විශේෂාංග

කළමනාකරණ උපාධියක් තියාගෙන කොණ්ඩ කපන බාබර් මල්ලි – යොමාල් සඳරුවන් ජයසුන්දර

කැම්පස් ඉන්න කාලේ හොස්ටල් එකේ එකට හිටපු කොල්ලන්ගේ කොණ්ඩ කැපිල්ලෙන් පටන් අරන් අද ලොකු සැලුන් එකක් කරන මේ තරුණයාගේ නම යොමාල් සඳරුවන් ජයසුන්දර. වයස අවුරුදු 27 යි. ඔහුගේ වෘත්තිය තමයි කොණ්ඩා කැපීම. අනුන්ගේ කොණ්ඩ කැපුවට මොකද යොමාල් කියන්නේ ලොකු උපාධියක් තියෙන තරුණයෙක්. එසේ මෙසේ උපාධියක් නෙවෙයි ඔහුට තියෙන්නේ වාණිජ හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක්. අවුරුදු හතරක කැම්පස් ජීවිතේට ආයුබෝවන් කියන හැමෝම රජයේ රැකියා හොයන්න මහන්සි වෙනකොට ඔහු කිසි හීනමානයක් නැතුව සැලුන් රස්සාව තෝරගන්නවා. කැලණිය, දළුගම තියෙන ‘සැලුන් යොමා’හි අයිතිකාරයා තමයි යොමාල්. ඉතින් අපිත් යොමාල්ගෙන් හැමෝම අහන ගතානුගතික ප්‍රශ්නෙම ඇහුවා. ඒ තමයි උපාධියක් අතේ තියාගෙන සැලුන් රස්සාව කරන්නෙ ඇයි කියලා. ඔහු නිහතමානීව පිළිතුරු දුන්නා. ඒක ටිකක් දිග උත්තරයක්. හැබැයි මේ කතාවෙන් ඔබේ ජීවිතේට එකතු කරගන්න ගොඩක් දේවල් තියේවි.

‘‘මං ඉපදුණේ කුරුණෑගල නිකවැරටියේ. ඒක ගොඩාක් දුෂ්කර පැත්තක්. හවස හයෙන් පස්සේ එළියට බහින්න බෑ අලි හින්දා. ඉතින් පණ බයේ තමයි ගොඩාක් දවස්වල රෑට නිදාගන්නේ. අපි ගෙදර හිටියේ අම්මයි, තාත්තයි, මමයි, නංගියි. ගොවිතැන තමයි ගෙදර ප්‍රධාන ජීවනෝපාය වෙලා තිබුණේ. ගොවිතැන කියන්නෙ ලේසි පහසු වෘත්තියක් නෙවෙයි. ඒක දන්නේ ගොවිතැන් කරන මිනිස්සු විතරයි. කොහොම හරි මං පුංචි කාලේ දුප්පත්කම නිසා ගොඩාක් දුෂ්කරතා වින්දා. තාත්තා එයාගේ බඩට නොකා හරි මගේ බඩගින්න මැකුවා. අතේ රුපියලක් නැති වුණත් මට ඒක දැනෙන්න දුන්නේ නෑ. ණයක් වෙලා හරි සල්ලි හොයාගෙන මට ඉගැන්වුවා.

පුංචි කාලෙ ඉඳලම මං දැක්කා මගේ අම්මා තාත්තා මං වෙනුවෙන් මහන්සි වෙන හැටි. ඒක නිසා මං හොඳට ඉගෙනගත්තා. එහෙමයි කියලා කොල්​ලො ඒ වයසේ කරන දඟ වැඩත් මම නොකර හිටියෙ නෑ. මං පුංචි කාලේ ගියේ ගමේ පාසලට. ඒ කියන්නේ ගිරිල්ල මධ්‍ය මහා විද්‍යාලයට. මං ශිෂ්‍යත්ව විභාගයත් හොඳට පාස් වුණා. ඒත් මං සාමාන්‍ය පෙළ ලිව්වෙත් ඒ පාසලේමයි. සාමාන්‍ය පෙළ විභාගයත් හොඳටම පාස් වුණා. ඊටපස්සෙ මං 2013 අවුරුද්දේ උසස් පෙළ කරන්න නිකවැරටිය මහසෙන් ජාතික පාසලට ආවා. උසස් පෙළ කළේ වාණිජ විෂය ධාරාවෙන්. අන්තිමේ A තුනක් අරගෙන විශ්වවිද්‍යාල වරම් ලබන්න පුළුවන් වුණා.

ඊටපස්සෙ මං කැලණිය කැම්පස් එකට ආවා. ඒක මගේ ජීවිතේ තිබුණු ලොකු හීනයක්. ප්‍රතිඵල පිටවුණු දවසේ මටත් වඩා සතුටුවුණේ මගේ අම්මයි තාත්තයි. හැබැයි කැම්පස් යන එකත් ලේසි වැඩක් වුණේ නෑ. මොකද අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 250ක් විතර තියෙනවා කැම්පස් එකට. හැබැයි ඉතින් ඒ වෙනකල් මං විඳලා තිබුණු දුෂ්කරතා එක්ක මට ඒක ලොකු දුරක් කියලා හිතුණේ නෑ. පළවෙනි අවුරුද්ද දන්නෙම නැතිව ගෙවිලා ගියා. ඒත් දෙවැනි අවුරුද්දට එනකොට මට හිතුණා මං යන ගමන ඒකාකාරියි කියලා. පස්සේ පොඩි රැකියාවක් කරන්න කල්පනා කළා. ඒත් කරන්නේ මොකක්ද කියලා අදහසක් තිබුණේ නෑ.

