විශේෂාංග

අම්මා අප්පා වුණත් එපා වුණොත් එපාම තමයි

‘‘රංජනී දුවේ…’’

‘‘ඇයි නැන්දේ?’’ රංජනී ෆෝන් එක ආන්ස්වර් කළේ මේ නම් තව ප්‍රශ්නයක් කියලා දැන දැනම තමා.

‘‘දුවේ අම්මා ගැන පිළිවෙලක් කළා නම් නේද හොඳ?’’ නැන්දා අහද්දි රංජනීට දැනුණේ ලේ රත් වෙනවා වගේ.

‘‘තව මොන පිළිවෙලක්ද නැන්දේ? මම මාසෙට ගාණක් අම්මගේ පොතට යවනවානේ.’’

‘‘දැන් තාත්තත් නැති එකේ, අම්මව දුව ළඟට ගත්තා නම් හොඳයි නේද?’’ නැන්දා කිව්වේ ඇදලා පැදලා.

‘‘තාත්තා නැති වුණාට මල්ලි ඉන්නවනේ නැන්දේ. එයා අම්මව බලා ගනී.’’ කියපු රංජනී එහෙමම ෆෝන් එක කට් කරලා දැම්මා.

‘‘මේ අයට කියලා තේරුම් කරන්න බැහැ.’’ තමන්ටම කියාගත්තු රංජනී නැන්දගේ ෆෝන් නම්බර් එකත් බ්ලොක් කරලා දැම්මා.

මේ වෙද්දි රංජනී නැන්දගේ විතරක් නෙවෙයි, ලොකු අම්මගේ, පුංචි අම්මගේ, තමන්ගෙම මල්ලිගේ, නෑනාගේ හැමෝගෙම ෆෝන් නම්බර්ස් බ්ලොක් කරලයි තිබ්බේ.

රංජනීගේ අතීතය පිටට පේනවාට වඩා ගොඩක් වෙනස්.

පොඩිම කාලේදි මාළු ඉව්වම ලොකු මාළු කෑල්ල මල්ලිට, පොඩි එක රංජනීට. දෙවැනි දවසෙදි මාළු මල්ලිට විතරයි. රංජනීට එළවලු විතරයි.

මල්ලි රංජනීගේ පිඟානේ තියෙන කෑම උදුරන් කද්දි රංජනී ඉවසන්න ඕනෙ. රණ්ඩුවට ගියොත් ගුටි ලැබෙන්නෙත් ඇයටමයි. මල්ලිට අවුරුද්දකට පාරක් අලුත් පොත්, සපත්තු ලැබුණට රංජනී අවුරුදු දෙක තුනක් එකම බෑග් එක, සපත්තු දෙක පාවිච්චි කරන්න ඕන. මල්ලි හෝදන්නේ නැතුව ගඳ ගගහා එකතු කරන රෙදි හේදුවේ නැහැ කියලා අම්මගෙන් කෝටු පාර වදින්නේ රංජනීට. මල්ලිට සපත්තු දාගෙන ගේ ඇතුළට එන්න එපා කියලා අම්මා කවදාවත් කියන්නේ නැහැ. හැබැයි රංජනීට එහෙම අවසරයක් නෑ.

රංජනී ශිෂ්‍යත්වේ උඩින්ම පාස් වුණත් දිගටම ගියේ ගමේ ඉස්කෝලෙට. මල්ලි ශිෂ්‍යත්වේ ෆේල් වුණා. ඒත් තාත්තා ලොකු මුදලක් යට කරලා, මන්ත්‍රී කෙනෙක්ගෙනුත් උදව් අරගෙන නගරේ තිබුණු නම ගිය ඉස්කෝලෙකට මල්ලිව දැම්මා.

මේ හැම වෙනස්කමක් වගේම රංජනී පෙම්වතෙක් හොයාගෙන විවාහ වෙන්න හීන දකිද්දි අම්මා කියපු දේත් රංජනීට අද වගේ මතකයි.

‘‘උඹට මඟුල් විසේද 25 වෙන්නත් කලින් බඳින්න හදන්නේ? අපිට ඕවට වියදම් කරන්න සල්ලි නැහැ. කොල්ලට කැම්පස් යන්න බැරි වුණා. ඌව ප්‍රයිවට් කැම්පස් එකකට යවන්න අතේ සල්ලි තියෙන්න ඕන.’’

අවාසනාවකට ඒ විවාහයත් සිදු නොවුණේ පෙම්වතාගේ ගෙදරින් දෑවැද්දක් නැතුව ලේලිව භාරගන්න අකමැති වුණ නිසා.

මනමාලිගේ දෑවැද්දෙන් ගොඩ යන්න බලාගෙන ඉන්න පවුලක් නැතිවුණ එකම හොඳයි කියලා රංජනී හිත හදාගත්තා. හැමදේම වෙන්නේ හොඳට කියලා හිතපු රංජනී තනියම ජීවිතේ ගොඩ නංවා ගන්න අධිෂ්ඨාන කරගත්තේ එදා.

කෙල්ලො අටදෙනෙක් ඉන්න ඇඟිල්ලක්වත් ගහන්න ඉඩ නැති බෝඩිමකට ඇවිත්, අමාරුවෙන් ජොබ් එකකුත් හොයාගෙන රංජනී ජීවිතේ පටන් ගත්තා. ලස්සනට අඳින්නේ නැතුව, බඩ පිරෙන්න කන්නේ නැතුව අමාරුවෙන් ජීවිතේ ගැට ගහගෙන කොහොම හරි වැඩිදුර අධ්‍යාපනයත් ලබාගත්තා.

වැටුප් වැඩිවීමක් එක්ක ප්‍රමෝෂන් එකක් ලැබෙද්දි රංජනීගේ වයස තිහටත් ළංවෙලා. රංජනී ලස්සනට ජීවත් වෙන්න පටන් ගත්තේ ඊටත් පස්සෙ. ඉඩකඩම් ඔක්කොම මල්ලිට ලිව්වා කියන ආරංචියෙන් රංජනීට අමුතු දුකක් දැනුණේ නැහැ.

ඒත් ඇගේ හිතේ ආඩම්බරයක් ඉතුරු වෙලා තිබ්බා. තනියම මහන්සි වෙලා ජීවිතේ ගොඩනගා ගත්තු එක ගැන.

රංජනීගේ තාත්තා හදිසියේම නැතිවුණේ මේ අතරේ. මල්ලි බැඳපු ලේලි දැන් තමන්ට නොසළකන බවත්, මල්ලිත් තමන්ට වෙනස්කම් කරන බවත් අම්මා කියද්දි රංජනීගේ හිතට දුකක්වත්, කණගාටුවක්වත් කොටින්ම තරහක්වත් දැනු​ණේ නැහැ.

රංජනීට දැනුණේ ඒක පිටස්තරයෙක්ගේ ප්‍රශ්නයක් කියලා. පවුලේ අය තමන්ට තමන්ගේ කෙනෙක් කියලා සැළකුවේ නැති නිසා වෙන්න ඇති ඇයටත් දැන් පවුලේ ප්‍රශ්න පිට ප්‍රශ්න වෙලා.

‘‘මගේ මේ සාමකාමී ජීවිතේට පරණ ප්‍රශ්න බලෙන් ගෙනත් දාගන්න ඕනෙ නැහැනේ. දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනෙ දරුවන්ට එක වගේ සලකන්න. ඒ හැමදේම අමතක කරලා දාන්න පුළුවන් දරුවොත් ඉන්නවා ඇති. එයාලා ගොඩක් හොඳ දරුවෝ වෙන්නත් ඇති. ඒත් සමහරුන්ට බැහැ ඒ වේදනාව අමතක කරන්න. මාත් ඒ වගේ දරුවෙක්. නොදන්න අය ලේබල් ගහයි කිසි ගුණයක් නෑ කියලා. ඒත් මට කමක් නෑ.’’

රංජනී තමන්ටම කියාගත්තා.

සමාධි ඩයස්