විශේෂාංග

අයියාගේ ලොරිය අරන් හයර් දුවන නංගී අමරා වාද්දූව

ජාතික සමසමාජ පක්ෂයේ හිටපු ප්‍රබල ක්‍රියාකාරියෙකු වන W.A.පෙරේරා ඇගේ පියාය. ඇගේ දියණියන් දෙදෙනාගෙන් බාල දියණිය මේ දිනවල සමාජ මාධ්‍ය හරහා කාගේත් අවධානය දිනාගෙන සිටින රෝසි උඩුමුල්ලයි.

‘‘මට මගේ දෙමාපියන්ගෙන් ලැබුණු ලස්සන ජීවිතයක් තිබුණා. ඒත් හිතුවක්කාරෙට කසාදයක් බැඳගෙන මං ඒ ජීවිතේම ප්‍රශ්න පත්තරයක් කරගත්තා. දරුවන්ට නොතේරෙන වයසෙදි එයාලගේ තාත්තව අතෑරලා ගියොත් දරුවෝ මං ගැන වැරදියට හිතන නිසා මට ඉවසන්න වුණා. ඒත් එයාලට හරි වැරැද්ද තේරෙන වයස එද්දි මම වෙනම ජීවත් වෙන්න තීරණය කළා.’’

ඇය තම අතීතය මතක් කළේ එලෙසිනි. අමරා ඒ වනවිට සේවය කළේ බාටා සමාගමේය. නමුත් ලේ උරුමයෙන් ලැබුනු දේශපාලන පසුබිම නිසා ඇය 2002 වසරේ බණ්ඩාරගම ආසනය නියෝජනය කරමින් නව වාමාංශික පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් විය.

‘‘මම නව වාමාංශික පෙරමුණ වෙනුවෙන් ගොඩක් දාඩිය මහන්සිය හෙලපු කෙනෙක්. ඒත් පස්සෙ තේරුණා පක්ෂ නායකයෝ අපිට පේන්න වමට සිග්නල් දැම්මට හරවලා තියෙන්නේ දකුණට කියලා. ඒ ඇතිවෙච්ච කළකිරීමත් එක්ක අන්තිමට මම දේශපාලන ගමන එතැනින්ම නතර කළා.’’

ඔය කාලය වනවිට බාටා සමාගමේ සේවකයන් සහ පාලන අධිකාරිය අතර සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධයෙන් උග්‍ර ගැටුම් ඇතිවෙමින් තිබුණි. පසුව තම සහෝදර සේවක සේවිකාවන්ගේ අර්ථසාධක මුදල රැකගැනීමට ඉදිරියට පැමිණ හඬ නැගූ අමරාට සිරබත් කෑමට සිදුවූවා පමණක් නොව වසර 15ක් පමණ කළ රැකියාවද අහිමි වන්නීය.

අමරාගේ පෙරටුගාමී ගති පිළිබඳව ඇස ගසාගෙන සිටි ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් මෙරට සියලුම කාන්තා වෘත්තීය සමිතිවල සභාපතිවරිය ලෙස කටයුතු කිරීමට ඇයට ඇරයුම් කරන්නේ ඔය අතරය. එහෙත් දේශපාලන අතරමැදියෙකු වීමට තිබූ අකමැත්ත නිසා එම තනතුරෙන් ද ඉතාමත් කෙටි කලකින් ප්‍රතික්ෂේප කළ බව ඇය කියයි. පසුව බාටා සමාගමේ රැකියාවෙන් ලද අත්දැකීම් ප්‍රයෝජනයට ගත් අමරා ස්වයං රැකියාවක්​ ලෙස පාවහන් සාදා විකිණීමට පටන් ගත්තාය.

‘‘දරුවො දෙන්නගෙ වැඩයි, ගෙදරදොරේ වැඩයි සේරම කරන ගමන් තමයි සෙරෙප්පු හැදුවේ. පිටකොටුවට ගිහින් ඒවට ඕන කරපු අමුද්‍රව්‍ය ගෙනාවෙත් මම. උදේ ඉඳලා රෑ වෙනකල් සෙරෙප්පු හදලා ඒවා විකුණගන්න මං කඩවල් ගානේ ඇවිදපු තරම් කවුරුවත් ඇවිදලා නැතිව ඇති.’’

ජීවිතය අත්නොහැර සිටින්නට එතරම් උත්සාහ ගත්තත් දෛවය ඒ මොහොතේද ඇයට අකාරුණික වන්නට තීරණය කර තිබුණි.

‘‘දවසක් සෙරෙප්පු හදාල විකුණලා ඇවිත්, මහන්සියට ගෙදර නිදාගෙන ඉඳිද්දී අමුතු විදියට පපුව රිදෙන්න ගත්තා. පස්සේ මං පපුව අතගාලා බලද්දි සබන් කැටයක් තරම් ලොකු ගැටිත්තක් අහුවුණා.’’

