විශේෂාංග

මැණික්වලින් චිත්‍ර අඳින මැණික්පුරේ මැණිකේ

ඉන්දියානු ජාතික ශ්‍රී රාම් ජීවත්වුණේ එංගලන්තේ. ඔහු රැකියාව කරන අතරෙම ස්වභාවික ශාක තන්තුවලින් නැවත භාවිතා කරන්න පුළුවන් බෑග් වගයක් හැදුවා. බෑග්වලට හොඳ ඉල්ලුමක් හැදුනු නිසා ශ්‍රී රාම් රස්සාවෙන් අයින් වෙලා බෑග් ව්‍යාපාරයක් පටන්ගත්තා. හවුලේ කැඳත් එපා කියලා කිව්වට මොකෝ ව්‍යාපාරය දියුණු වෙද්දි ශ්‍රී රාම් ඔහුගේ ව්‍යාපාරයට සගයෙක් එක්කාසු කරගත්තා.

නොහිතූ විදියට ඔහු ශ්‍රී රාම්ගේ ව්‍යාපාරයට වංචා කළා. පස්සේ ශ්‍රී රාම්ට වුණේ අඩියෙනුත් පහලට වැටෙන්න. සිදුවීම නිසා ඔහු සියදිවිහානි කරගන්න පවා උත්සාහ කළා. ශ්‍රී රාම්ගේ දියණිය ස්මෘති ශ්‍රී රාම්ට තාත්තගේ මේ සෝතාපය දරාගන්න බැරිවුණා. ඉතින් ඇය කළේ මේ ව්‍යාපාරය ආයෙත් මුල ඉඳලා පටන්ගත්තු එක. ස්මෘති බෑග් විතරක් නෙමෙයි ශාක තත්තුවලින් ඇඳුම් ආයිත්තම් පවා නිෂ්පාදනය කළා. මේ වැඩේ පටන්ගනිද්දි ඇගේ වයස 22යි. අද ඇයට 28යි. අද වෙනකොට ඔවුන්ට එංගලන්තේ වගේම ඉන්දියාවේත් කර්මාන්තශාලා තියෙනවා. ලෝක ප්‍රකට නයික් (Nike) සන්නාමය පවා ඔවුන්ගෙන් ස්වභාවික තන්තු බෑග් මිලදී ගන්නවා.

තාත්තා වැටුණු තැනින් පටන් අරන් ආයේ නැගිටපු ස්මෘතිගේ කතාව කිව්වේ ඇහැලියගොඩ සචිනි දෙව්මිනීගේ කතාවට පෙරවදනක් ගන්න. මොකද ස්මෘතිගේ කතාවෙයි අපි මේ කියන සචිනිගේ කතාවෙයි ලොකු වෙනසක් නැහැ. රත්නපුර ඇහැලියගොඩ පදිංචි සචිනි කරන්නේ මැණික්වලින් සිතුවම් අඳින එක. ඕනම මනුස්සයෙක්ව පණ පිටින් ඉන්නවා වාගේ මැණික්වලින් වාත්තු කරන්න ඇයට පුළුවන්.

මගේ තාත්තා සමන් අජිත් බණ්ඩාර. අවුරුදු තිහකට විතර කලින් පතල් වැඩ කළා. ඔය අතරේ පතල්වලින් අයින් කරන මැණික් ගල්වලින් ලංකා සිතියමක් හැදුවා. තාත්තා ඒක රුපියල් පන්සීයකට විකුණුවා මට මතකයි. ඒ කාලේ හැටියට ඒක ලොකු මුදලක්. පස්සේ තාත්තා පතල් කර්මාන්තයෙන් අයින් වෙලා ස්වයං රැකියාවක් විදියට මැණික් ගල් අල්ලලා චිත්‍ර හදන්න ගත්තා. මේ කලාව ලංකාවට හඳුන්වලා දුන්නේ ඔහු. ජාතික ශිල්ප සභාවට පාෂාණ ආශ්‍රිත නිර්මාණ කියන නම හඳුන්වලා දුන්නෙත් තාත්තාමයි.

සචිනිලා පුංචි කාලේ තාත්තා අජිත් බණ්ඩාර මේ ව්‍යාපාරය ජයටම කළාලු. මේ අලුත් වැඩේ නිසාම රත්නපුර පැත්තේ හොඳ නමක් මේ උදවියට තිබිලා තියෙනවා.

ව්‍යාපාරය හොඳට දියුණු වුණාට පස්සේ තාත්තගේ ව්‍යාපාර සගයෙක් නිසා අපි ලොකු වංචාවකට අහුවුණා. ඊටපස්සේ අපි නැත්තටම නැති වුණා. ප්‍රශ්නත් එක්ක තාත්තට කළකිරීමක් ඇතිවුණා. තාත්තගේ වේදනාව බලාගෙන ඉන්න බැරි තැන එයා නතර කළ තැනින් මම පටන්ගන්නවා කියලා අධිෂ්ඨාන කරගත්තා. පස්සේ තාත්තට විවේක ගන්න කියලා ඔහුගේ උපදෙසුත් ඇතිව මම තනියම වැඩේ පටන්ගත්තා.

සචිනි ආයෙත් ව්‍යාපාරය පටන්ගනිද්දි අර ව්‍යාපාර වංචා කළ උදවිය ‘ඔයාලට ආයේ ඕක කරන්න බැහැ’යි කියලා අභියෝග කළාලු. මද්දුම බණ්ඩාර කුමාරයා ‘මැරෙන හැටි මම පෙන්වන්නම්’ කිව්වා වගේ ‘නැගිටින හැටි මම පෙන්වන්නම්’ කියලයි එතකොට සචිනි කියලා තියෙන්නේ.

