඕන.’’

කිරි අම්මාවරු වඩිනා වේලේ

මල් වරුසාවක් වැස්සයි දෑලේ

ඒ මල් අවුලා අමුණන මාලේ

කිරි අම්මා කළ ලෙඩ නැත ආලේ’

ඔබත් කිරිඅම්මාරුවන්ගේ දාන දීලා ඇති. එහෙමත් නැත්නම් දාන දෙනවා දැකලා ඇති. ඒ නිසා මේ දානයේදී කිරිඅම්මාරුවන් නිවැසියන්ට සෙත් පතලා ගායනා කරන මේ කවි අපි කාගේ කාගේත් දෙසවන්වලට හොඳින්ම හුරුපුරුදුයි. අද කාලේ කිරිඅම්මා දානවල කියන කවි පොත් තිබුණට ඒ කාලේ නම් මේ කවි මුඛ පරම්පරාවෙන් ආවා කියලයි කියන්නේ.

‘‘මම නම් කිරිඅම්මා දානයක වැඩ භාරගත්ත දවසෙ ඉඳලා සහභාගී වෙලා ඉවරවෙනකම්ම ඒ කටයුතු පේවිලා කරන කෙනෙක්. ඒ නිසා ගමේ වුණත්, ගමෙන් පිට දානෙකට සහභාගී වෙනවා වුණත් මම අනිවාර්යයෙන්ම පාන්දර 2ට අවදිවෙලා ඒ අවශ්‍ය කළමනා ලෑස්ති කරගන්නවා. එහෙම වුණාම නඩේ අනිත් අයටත් ඒක පහසුයි. මොකද අපිට ඒ කටයුතු නියමිත වේලාවට පටන් අරන් නියමිත වේලාවට ඉවර කරගන්න බැරි වුණොත් දානය පිරිනමන නිවැසියන්ගේ හිත් අපිරිසිදු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ගෙදර අයට සතුට ඇතිවෙන විදියට ගෙට ගොඩවෙලා ඒ සතුට නැති නොවෙන විදියට ගෙදරින් පිටවෙන එක හොඳ සිල්වත් ගුණවත් කිරිඅම්මා කෙනෙකුට තියෙන ලොකුම වගකීමක්.’’

කිරිඅම්මාවරුන්ගේ දානයක් භාරහාර වෙන විශේෂ අවස්ථා ගැන අපි අහලා තියෙනවා. කුඩා දරුවන්ගේ ලෙඩරෝග දුරු කිරීමට, දරුඵල අපේක්ෂාවට, ගැබිනි මව්වරුන්ගේ ආරක්ෂාවට, ගොවිතැන් කටයුතුවලට වගේම පවුලේ දියුණුවටත් වාර්ෂිකව කිරිඅම්මා දාන දෙන අය ඉන්නවා. ඉතින් අන්න ඒ නිසා පුංචිම පුංචි අඩුපාඩුවක්වත් නොවෙන විදියට ඊට සහභාගි වෙන කාගේ කාගේත් කටවලුත් පරිස්සම් කරගන්න ඕන කියලයි දයානි නම් කියන්නේ.

‘‘අනිත් එක මෙන්න මේ විශේෂ කාරණාවත් කියන්නම ඕන දෙයක්. කිරිඅම්මාවරුන්ගේ දානයකට සහභාගී වෙන අම්මා කෙනෙක් සම්පූර්ණ කරන්නම ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. දානෙකට වඩින අම්මා කෙනෙක් අනිවාර්යයෙන්ම තමන්ගෙ කුසින් බිහි කරපු දරුවෙකුට තමන්ගේ දෙතනෙන් කිරි දීලා තියෙන්න ඕන. මොකද දරුවෙකුට කිරි නොදීපු අම්මා කෙනෙක් කිරිඅම්මා කෙනෙක් විදියට සළකන්නේ නෑ. වදපු අම්මා වගේම හදපු අම්මත් ගොඩක් උතුම්. ඒත් එහෙම නැති වුණොත් මේ දානෙන් නිසි ආකාරව ආනිසංස ලබන්න බෑ.

කිරි අම්මාවරු දනට වඩිනවා

කිරි සුවඳයි මුලු ගම්මානේ

අම්මා ඇයි ඒ දනට නොයන්නේ

නොඅසන් පුතුනුවනේ’

කියලා දරුවෙක් නොවදපු, හැදූ අම්මා කෙනෙක්ගේ සිතිවිලි ගැන කියැවෙන එහෙම ගීතයකුත් තියෙනවනේ. ඊළඟට සමහර තරුණ අම්මලාට දානයට දින ළංවෙද්දි මාස් ශුද්ධිය ඇතිවෙන්න පුළුවන්. ඒත් අර දීපු වචනෙ කඩකළොත් හිතවත්කම් නැතිවෙයි කියලා ඒ අය ඒක හංගගෙන දානවලට යන අවස්ථා මට ඕනතරම් ඇහිලා පෙනිලා තියෙනවා. ඇත්තටම කොයිතරම් පිළිවෙලට පිරිසිදුවට සූදානම් කරපු දානයක් වුණත් මාස් කිල්ලට අහුවුණොත් වැඩක් වෙන්නේ නෑ. මම මේ දේවල් ගැන කියන්නෙ තවත් අම්මා කෙනෙකුගේ හිතක් රිද්දන්න නෙවෙයි. මොකද එහෙම නැති වුණොත් ඒක අපි පත්තිනි දේව මෑණියන්ට කරන ලොකු අගෞරවයක්. ඒ වගේම ඒක තමන්ටත් අහිතකර විදියටත් බලපාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දාහකුත් බලාපොරොත්තු තියාගෙන දානය දෙන අයගෙත් මහන්සිය කැපවීම විතරක් නෙවෙයි මුදල වුණත් අපතේ යන්න පුළුවන්.

ඇත්තම කිව්වොත් තමන්ගේ දරුවන්ට, ස්වාමියාට ආදරෙන් පති භක්තියෙන් ආගමානුකූලව ජීවත්වෙන ඕනම අම්මා කෙනෙකුට පත්තිනි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්.’’

ලිහිණි මධුෂිකා