තමා පියයුරු පිළිකාවට ගොදුරු වී ඇති බව අමරා දැනගත්තේ පසුවදා දරුවන්ටද නොකියා රෝහලට ගිය පසුය.

‘‘එදා හොඳටම වැස්ස දවසක්. දොස්තර මහත්තයා පියයුරු පිළිකාවක් කියලා කිව්වට පස්සේ මම වැස්සේ තෙමීගෙනම රෑ කඩේකට ගිහිල්ලා කහට තේ එක්ක බිව්වා. ඒ වෙලාවේ මට දරු දෙන්නව මතක් වුණා. මගේ හිත කිව්වෙම ‘වැටෙන්න එපා දරුවො වෙනුවෙන් උඹ නැගිටපන්’ කියලා.’’

පසුව වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත ඇයට පියයුරු දෙකම ඉවත් කිරීමට සිදුවිය.

‘‘ඊටපස්සේ මම පිළිකාවක් තිබුණා කියන එක අමතක කරලා දාලා ජීවත් වුණා. දිගින් දිගටම සායනවලට එන්න කිව්වට මට ඒ ටික කරන්න පුළුවන් වුණේ මුල් කාලේ විතරයි. මොකද දරුවො දෙන්නව දාලා ගිහින් පිළිකා රෝහලේ ඇඳක් උඩට වෙලා ඉන්න පුළුවන්කමක් මට තිබුණෙ නෑ.’’

රෝහල්ගත වී ප්‍රතිකාර ගත් කාලය අතරතුර දුක් මහන්සියෙන් ගොඩනගාගත් ස්වයං රැකියාවද කඩාවැටී තිබිණි. කොතරම් බාධක පැමිණියද අමරා ජීවිතය අතහැරීමට සූදානම් වූයේ නැත. කරන්නේ කුමක්දැයි කල්පනා කරමින් සිටියදී අමරාගේ මතකයට එන්නේ අයියාගේ ලොරි රථයය.

‘‘අන්තිමට මම අයියගෙන් ලොරිය ඉල්ලගෙන ‘හයර්’ කියලා බෝඩ් එකක් එල්ලගත්තා. පස්සේ අළුබෝමුල්ල හංදියට ගිහින් හයර් ලැබෙනකල් බලාගෙන හිටියා. ඇත්තටම මං බලාපොරොත්තු වුණු විදියටම හයර් ලැබුණා. ගල්, වැලි කියුබ් ගණන් හාඩ්වෙයාර්වලින් පටවගෙන ගෙවල්වලට ගිහින් දාලා තියෙනවා. සමහර වෙලාවට සිමෙන්ති කොට්ට කරේ තියාගෙන අරන් ගිහින් ලොරියට දාගත්තු වෙලාවල්, ලොරියෙන් බිමට බාපු වෙලාවල් තියෙනවා.’’

නමුත් ඇය කිසිමවිටෙක එය කරදරයක් හෝ අභියෝගයක් ලෙස සැලකුවේ නැත.

රියදුරු රැකියාවේ වසර 12ක පළපුරුදුකාරියක් වන ඇය අදටත් අළුබෝමුල්ල හංදියේ ලොරි රථය ‘හයර්’ කරන්නීය.

‘‘අද වෙනකොට මගේ දුවලා දෙන්නටම උපාධිය දක්වාම අධ්‍යාපනය ලබාදීලා තියෙනවා. දුවලා දෙන්නටම ගෙවල් දෙකක් හදලා දීලා ලොකු දුවව විවාහ කරලා දීලත් ඉවරයි. මගේ පොඩි දුව රෝසි. එයා ඉපදෙනකොට ගොඩක් අඩුපාඩුත් එක්ක ඉපදුණ දරුවෙක්. දොස්තර මහත්තරු එයාව මගේ අතට දීලා කිව්වා එයා දවස් තුනකට වැඩිය ජීවත්වෙන්නේ නෑ කියලා. මට මතකයි ඒ වෙලාවේ මම දොස්තර මහත්තුරුන්ට කිව්වා මම කොහොමහරි මගේ දරුවව දවස් තුනකට වඩා ජීවත් කරලා පෙන්නනවා කියලා. කිව්ව විදියටම අද වෙනකොට මම එයාව අවුරුදු විසිපහක් ජීවත් කරවලා තියෙනවා. මේ වෙනකොට එයාට සැත්කම් විසි ගානක් කරලා, ඉපදෙනකොට හිටියට වඩා ගොඩක් සාමාන්‍ය අතට පත්කරගෙන තියෙනවා.

තරුණ කාලේ පවුල් ජීවිතය අසාර්ථක වුණාට පස්​සේ මටත් ගොඩක් පිරිමින්ගේ ඇල්ම බැල්ම වැටිලා තියෙනවා. ඒත් මම කවදාවත් වැරදි තීරණයක් ගත්තේ නෑ. ඒ නිසා අද ජීවිතේ සැඳෑ සමය (63) මේ විදියට සැනසීමෙන් ගෙවන්න මට පුළුවන්.’’

ලිහිණි මධුෂිකා