විශේෂාංග

මිනිස්සුන්ට මූණ දීගන්න බැරුව මමයි දරුවොයි දැන් ඉන්නේ හැංගිලා කුඩු නඩුවට චෝදනා ලැබූ උපපොලිස් පරීක්ෂකගේ බිරිඳ කියන කතාව

පොලිස් නිලධාරියෙකුද සම්බන්ධව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකෙරෙමින් පවතින බවට පසුගිය දිනක පොලිස් අපරාධ නිවාරණ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි. ලද තොරතුරුවලට අනුව හික්කඩුව, බද්දේගම, හබරාදූව සහ වැලිගම යන පොලිස් බල ප්‍රදේශවල සති තුනකට ආසන්න කාලයක් රහසිගතව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර, පසුගිය ජූනි 18 වන දින රාත්‍රියේදී සැකකාර පොලිස් උපපරීක්ශකවරයා ගෝනපීනුවල අධිවේගී මාර්ගය අසලදී පොලිස් අත්අඩංගුවට පත්විය.

කලුතර දකුණ පොලිසියට අනියුක්තව සේවය කරනු ලැබ තිබූ සනත් පද්ම කුමාර ද සිල්වා නමැති මෙම උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවස පිහිටා තිබෙන්නේ වාද්දූව පොතුපිටිය ප්‍රදේශයේය. මේ සිදුවීම සම්බන්ධ කණින් කොනින් දැන කියාගන්නට ලැබුණු තොරතුරුවල සත්‍යතාවය සෙවීමට පසුගිය 18 වන බදාදා මමද එහි ගියෙමි.

නැවත වරක් හිස ඔසවමින් පවතින කොවිඩ් රැල්ල නිසා පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් මාර්ගවල ජනතාව මෙන්ම රථ වාහනද අඩු බවක් පෙනෙන්නට තිබුණි. එනිසාම මගතොට රස්තියාදු නොවී දහවල් එක පමණ වනවිට වාද්දූවට යාගත හැකි විය.

එහෙත් එතැන් සිට ඔහුගේ නිවසට යන මාර්ගය හරිහැටි නොදැන සිටි නිසා පොතුපිටිය මධ්‍ය මහා විද්‍යාලයත්, වාලුකාරාම විහාරස්ථානයත් අසල බස් නැවතුම්පොළේ ටික වෙලාවක් කල්මැරීමටද සිදුවිය.

කෙසේ හෝ පාර හොයාගැනීමේ අරමුණින් ඉදිරියට යනවිට මුලින්ම මුණගැසුණේ පුෂ්පාරම මාවත අසල ත්‍රීරෝද රථ රියදුරෙකි.

මට කලුතර දකුණ පොලිසියේ වැඩ කරපු සනත් පද්ම කුමාර ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද?”

ඒ ඇසූ සැනින් මා දෙස අමුතු බැල්මක් හෙලූ ඔහු කතා කිරීමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට තිබුණි.

බය වෙන්න එපාමං ඔත්තු බලන්න ආපු කෙනෙක් නෙවෙයිධරණී පත්තරෙන්…”

එසේ කියා මා ඔහුට මාගේ මාධ්‍ය හැඳුනුම්පත පෙන්වූයෙමි.

මිස්ට ආයතනය ඇතුළෙ වෙන රාජකාරියක් තිබුණෙම නැද්ද…?”

ඔහුගේ කතාවෙන් විමතියට පත් මා එසේ කීමට හේතුව විමසා සිටියාය.

ඕවා පිටිපස්සෙ මොන විදියේ මාෆියාකාරයො ඉන්නවද කියලා මිස් දන්නෙත් නෑ, අපි දන්නෙත් නෑනිකන් දෙබර කූඩවලට ගල් ගහලා අවුස්සගන් නැතුව හැරිලා යන්න මිස්.”

ඒ කෙසේ කීවත් තමා දන්නා දේ හෙළිකිරීමට මේ නාඳුනන ත්‍රිරෝද රථ රියදුරාට අවශ්‍ය බව  පෙනෙන්නට තිබුණු නිසා මාද ඔහුගේ කතාවට අගුල්පත් තැබුවෙමි.

මේ ළඟ පොලිසියෙ වැඩ කරන අය හතරදෙනෙක් විතර ඉන්නවා. ඒක නිසා ඔය කතාව මුලින්ම ආරංචි වෙද්දි ඒ සනත් කියලා අපි කොහොමවත් හිතුවෙ නෑ. මොකද අපි නම් දන්න තරමින් ඒ මිනිස්සු හාල් පොල් ටිකත් කඩෙන් ණයට අරන් මාසෙ පඩියෙන් තමයි ගෙවන්නෙ.

අනිත් එක එයා ඩ්‍රයිවින් ලයිසන් එකවත් තියෙන මනුස්සයෙක් නෙවෙයි. ගෙදර තියෙන බයික් එක අරන් හදිසියට පාරට ආවත් හිමීට ඇදගගහා තමයි එලවන්නේ.

මේ පාරේ ටික දුරක් ගිහින් දකුණට හැරුණම එයාගෙ ගෙදර තියෙනවා. නෝනාගෙ නම සමන්තිතව මොනවාහරි දැනගන්න ඕනෙ නම් ගිහින් අහගන්න…”

ඔහු කීවේ එපමණකි.

ඔහු කී අයුරින්ම පුෂ්පාරම මාවතේ කිලෝමීටර්  තුනක් පමණ ගිය මට එකී නිවස සොයාගැනීමට අපහසු වූයේ නැත. මොහු උපපොලිස් පරීක්ෂකවරයෙකු වූ නිසාවෙන් එහි යනතුරුම මාගේ මනසේ ඇඳී තිබුණේ මධ්‍යම පාන්තික නිවසකි. ඒත් එහි ගිය පසු දැක ගන්නට ලැබුණේ ඊට හාත්පසින් වෙනස් දසුනකි. එහි පර්චස් හයක පමණ කුඩා බිම් කොටසක වූ මුළු නිවසම, සාමන්‍ය නිවසක තනි කාමරයක ප්‍රමාණයේ එකකැයි කිව හැකිය.

මිනිත්තු කිහිපයක් පමණ ගත වූ පසුව ඔහුගේ බිරිඳ පිටතට පැමිණියාය.

මා ඇයට විස්තරය කීමට පටන් ගද්දීම ඇය කතා කිරීමට අකමැති බව කියා සිටි මුත් මාගේ බලවත් පෙරැත්තය නිසාම ආරෝවට මෙන් කතා කිරීමට පටන්ගත්තාය.

දැන් මාස දෙකක් තිස්සෙ ගමේ මිනිස්සුන්ට මූණ දීගන්න බැරුව මායි දරුවොයි ගේ ඇතුළෙ හැංඟිලා වගේ ඉන්නෙ. ඇවිලෙන ගින්නට පිදුරු නොදා ආව අතක් බලන් යන්න මිස්…”

හරි හෝ වැරදි ඇගේ මානසිකත්වය තේරුම් ගැනීමට මා හට අපහසු නොවීය.

ඔය කියන සිද්ධිය වුණ දවසෙ මහත්තයා එක්ක හිටපු ලසන්ත කීර්ති කියන කෙනා මහත්තයගෙ යාළුවෙක්. ඉන්නෙ වාද්දූවේ මැලෑගම. එදා වැඩ ඉවරවෙලා අපේ මහත්තයා ලසන්තට කෝල් කරලා තියෙන්නෙ මතුගම භාවනා මධස්ථානෙකට සලාක බඩු මල්ලක් ගිහින් දෙන්න. පස්සෙ ඒ වැඩෙත් කරන්, ලසන්තගෙ වැඩත් කරන් එමු කියලා තමයි ගිහින් තියෙන්නේ. ඒත් ගෝනපීනුවලින් අත්අඩංගුවට ගද්දී පොලිසියෙ අය ලසන්තව වෙන වාහනේකටයි, මහත්තයව තව වාහනේකටයි දාගෙන අරන් ගියා කියලා තමයි ඒ අහල පහල ගෙවල්වල මිනිස්සු අපිට කිව්වෙ. අදටත් නඩු වාර්තාවෙ තියෙන්නෙ ලසන්ත කිර්ති අත්අඩංගුවට අරන් මුදාහැරිය කෙනෙක් කියලා. මිස් දැන් ඉන්නෙ මගේ වත්ත ඇතුළේ. දැන් මේක ඇතුළෙ කුඩු තිබ්බොත් මාව නිදහස් කරලා, මිස්ව කූඩුවෙ දාන්නෙ කොහොමද මිස්…?”

