විශේෂාංග

ගැබ් ගැනීම පමා කරන්න මිසක් ගබ්සා කරන්න කියලා කිව්වේ නෑ

උදෑසන කෑම පිළියෙල කරන්නට සිතා මුළුතැන්ගෙයට ගියද, උදාරාගේ සිතට දැනුණේ විස්සෝප හැඟීමකි. ඊයේ ප්‍රවෘත්තිවලට අසන්නට ලැබුණු එම පුවත, තම සවන් නොවැකුණා නම් හොඳ යැයි ඇයට සිතුණි. සුමේධත්, පුංචි පුතුත් එක් පසෙක සිනාසෙමින් සිටියදී, කුස වැඩෙන තෙමස් දරු ගැබට ඇය අතක් තබාගත්තේ පරෙස්සමිනි.

මේ වනවිට ගැබිනි මව්වරුන් හතළිස් පහක් කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා. ඇතැම් මව්වරුන් දරු උපතින් පසුවත්, ඇතැම් මව්වරුන් නූපන් දරුවා සමඟත් ජීවිතය හැරගොස් තිබෙනවා.”

උදාරා සාලයට ආවේ හිස තවත් බර වෙද්දියි. ඇය සුමේධ දෙස බලා සිටියේ දුකෙනි.

අපි දැන් මොකද කරන්නේ සුමේධ….?”

මොකක් ගැනද කියන්නේ උදාරා….?”

කිසිවක් සිතාගත නොහැකි වූයෙන් ඔහු විමසීය.

අපි මේ බබාට මොකද කරන්නේ?”

ඇය කුසට අතක් තබාගෙන විමසද්දී සුමේධ ඈ දෙස බැලුවේ කලබලයෙනි. ඊයේ වනතුරුත් පුතුට නංගි බබෙක් ගෙනෙන්නට ආසාවෙන් සිටි උදාරාට සිදුවූයේ කුමක්ද?

ඊළඟ මොහොතේ උදාරා කීවේ දරුවෙකු ගැන ඇති සිහිනය කල්දැමීම හොඳ බවය.

අර ඩොක්ටර් කිව්වෙත් දරුවෙක් ගැන බලාපොරොත්තුව අවුරුද්දකින් කල් දාන්න කියලනේඒක හොඳයි සුමේධ.”

උදාරාගේ දෙඇස්වල ලියැවී ඇති කතාව සුමේධට වැටහුණේ එවලේයි.

ගැබිනි සමයේ කොරෝනා වැළඳුනහොත් ඇතිවන සංකූලතා බහුලය. එබැවින් දරු උපත් වසරක්වත් පමා කරන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා කළ ඉල්ලීම ගැන සුමේධට සිහිපත් වුණි. වෛද්‍යවරයා එහිදී පැහැදිලි කළේ වසරක කාලයක් දරු උපත් පමා කිරීම මගින්, වඩාත් හොඳ ආරක්ෂිත ප්‍රසවයක් කරා යාමට මවට හැකි බවයි. ඒ එම කාලය වනවිට වෛරසයට එරෙහි වඩාත් සාර්ථක එන්නත් අත්හදා බැලීම් මෙන්ම සාර්ථක සෞඛ්‍ය ක්‍රමවේද අධ්‍යනය මගින් පවතිනවාට වඩා හොඳ කාලවකවානුවක් තුළ දරු ප්‍රසූතියකට යා හැකි බැවිනි.

ඔයාට බයවෙන්න හේතුවක් නෑ උදාරා. ඔයා එන්නත් දෙකම අරන්ඉන්නේ. දියවැඩියාව, අධිරුධිර පීඩනය තියෙන අම්මලා තමයි බයවෙන්න ඕන. දොස්තර මහත්තයා කිව්වේ දරුවෙක් ගැන බලාපොරොත්තු කල්දාන්න කියලා මිසක්, මේ ළඟට ආපු බලාපොරොත්තුව අතහැරලා දාන්න කියලා නෙවෙයි. අපි තවත් පරෙස්සම් වෙලා අපේ බබාව මේ ලෝකෙට ගේමු.”

සුමේධ උදාරාට කිවේ ආදරයෙනි. උදාරාගේ මුහුණට මදහසක් නැගුණත්, වසංගතයක් හමුවේ ඇති වගකීම සුළුවෙන් තැකිය හැක්කක් නොවන බව ඔහු දැන සිටියේය. කොතරම් නරක කාලයක් වුවත්, නරකක් නපුරක් ගැන සිතන්නට නොහැකිය. ඔහු ඒ බව උදාරාට පැහැදිලි කර දුන්නේ ආදරයෙනි.

එහෙත් උදාරා වාගේම විස්සෝප සිතිවිලි ඇති කරගත් මව්පියවරුන් තවත් සිටිය හැකි නිසාම ඒ ගැන තවත් සොයා බලන්නට වාගේම. උදාරාගේ හිත හදන්නට, ඇයට පෙර වාගේම නිදහස් ආදරණීය සිතිවිලි භුක්ති විඳින්නට ඉඩ අවකාශ හදා දෙන්නටද ඔහුට ඕනෑ විය.

සැබැවින්ම මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද?

ඒ ගැන අදහස් දැක්වූයේ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සනත් ලැනරෝල් මහතායි.

වසංගත කාලය තුළ ගැබ් ගැනීම් වසරක් ප්‍රමාද කරන්න කියලා විශේෂඥ වෛද්‍යවරයෙකු කිව්ව කාරණය, මව්වරුන් තේරුම් අරන් තියෙන්නේ වැරදියට. ඒ නිසා කුස තුළ වැඩෙක කළලය ගබ්සා කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. කොහොම නමුත් ගබ්සාවක් සිදුකිරීමට මෙරට නීතියෙන් ඉඩක් නැහැ. එහෙම අවසරයක් තිබෙන්නේ මවගේ ජීවිතයට ගර්භනීභාවය නිසාවෙන් හානියක් සිදුවන්නේ නම් පමණයි.

