විශේෂාංග

අම්මගෙ පිටි එක ඉවර වෙන්න යද්දි මගේ බඩ පපුව දනවා

මීට අවුරුදු විසි අසංඛෙයිය කල්ප ලක්ෂෙකට කලින් තරුණ පුතෙක් තමන්ගේ අම්මා එක්ක මුහුද හරහා වෙළඳාමේ යන්න නැව් නැග්ගා. මුහුද මැදට ගියාම මහා චණ්ඩ කුණාටුවක් ඇවිල්ලා නැව විනාශ වුණා. එවෙලේ අර පුතා තමන්ගේ ජීවිතේටත් වඩා හිතුවේ අම්මාගේ ජීවිතේ ගැන. ඔහු අම්මව කරේ තියාගෙන රළ ගෙඩි පෙරළෙන මුහුද මැද ඉඳලා ගොඩබිම දිහාට පීනුවා. දවසක් දෙකක් නෙමේ, එකදිගට දවස් හතක් ඒ විදියට පීනුවා කියලයි කියන්නේ. ලේ කිරි දීලා හැදූ වැඩු දරුවා තමන්ගේ ජීවිතේ බේරගන්න කරපු හටන දැකපු ඒ අම්මාගෙ මුවින් හරි අපූරු වාක්‍යයක් පිටවුණා. ඒ තමයි  “මගේ පුතා බුදු වේවා!” කියලා. මාතුපෝසක ජාතක කතාවේ කියැවෙන විදියට ගෞතම බුදුන්ට බුදුවෙන්න මුලින්ම නියත විවරණ ලැබුණේ  එදා අම්මගෙන්.

අම්මා කෙනෙක් දරුවෙක්ට කිරි කරලා පොවාපු ලේවල ණය කල්ප කාලන්තරයකටවත් ගෙවලා ඉවර කරන්න බැහැ කිව්වට මොකද මව් කිරිවලට ණය නැති බෝසත් දරුවෝ ජාතක කතාවල විතරක් නෙමෙයි හැබෑ ලෝකෙත් ඉන්නවා. අපේ කතාවේ නායකයා සහන් ප්‍රසන්නත් එහෙම බෝසත් පුතෙක්.

පොඩි කාලේ ඉඳලා මට හිටියේ අම්මා විතරයි. මගේ අම්මා පාරවල්වල ගොටුකොළ විකුණලා මාව ඉස්කෝලේ යැව්වා. කිසි අඩුවක් නොකර පුළුවන් විදියට මට හැමදේම දුන්නා.”

වැලිසර සහන් ප්‍රසන්න වයස අවුරුදු 19ක තරුණයෙක්. සහන්ගේ අම්මා ලීලාවතී සිල්වාට අවුරුදු 60යි. පලා විකිණීම ජීවිකාව කරගත්තු ඇය අද වකුගඩු රෝගයක් නිසා අසරණව එක්තැන් වෙලා.

ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ අම්මට මුත්‍රා එක්ක ලේ යන්න පටන්ගත්තා. කකුල් පණ නැති වුණා. ඉස්පිරිතාල කීපයකටම අරන් ගියත් ඒ හැමතැනින්ම කිව්වේ අම්මට ස්නායු ප්‍රශ්නයක් කියලා. මේක ස්නායු ප්‍රශ්නයක් නෙමෙයි කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. ආයේ අම්මව රාගම ඉස්පිරිතාලෙට අරගෙන ගියා. අම්මගේ වකුගඩු දෙකම නරක් වෙලා කියලා හොයාගත්තේ එහෙන්. අම්මා මාස කීපයක්ම ඉස්පිරිතාලෙ හිටියා. සල්ලි දීලා අම්මා ළඟ කාවවත් නතර කරන්න වත්කමක් තිබුණේ නෑ. ඒ නිසා ඉස්පිරිතාලෙදිත් අම්මගේ කැත කුණු අතගෑවේ හැමදේම කළේ මම. උදේ දවල් රෑ අම්මා බලන්න ගියා. මම අම්මාව බලාගන්න විදිය දැකලා උදේ ඉඳලා රෑ වෙනකල් අම්මා ගාව ඉන්න හොස්පිට්ල් එකේ අය මට අවසර දුන්නා.”

මුලදි ලීලාවතීගේ ඇඟේ ලේ මාරු කළත් ඇගේ වයස එක්ක ඒ කටයුත්ත කරන්න අපහසු නිසා දැන් ඇයගේ ලේ මාරු කරන්නේ නැතිලු.