මුලින් නිර්මාණ කීපයක් කරලා අපි දන්න වෙළඳසැලකට දැම්මා. ඒ හැම එකම විකුණුනා. හැබැයි ඔව්වා දුන්නේ බොහොම අඩු මුදලකට. ඔහොම කාලයක් යද්දි ටිකෙන් ටික ඉල්ලුම වැඩිවුණා.”

දැන් සචිනිගේ ව්‍යාපාරයට අවුරුදු එකහමාරයි. මාසෙට එක ඕඩරෙන් දෙකෙන් පටන්ගත්තු වැඩේ අද මාසෙට ඕඩර් පනහා හැට එන තැනටම වැඩිවෙලා.

මුල්ම නිර්මාණ අලෙවි කළේ රුපියල් දෙදාහට, තුන්දාහට. පස්සේ ලොකු ලොකු ගණන්වල ඕඩර්ස් ආවා. මෑතකදී මම චීන ජනාධිපතිගේ රූපය හැදුවා. ඒක දුන්නේ ලක්ෂ පහකට. ඒක තමයි මම වැඩිම මිලකට දුන්නු චිත්‍රය.

මේ සුන්දර මැණික් චිත්‍ර හදන්න ඇය කරන කැපකිරීම් ගැනත් සචිනි අපිත් එක්ක කිව්වා.

මුල් කාලේ මම වැඩ කළේ තනියම. රෑ දෙක තුන වෙනකල් නිදි මරාගෙන වැඩ කළා. මේක හරි සියුම් වැඩක්. ඉතින් මනස එක තැනක තියාගන්න එකත් වැදගත්. දැන් නම් මාත් එක්ක වැඩ කරන්න තව ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් ගෙදර වැඩයි වෘත්තියයි සමබරව කරගෙන යනවා.

මැණික් නිර්මාණවලට ගන්න ගල් ගැනත් ඔය කතාවෙන් පස්සේ අපි ඇගෙන් අහලා බැලුවා.

බ්ලූ සෆායර්, යෙලෝ සෆායර්, රූබි, හෙසනයිට් ගානම්, ගානම්, එමරල්ඩ් වගේ ගල් වර්ග තමයි ගන්නේ. අපේ තාත්තලාගේ කාලේ නම් මේ ගල්වලට ඉල්ලුමක් තිබුණේ නහැ. ඒ කාලේ මේ පාට ගල් ආයෙත් පතල්වලටම දාලා වහනවා. හැබැයි දැන් විසිතුරු නිර්මාණවලටත් ගන්න නිසා ගල් ටිකක් මිලයි. එතකොට කරන නිර්මාණය වැඩි ගාණට දෙන්න වෙනවා.”

මුදලේ තරමට වටිනාකමේ අඩුවක් නැති නිසා මිලදී ගන්න කවුරුත් කේවල් නොකර නිර්මාණ මිලදී ගන්නවා කියලයි ඇය කිව්වේ.

ගොඩක් අය තමන් ආදරේ කරන අයගේ, කැමති අයගේ මැණික් චිත්‍ර හදාගන්නවා. ඩයනා කුමරිය, එළිසබෙත් රැජින, මහත්මා ගාන්ධි වගේ ලෝකප්‍රකට චිත්‍ර ගොඩක් හදලා තියෙනවා. දවසක් කෙනෙක් ඇවිල්ලා ලංකාවේ ප්‍රසිද්ධ ජනරාල් කෙනෙක්ගේ චිත්‍රයක් හදාගත්තා. පස්සේ දවසක උත්සවයකදී මට ඒ ජනරාල්ව මුණගැහුණා. කෙනෙක් ඔහුගේ මැණික් චිත්‍රයක් හදාගත්තා කියලා මම ඔහුට කිව්වා. ඔහුට හරි සතුටුයි. ඔහු මගේ නිර්මාණවල ෆොටෝ එහෙමත් බලලා මාව සෑහෙන අගය කළා.”

ඇත්තටම ඇය අගය කළ යුතු, ඇගයීමට පාත්‍ර විය යුතු දිරිය කාන්තාවක් කියලයි ඇය එහෙම කියද්දි අපිටත් හිතුණේ.

මගේ සැමියා තරිු හසරැල්. ඔහුත් මගේ ව්‍යාපාරයට සෑහෙන උදව් කරනවා. මේ දවස්වල අපි ලංකාවේ විවිධ පැතිවල ප්‍රදර්ශනවලට නිර්මාණ අරගෙන යනවා. ඒ වගේම සංචාරක මධ්‍යස්ථානවලටත් මගේ නිර්මාණ දානවා. ඒවා හරහා නිර්මාණ ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවලට යනවා. හැබැයි අතරමැදියන් නැතිව මේ නිර්මාණ විවිධ රටවලට අපනයනය කරන එක තමයි මගේ ඊගාව බලාපොරොත්තුව.

ඇගේ ඒ බලාපොරොත්තුව ඒ විදියටම ඉෂ්ට වෙන බව අපිට නම් විශ්වාසයි. මොකද ඇය ඒ තරම්ම හයිය බවයි කතාබහේදි වුණත් අපිට තේරුණේ.

මගේ තාත්තා දැන් ආයෙත් ඉස්සර වගේම සතුටින් ඉන්නවා. මම කරන හැමදේටම උපදෙස් දිදී හෙවනැල්ලක් වගේ මගේ පිටිපස්සේ ඉන්නේ ඔහු. එයාගේ ව්‍යාපාරය කඩාගෙන වැටුණා කියලා පොඩි දුකක්වත් තාත්තගේ හිතේ නැහැ. එයා වැටුණු තැනින් මම නැගිටපු එක ගැන තාත්තා ගොඩක් ආඩම්බරයි.

හේමන්ත ලියනපතිරණ