විශේෂාංග

ලිංගික අධ්‍යාපනය කියන්නේ දරුවන්ට SEX කරන්න උගන්වන එක නෙවෙයි

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ අදහසින් ‘හතේ අපේ පොත’ නමින් අතිරේක කියවීම් පොතක් පාසල් සිසුන්ට ලබාදීමට කටයුතු කළත් ඇතැම් පිරිස්වල දැඩි විරෝධය හමුවේ එම කටයුත්ත යට ගියේය. එහෙත් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න යළිත් මේ කතාබහ උඩට ගෙනාවාය. ඇය පවසා සිටියේ යළිත් පාසල් සිසුන්ට අමතර කියවීම් පොතක් ලෙස ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පොතක් ලබාදීමට කටයුතු කරන බවයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් කමිටුවක්ද පත්කර ඇත. එමනිසා මේ ගැන වැඩි යමක් දැනගන්නට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට අපි කතා කළෙමු. මේ එම සංවාදයේ සටහනයි.

*ලංකාවේ පාසල් මට්ටමේ නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සිදුවෙන්නෙ නෑ කියන එක ඔබ පිළිගන්නවද?

මම පිළිගන්නවා. ඒත් පාසල් විෂය නිර්දේශයට ඒ ඒ වයසට ගැළපෙන විදියට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය යටතේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පාඩම් ඇතුළත් කරලා තියෙනවා. හැබැයි ඒ හරහා දරුවන් දැනුවත් වෙන ප්‍රමාණයේ මදිකමක් මං දකිනවා.

 

*ඒ අඩුව පුරවන්නද ඔබ මූලිකවෙලා පාසල් දරුවන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ අමතර කියවීම් පොතක් දෙන්න යන්නේ?

ඔව්. ඒක තමයි අරමුණ. කුඩා කාලේ ඉඳන්ම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මොකද ඔවුන් ඒ ගැන දැනුවත් නෑ. ඒ නොදැනුවත්කම නිසා තමයි ළමා අපයෝජන, අපචාර වගේ සිද්ධිවලට අපේ දරුවන් මේ තරම් ගොදුරු වෙන්නේ. මෙහෙම පොතක් සකස් කරන්න මූලික හේතුවත් ඒක තමයි.

 

*දැන් වැඩේ පටන් අරගෙනද තියෙන්නේ?

ඔව්. පාසල් සිසුන් සඳහා මෙවැනි පොතක් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කළ යුතුයි. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති හැටියට මං පසුගියදා පාර්ලිමේන්තුවේදි අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ට ඒ බව දැනුම් දුන්නා. අධ්‍යාපන අමාත්‍යාංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය මූලිකවෙලා තවත් මේ සම්බන්ධව වගකීම් තියෙන ආයතන එකතුකරගෙන කමිටුව පිහිටුවන ලෙසත්, සම්බන්ධීකරණ කටයුතුවල වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය බාරගන්නා ලෙසත් මං උපදෙස් දුන්නා. කොහොම නමුත් මාස තුනක කාලයක් ඇතුළත පොත සකස් කරලා විද්වත් මණ්ඩලයකට ඉදිරිපත් කරන්න වගේම මාස හයක් ඇතුළත පොත දරුවන් අතට පත් කරන්නත් අපි කටයුතු කරනවා.

 

*දරුවන්ගේ වයසත් එක්ක ගැළපෙන විදියට පොත සකස් කරන්න වෙයි නේද?

නැතුව බෑනේ. මොකද දරුවන්ගේ වයසත් එක්ක ඒ ඒ අයට අවබෝධ වෙන සීමාවක් තියෙනවා. ඒ ගැන හිතලා ඒ ඒ වයසට ගැළපෙන විදියට තමයි මේ පොත සකස් කරන්නේ. තාම පොතට නමක් යෝජනා කරලා නෑ. ඒ වගේම මුද්‍රණය කරන්නත් යම්කිසි කාලයක් යයි. ඒත් එතකල් ඉන්නේ නැතුව අන්තර්ජාලය හරහා හෝ පොත ලබාදෙනවා.

 

*මීට කලින් හතේ අපේ පොත කරන්න මුල්වුණෙත් ඔබ ඇතුළු පිරිසක් නේද

ඔව්. එවකට යහපාලන ආණ්ඩු කාලේ තමයි අපි හතේ දරුවන්ට ‘හතේ අපේ පොත’ කියන අමතර කියවීම් පොත දුන්නේ. ඒත් ඒකෙ තිබුණු වචන කීපයක් අල්ලගෙන පිරිසක් ඒ වැඩේ කඩාකප්පල් කළා.

 

*හතේ අපේ පොතට වුණු වින්නැහිය මේ අලුත් පොතටත් වුණොත්?

මං හිතනවා එහෙම නොවේවි කියලා. මොකද මිනිස්සු හිතන පතන විදිය දැන් ටිකක් වෙනස්වෙලා. ඒත් අපි කෝකටත් කියලා පොත සකස් කළාට පස්සේ මුලින්ම විද්වත් මණ්ඩලේකට ඉදිරිපත් කරනවා අඩුපාඩු බලන්න. පස්සේ බලපෑමක් වෙයි කියලා හිතෙන කණ්ඩායම් ගෙනැල්ලා ඒ ගැන දැනුවත් කිරීමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

*මෙදා සැරේ මේ වැඩේ සාර්ථකවෙයි කියලා විශ්වාසයිද?