කොහොම නමුත් මෙතැනදී දැනට ගර්භනී වී ඇති මව්වරුන් අනිසි බියක් තබාගත යුතු නැහැ. ගර්භනීවීමට පෙර හෝ ගර්භනී කාලසීමාවේ ඕනෑම මොහොතක එන්නත්කරණයට ලක්ව සිටී නම් ඒ සුරක්ෂිත බව එම මවටත්, දරුවාටත් ලැබෙනවා.

එහිදී මා අදහස් කළේ ගර්භනී සමයේ මුල් මාස තුන වගේම අවසන් මාස කිහිපය වුවත් එන්නත ලබාගැනීමට බිය විය යුතු නෑ කියන කාරණයයි. එන්නත ලබාගැනීමෙන් ගබ්සාවීමක් හෝ ආබාධ සහිත දරුවෙකු හෝ මළදරු උපතක් සිදුවන්නේ නැහැ. විද්‍යාත්මක පර්යේෂණ මගින් ඒ බව දැනට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ වගේම කොරෝනා කියන්නේ මාස දහඅටක, විස්සක පමණ ඉතිහාසයක් ඇති රෝගයක්. ඇමරිකාව, එංගලන්තය වගේ රටවල්වල කරන ලද පර්යේෂණවලට අනුවත් එන්නත්කරණයේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනොත් බරපතළ සංකූලතාවලට වගේම මරණීය අත්දැකීම් ලබන්න තරම් හේතුවක් විය හැකි බවත් ඔබ දන්නවා. ඩෙල්ටා ප්‍රභේදය ගර්භනී මවකට ඉක්මනින් ආසාදනය විය හැකි වගේම ඉතා කෙටි කාලයක් තුළ දැඩි ලෙස රෝග ලක්ෂණ පෙන්වනවා. එසේ රෝග ලක්ෂණ පෙන්වන මවට නිව්මෝනියා තත්ත්වය ඇතිවීමේ අවධානම තිබෙනවා. ඒ වගේම මරණීය අත්දැකීමකට වුවත් ලක්විය හැකියි. නොමේරූ දරු උපත්, මළදරු උපත් සිදුවිය හැකියි. ඒත් එන්නත්කරණය මගින් මේ සියලු දේ වෙනස් කරගන්න, ඔබට අවශ්‍ය ආරක්ෂාව සලසගන්න පුළුවන්.”

එසේ එන්නත්කරණයට ලක්වූ මවකගෙන්, තවත් අයෙකුට රෝගය ආසාදනය වීමේ හැකියාව අඩු අතර, ඇතැම්විට රෝගය වැළඳී තිබුණත්, සුළු රෝග ලක්ෂණයක් මිස බරපතළ සංකූලතා මතුවන්නේ නැත. ඒ වාගේම දැඩිසත්කාර ඒකකයේ සිටින්නට හෝ ඔක්සිජන් අවශ්‍යතාවයද අවම බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වෙලාවේ එන්නත් තෝරා තෝරා ඉන්නත් එපා. ලැබෙන පළමු අවස්ථාවේම, ඒ ලැබෙන එන්නත ගන්න. එන්නත ගත්තා කියලා අනෙක් සෞඛ්‍ය පුරුදු අතපසු කරන්නත් එපා. ගර්භනි කාලය තුළ ගැබිනි මව්වරුන්ට නිවසේ රැඳී සිටින්න හැකි පරිදි චක්‍ර ලේඛයක් මේ වනවිට නිකුත්කොට තිබෙනවා. ඒ අනුව නිවසේ රැඳී සිටිමින් ඒ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න. අමුත්තන්ව නිවසට කැඳවන්නත් එපා. නිතර අත් සේදීම, සැමියා රැකියාවට යනවා නම් ඔහුත් එන්නත්කරණයට ලක්වීම වගේම සෞඛ්‍ය පුරුදු නිසියාකාරව අනුගමනය කිරීම වැදගත් වෙනවා. මෙතැනදී විශේෂයෙන්ම කිව යුත්තේ, දැනට තියෙන කළලය ගබ්සා කරන්න එපා. එය ඉහත සෞඛ්‍ය පුරුදු සමඟින් ඔබට ආරක්ෂා කරගැනීම කිසිසේත්ම අසීරු නැහැ.”

කොරෝනා ගැන අපට ඇත්තේ තවමත් සීමිත දත්ත ප්‍රමාණයක් බව ඇත්තය. තවත් වසරක් ගෙවෙද්දී රෝගයට ඍජු බලපෑම් කළ හැකි එන්නත් හෝ ඖෂධ නිෂ්පාදය කරගැනීමට විද්‍යාඥයින්ට හැකිවන බැවින්, ගැබ්ගැනීම පමා කිරීම කුස තුළ වැඩෙන දරුවාට මෙන්ම මවටද වඩා යහපතකි. එය අරමුණු කරගනිමින්, විශේෂඥ වෛද්‍යවරයා දුන් පණිවුඩය වැරදියට නොගත යුතුය. එනම් දැනට කුසහොත් කළලය වඩාත් ආදරයෙන්, පරෙස්සමෙන් රැකබලා ගැනීම මව්-පිය ඔබගේ යුතුකමක් මෙන්ම වගකීමක් නිසාය.

දීපා වසන්ති එදිරිසිංහ