ඔයාලගෙ ලොකු දුවගෙ වෙඩින් එකට සල්ලි හොයගන්න මහත්තයා කුඩු ඇද්දා කියල කියනවානෙ?”

මම වටපිටාවෙන් සහ ජනමාධ්‍යවලින් දැනගත් තොරතුරුවලට අනුව ප්‍රශ්න කළෙමි.

අනේ මිස් අපේ දුව බැන්දෙ මාර්තු 10. මේක වුණේ ජූනි 18… එතකොට කොහොමද කියන්නෙ අපි වෙඩින් එකට සල්ලි හොයගන්න කුඩු ඇද්දා කියලා..?”

මේ වැඩේ කරලා දෙන්න ඕන කියන පොරොන්දුව පිට අදාළ අය වෙඩින් එකට කලින් ඔයාලට සල්ලි දුන්නා වෙන්නත් පුළුවන්නෙ…?”

එවිට නම් ඇය මා හට නුරුස්සනා බැල්මක් හෙලූවාය.

අපි ලොකු දුවගෙ වෙඩින් එකට පොලිසියෙන්මයි ලක්ෂ පහක ලෝන් එක ගත්තෙ. වෙඩින් එකෙන් හම්බෙලා තිබුණ ලක්ෂ තුනකින් විතර හතර වටේට වෙච්ච ණය බේරලා ලොකු දුවට අරන් යන්න ඇඳකුයි, අල්මාරියකුයි අරන් දුන්නා…”

ඇය කතා කළ වචනයක් පාසා දෑසින් වැටුණ කඳුළු ඇඳුමින් පිස දැමුවාය.

මං පහුගිය ටිකේම කඩයප්පන් ටිකක් තම්බලා තමයි කීයක් හරි හොයාගත්තෙ. ඒත් මේ පැත්තටම කොරෝනා නිසා දැන් ඒකත් නෑ.”

කතාබහ අතරතුරම ඇය මාත් සමඟින් ගෙවත්තේ සිට පාරටම පැමිණියාය.

මා විසින් තවත් බොහෝ දේ ඇයගෙන් විමසා සිටියද මෙහි නඩු කටයුතු සිදුකෙරෙමින් පවතින නිසා ඇය ඒවාට පිළිතුරු දුන්නේ නැත. කෙසේ වෙතත් ඇය කියනා ආකාරයට ඇගේ සැමියා නිවැරදිය. නමුත් උප පොලිස් පරීක්ෂක සනත් පද්ම කුමාර මෙම චෝදනාවට අනුව නීතිය ඉදිරියේ තවමත් සැකකරුවෙකි.

මේ කාලේ කොයිතරම් එකට කාලා බීල ඉන්න යාළුවෙක් වුණත්, අල්ලපු ගෙදර මනුස්සයා වුණත්, අතනින් මෙතනින් නගින්න කිව්වට වාහනවලට නගින්න එපා.. මොකද අපි කවුරුත් මිනිස්සුන්ව කාලා බලලා නෑනෙ…”

කවුරුන් කළත් වැරැද්ද නම් වැරද්දමය. මුළු මහත් සමාජයක් අගාධයට ඇද දමන මත්කුඩු ජාවාරම්කරුවන් නීතිය ඉදිරියේ වරදකරුවන් වන්නට පෙර හෘද සාක්ෂිය ඉදිරියේ වරදකරුවන්ය. ඇතැම් මතකුඩු ජාවාරම්කරුවන් නීතියේ ඇස් වසන්නට නීතියේම උදව් ගන්නා අවස්ථා අප දැක ඇත. ඒ නිසා පව්කම් කරන්නෝ කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් වැඩි වෙයි ගිනි සේ යන වදන සිහිපත් කරගෙනම ඒවා කරන්නේ නම් අගනේය.

ලිහිණි මධුෂිකා