මිනිස්සු ළිංමැඩියෝ වගේ ඉඳලා හරියන්නේ නෑනේ. අපේ දරුවෝ අනතුරේ වැටෙනවා නම් අපි ඒක වළක්වගන්න ඕනේ. දෙයක් වුණාට පස්සේ නීතිය ඉදිරියට ගිහින් අඬනවට වඩා වළක්වගන්න එකනේ වටින්නේ. අනික පුළුවන්කම තියෙද්දී අපි කිසිම දෙයක් නොකර අනේ අපේ රටේ මෙහෙම දේවල් වෙනවනේ කිය කියා උඩ බලාගෙන ඉන්න එක හරිද? මහජන නියෝජිතවරියක් හැටියට මට යම්කිසි අධිකාරිමය බලයක් තියෙනවා. එහෙව් බලයක් තියාගෙන මට ඇස් කන් පියාගෙන ඉන්න බෑ.

 

*ඔබ හිටපු ගුරුවරියක්. ඉතින් පොතකින් මේ විදියට 100%ක් ලිංගික අධ්‍යාපන දෙන්න පුළුවන් කියලා හිතනවද?

මං අවුරුදු ගාණක්ම ගුරුවරියක් විදියට සේවය කළා. එතැනදි මං දැකලා තියෙනවා දරුවන්ට මුහුණපාන්න වෙන ගැටලු වගේම කණගාටුදායක සිදුවීම්. ඒකට මූලිකව බලපාන්නේ ලිංගිකත්වය ගැන දරුවන්ගේ තියෙන නොදැනුවත්කම. පොතකින් 100%ක් ඒ දැනුම දෙන්න බැරිවෙයි. ඒත් අපි අඳුරට ශාප කර කර ඉන්නවට වඩා එක පහනක් හරි දල්වන එක නේද කරන්න ඕනේ. මේ එක්කම ලිංගික අපයෝජනයවලින් ආරක්ෂා කරගැනීම සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ගැන ආගමික නායකයින්, දෙමාපියන්, ජනමාධ්‍ය ඇතුළු පාර්ශව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

*SEX කියන අකුරු තුන පාසල් දරුවන්ට දැන් සාමාන්‍යයි. ඒත් වැඩිහිටියන් බොහොමයකට තාමත් එහෙම නෑ. පොතට ඔවුන්ගේ විරුද්ධත්වයක් ආවොත්?

මං ඔවුන්ට කියන්න කැමතියි තවදුරටත් ඔය පටු ආකල්පවල නොඉඳ තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න අපිට සහාය වෙන්න කියලා. අනික තමයි ලිංගික අධ්‍යාපනය කියන්නේ SEX කරන්න උගන්වන එක නෙවෙයි. කවුරු හරි මේ පොතට විරුද්ධ වුණොත් ඒක ඔවුන් ඔවුන්ගේ දරුවන්ටම කරන අපරාධයක් විදියටයි මං දකින්නේ.

 

*මේ පොත ගැන ජනාධිපතිතුමාගේ කැමැත්ත කොයි වගේද?

එතුමා අකමැති වෙන එකක් නෑ. එතුමා ගන්න සමහර තීන්දු තීරණ එක්ක එතුමට ඉදිරිය පැහැදිලිව පේනවා කියලා අපිට හිතෙනවා. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අපිත් එක්ක ඉන්නවා. එතුමත් දුර පෙනෙන නායකයෙක්.ඒ දවස්වල එතුමා කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන්න ඕනේ කියද්දි සමහරු හිනාවුණා. ඒත් පස්සේ හැමෝටම තේරුම් ගියා එතුමා කියපු දේ හරි කියලා. කොහොමත් අපේ අයට දේවල් තේරුම් යන්නේ ටිකක් කල් ගිහිල්ලනේ.

 

*මේ පොත එක්කම අලුතින් විවාහවන තරුණ තරුණියන් වෙනුවෙනුත් පොතක් සකස්කරන්න යනවා කියන්නේ ඇත්තද?

ඔව් එහෙම අදහසක් තියෙනවා. ඒ හරහා අලුතින් විවාහවුණු අයට දරුමල්ලෝ ලැබෙද්දි දෙමාපියන් හැටියට ඒ දරුවන්ව පරිස්සම් කරගන්න විදියයි කියලා දෙන්නේ. ඒ හරහා ඔවුන්ගේ දරුවන් අනාගතයේ ලිංගික අපයෝජන, අපචාර තුළින් ආරක්ෂා කරගැනීම ගැන ඔවුන්ට හොඳ අවබෝධයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

 

*අවසාන වශයෙන් කියන්න දෙයක් තියනවද?

ඔබේ දරුවාට දෙයක් නොවෙන තාක් ඔබට මේ අනතුර වැටහෙන්නේ නැහැ.  නමුත් දරුවන් සම්බන්ධ විශාල අනතුරක් මේ සමාජයේ තියනවා. ඒක අවම කරන්නයි අපි මේ උත්සහ කරන්නේ. එකට සහාය වෙන්න කියලා හැමදෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා.

 

රුවන් එස්.සෙනවිරත්න