ලේ මාරු කළහම අම්මට ගොඩක් අමාරු වෙනවා. මුලදි ඇවිදින්න පුළුවන්කම තිබ්බත් පස්සේ අම්මා එකතැන් වුණා. දැන් මාස පහක ඉඳලා ඇඳේ ඉන්නේ. හැබැයි කල්පනාව තියෙනවා. සතියක්වත් ජීවත්වෙන එක ෂුවර් නැහැ කියලයි අම්මව ගෙදර එව්වේ. හැබැයි මාස හතරක් වෙලත් තාම අම්මා හොඳින්.”

ඉස්පිරිතාලෙන් සතියක්වත් විශ්වාස නැතැයි කියාපු ලීලාවතී අම්මා අදටත් ජීවත්වෙන්නේ තමන්ගේ  සත්කාර නිසා බවත් ඔහු විශ්වාසෙන් කිව්වා.

මම අම්මව හොඳට බලාගන්නවා. අම්මාට කන්න බැහැ. කෝපියි කිරියි විතරයි දෙන්නේ. අම්මා බොන්න බෑ කිව්වත් මම බලෙන් හරි කිරි ටික පොවනවා. අම්මා කිරි නොබී ඉද්දි මට හරි බයයි.”

පුංචි කාලේ දරු පැටව් කිරි බොන්නේ නැති වුණාම අම්මලගේ පපුකැවුතු දාලා යනවා කියලා අහලා තිබ්බට අම්මා කෙනෙක් කිරි බොන්නේ නැතුවහම පපුව දන පුතෙක්ව දැක්කේ පළවැනි පාරට.

අපි දෙන්නට හරියට ඉන්න තැනක් නැහැ. ඉතින් මම රට යන්න හිටියේ. රට ගිහින් ගේ හදලා අම්මව සැපට තියාගන්න එක තමයි මගේ ජීවිතේ එකම හීනේ වුණේ. දැන් මගේ එකම හීනේ අම්මව සනීප කරගන්න එක. අපිට ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. අම්මව තනියම දාලා කුලී වැඩකට යන්නත් අමාරුයි. පුළුවන් වෙලාවට කාවහරි ළඟින් තියලා කුලී රස්සාවක් කරනවා. ඒත් අම්මාගේ පිටි එක සතියෙන් ඉවර වෙනවා. පිටි එක ඉවර වෙන්න ළංවෙද්දි මගේ බඩ පපුව දන්න ගන්නවා.”

එහා ගෙදර අයට වගේ තට්ටු ගෙයක් නැති එකටයි මෙහා ගෙදර අයට වගේ ලොකු වාහනයක් නැති එකටයි මානසිකව වැටෙන මිනිස්සු ඉන්න ලෝකෙක මේ බෝසත් දරුවට තියෙන ලොකුම බය අම්මගේ කිරි පැකට් එක ඉවර වෙන එක.

ලොකුවට සල්ලි බාගේ නොතිබ්බත් අපි දෙන්නා හරි සතුටින් හිටියා. අම්මා මට සහෝදරියක් වගෙයි. අම්මට මොනා හරි වුණොත් මම තනිවෙයි කියලා අම්මා බයෙන් ඉන්නේ. ජීවිතේට කරදරයක් නොවී එකතැන්  වෙලා හරි අම්මා මාත් එක්ක ඉන්නවා නම් මට ඒකත් ඇති. මම පුළුවන් විදියට අම්මව බලාගන්නවා.”

මේ අම්මගේ ජීවිතේ රැකගන්න සහන් අපෙන් මෙහෙම උදව්වක් ඉල්ලුවා.

අම්මගේ කොණ්ඩේ එහෙමත් යනවා. අම්මට තවත් අසනීපයක් ඇති කියලා මට හිතෙනවා. අම්මව හොඳ දොස්තර මහත්තයෙක්ට පෙන්නලා ස්කෑන් එකක් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒකට සහායක් වෙන්න පුළුවන් නම් මේ වෙලාවේ අපිට ඒක ලොකු හයියක්.”

තවත් මනුස්සයෙක්ගේ දුක දැකලා උණුවෙන ලොකු හදවතක් තියෙන කෙනෙක්  නම් මේ බෝසත් පුතාගේ ඒ ඉල්ලීමට හයියක් වෙන්න ඔබටත් පුළුවන්. 0765603840 මේ තමයි සහන්ගේ අංකය.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි