විශේෂාංග

නිකන් දෙනවනම් දෙමළ පත්තරේ වුණත් කමක් නෑ වගේද?

ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලය කියන්නේ එසේ මෙසේ විශ්වවිද්‍යාලයක් නෙවෙයි. ඒක ඒ රටේ තියෙන ප්‍රසිද්ධ සහ කීර්තිමත් විශ්වවිද්‍යාලයක්. ඒ නිසා ඉන්දියාවේ ගොඩාක් තරුණ තරුණියන් උපාධියක් ගන්න පෙරුම් පුරන්නේ ඒ විශ්වවිද්‍යාලයෙන්. මොකද බැංගලෝර් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ගත්තාම තියෙන පිළිගැනීම වැඩියි.

ඔය අතරේ මේ කියන බැංගලෝර් විශ්වවිද්‍යාලය තීරණය කරනවා 2017 වසරේ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුව අගයන්න. ඒ ඔහු ඉන්දියාව වෙනුවෙන් වසර ගණනාවක් කරපු කැපකිරීමට ගෞරවයක් විදියට. ඒ අනුව ඔවුන් එම ක්‍රීඩකයාට විශේෂ ගෞරව ආචාර්ය උපාධියක් ලබාදෙනවා. එහෙම උපාධියක් ලබාගන්න එක ලේසි නෑ. ඒත් පුදුමය කියන්නේ මේ ක්‍රීඩකයා ඒ ගෞරව ආචාර්ය උපාධිය ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරලා ඔහු උත්සව සභාව අමතලා හරි ආදර්ශමත් කතාවක් කියනවා.

‘‘මගේ බිරිඳ වෛද්‍යවරියක්. ඇය ඇගේ වෛද්‍ය උපාධිය ලබාගන්න ගණන් කළ නොහැකි තරම් නිදි නැති රාත්‍රීන් සහ දින ගණන් ගතකරලා තියෙනවා. එහෙම දීර්ඝ කැපකිරීමක් කරලා තමයි ඇය ඇගේ වටිනා උපාධිය ලබාගත්තේ. ඒ වගේම මගේ අම්මා කලා අංශයේ මහාචාර්යවරියක්. අම්මගේ අවසාන උපාධිය ලබාගන්න ඇය අවුරුදු පනහක් තිස්සේ ඉවසීමෙන් බලාගෙන හිටියා. මං ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමට එන්න ගොඩාක් මහන්සි වුණා. එහෙම ඇවිත් ක්‍රිකට් තුළින් ඉහළටම ගියා. ඒක තමයි ඇත්ත. ඒත් මම අධ්‍යාපනය පැත්තෙන් එච්චර හොඳට ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි. ඉතින් මම කොහොමද මේ බලසම්පන්න ගෞරව ආචාර්ය උපාධිය පිළිගන්නේ? ගෞරව උපාධියක් නිකන්ම ලබාගන්නවට වඩා ක්‍රීඩා ක්ෂේත්‍රයේ යම් ආකාරයක ශාස්ත්‍රීය පර්යේෂණයක් කරලා ආචාර්ය උපාධියක් ලබාගන්න මං බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දවසේ මට ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලයෙන් දෙන මේ ගෞරව ආචාර්ය උපාධිය ඉතා ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරනවා.’’

ඔබ ක්‍රිකට්වලට ආදරේ කරන පුද්ගලයෙක් නම් මේ අපූරු කතාව කියපු පුද්ගලයා දැන් නොදැන ඉන්න විදිහක් නෑ. මොකද කවුරුත් නොදැන හිටපු ඔහුගේ කතාව පසුගියදා ඔහු මාධ්‍ය වෙත කියනවා. ඔහු තමයි හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ‘රාහුල් ඩ්‍රාවිඩ්’ (Rahul Dravid). 1973 ජනවාරි 11 වෙනිදා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වල ඉපදෙන ඔහු ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වෙන්නේ 1996 අවුරුද්දේ. එදා ඉඳන් ඔහු 2012 වසර වෙනකල් දකුණත් පිතිකරුවෙකු ලෙස ඉන්දීය කණ්ඩායමේ රැඳෙනවා. ටෙස්ට් තරඟ 164කදී ළකුණු 13288ක් වගේම එක්දින තරඟ 344කදී ළකුණු 10889ක් රැස්කරන්න පවා ඩ්‍රාවිඩ් සමත්වෙනවා. එමෙන්ම ඔහු වරක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන්ම පුහුණුකරු විදිහටද කටයුතු කරනවා.

රාහුල් ඩ්‍රාවිඩ්ගේ සිදුවීමත් එක්ක මීට සමාන සිදුවීම් කීපයක්ම අපිට හොයාගන්න ලැබුනා. එයින් එකක් සිද්ධ වෙලා තියෙන්නේ 1952 අවුරුද්දේ. ඒ වෙනකොට ලෝක ප්‍රකට භෞතික විද්‍යාඥයෙක් වුණු ඇල්බට් අයින්ස්ටයින්ට වයස අවුරුදු 73යි. එම වසරේ ඔහුට ඊශ්‍රායල රජය විසින් එරටේ අගමැතිකම බාරගන්න කියලා ඉල්ලීමක් කරනවා. නමුත් එදා ඔහු එම ඉල්ලීම ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරන ගමන් මෙහෙම කියනවා.

‘‘මං භෞතික විද්‍යාව පිළිබඳ යම්තාක් දුරට දන්න කෙනෙක්. ඒත් රාජ්‍ය පාලනය සහ පරිපාලනය ගැන කිසිදෙයක් දන්නේ නෑ. ඒ නිසා මට මේක බාරගන්න බෑ. කණගාටුවෙන් වුණත් මට ඔබේ රටේ ඉල්ලීම ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරන්න වෙනවා.’’

ඒ වගේම රුසියානු ලෝක ප්‍රකට ගණිතඥයෙකු වන ග්‍රිගරි පෙරෙල්මන් 2006 අවුරුද්දේ ක්ෂේත්‍ර පදක්කම් සහ ගණිත ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගයට සමානව ලබාදෙන විශාල මුදලක් ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරන ඔහු අවසානයේ මෙන්න මෙහෙම කතාවක් කියනවා.

‘‘අපේ පවුල දුප්පත්කමේ උපරිමයේ ඉන්න කාලේ තමයි මගේ ළමා කාලය ගෙවිලා ගියේ. අම්මාට ලැබෙන ආදායම ඉතුරු කරගන්න මට ඇයගේ ගණකාධිකාරී ලෙස මුදල් කළමනාකරණය කිරීමට සිදුවුණා. කුඩා කාලයේ සිටම මට ගණිතය පිළිබඳ කුඩා දක්ෂතාවක් වර්ධනය කර ගැනීමට හැකිවුණේ ඒ හින්දයි. අපි ඒ ගෙවූ දරිද්‍රතාවයේ අවධිය දැන් මගේ ජීවිතයේ නැති නිසා මෙතරම් මුදලක් ලබාගෙන මං මොනවා කරන්නද?’’

රුවන් එස්.සෙනවිරත්න