එහෙම ඉන්න අතරේ දවසක් මං කොණ්ඩේ ටිකක් අඩුකරගන්න කියලා හිතලා කඩවත තිබුණු සැලුන් එකකට ගියා. එදා ටිකක් සෙනඟත් හිටියා. ඒ නිසා මගේ වාරේ එනකල් මං සැලුන් එකේ කෙනා අනිත් අයගෙ කොණ්ඩෙ කපන දිහා හොඳට බලාගෙන හිටියා. බැලූ බැල්මට එතැන ලොකු දෙයක් තිබුඛේ නෑ. ඒ කාලේ හැටියට පැය කාලක් වගේ ඇතුළත කොණ්ඩයක් කපලා කිසිම මහන්සියක් නැතුව එකසිය පණහක් දෙසීයක් ගන්න පුළුවන්. ඉතින් මගේ වාරේ එනකොට මාත් මේ සැලුන් රස්සාව පටන්ගන්න ඕනේ කියලා මං හිතලා ඉවරයි. පස්සේ මගේ කොණ්ඩේ කපන ගමන් මං එතැන අයිතිකාරයගෙන් ඇහුවා මටත් පොඩ්ඩක් සැලුන් වැඩ කියලා දෙනවද කියලා. එයත් හා කිව්වා. සතියක් විතර මං සැලුන් එකට ගියාත් එයා කපන හැටි බලාගෙන ඉන්නවා මිසක් ඔලුවක් අල්ලන්නවත් දුන්නේ නෑ. පස්සේ මේ වැඩේ හරියන එකක් නෙවෙයි කියලා මං සැලුන් එකෙන් එළියට බැස්සා.

පස්සේ මං තීරණයක් ගත්තා. එදා මගේ අතේ යම් මුදලක් තිබුණා. ඒකෙන් මං කොණ්ඩේ කපන මැෂින් එකකුයි, පනාවකුයි, කතුරකුයි ගත්තා. එහෙම අරන් කෙළින්ම ගියේ හොස්ටල් එකට. යනකොට යාළුවෝ ටික සෙට්වෙලා බර කතාවක. මං ගිහින් කිව්වා ‘මචං මං කොණ්ඩේ කපනවා. ඕන එකෙක් ඉන්නවා නම් කපලා දෙන්න පුළුවන්’ කියලා. එහෙම කිව්වා විතරයි එතැන ඉඳපු අමිත් කියලා යාළුවෙක් කිව්වා කපලා දෙන්න කියලා. දෙයියනේ කියලා ඔන්න මං මුලින්ම කොණ්ඩයක් කැපුවා. දවස් දෙක තුනක් යද්දි හොස්ටල් එකේ යාළුවෝ මගෙන්ම කොණ්ඩේ කපන්න ගත්තා. මං සල්ලි ගත්තෙත් නෑ. එක දවසක් කොල්ලෙක් කොණ්ඩේ කපලා බලෙන්ම වගේ රුපියල් විස්සක් දීලා ගියා. ඒ තමයි කොණ්ඩයක් කපලා මුලින්ම ලැබුණු මුදල. ඒක මට අදටත් හොඳට මතකයි.

හොස්ටල් එකේ කොල්ලන්ගේ කොණ්ඩේ කපන වැඩේ අල්ලලා යද්දි මං හිතුවා කොහේ හරි පොඩියට සැලුන් එකක් පටන්ගන්න. එහෙම හිතාගෙන කැම්පස් එක හරියෙන්ම කඩ කෑල්ලක් හෙව්වා. වාසනාවට වගේ හිතට අල්ලන තැනක් හම්බුණා. එදා 2019 පෙබරවාරි 08 වෙනිදා. දෙයියනේ කියලා ඔන්න මං සැලුන් එකක් දැම්මා. ඒකට ‘සැලුන් යොමා’ කියලයි නම තිබ්බේ. ඔය අතරේම කැම්පස් එක ඇතුළෙත් මං ගෑනු ළමයින්ට සැලුන් එකක් පටන් ගත්තා. ගෑනු ළමයි කීපදෙනෙක් එක්කයි ඒ වැඩේ කළේ. ඒත් කොරෝනා ආවට පස්සේ ඒක වහන්න වුණා. ඒත් කැලණියේ එක දිගටම කරගෙන ආවා. බිස්නසුත් හොඳටම තිබුණා. ඒක නිසා මං හිතුවා ලොකුවටම සැලුන් එක කරන්න. එහෙම හිතලා 2020 අවුරුද්දේ ඒක ලොකු තැනකට ගත්තා. මේ වෙනකොට බිස්නස් ඉතාම හොඳයි. සාමාන්‍ය රැකියාවක් කරලා ගන්නවට වඩා ලොකු මුදලක් දැන් මං සැලුන් රස්සාවෙන් හොයනවා.

සැලුන් රස්සාව කරන අතරෙම මං උපාධියත් සාර්ථකව අවසන් කළා. දැන් මං වාණිජ හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක් තියෙන උපාධිදාරියෙක්. මෙච්චර ලොකු උපාධියක් තියාගෙන සැලුන් එකක් කරන්නේ ඇයි කියලා සමහරු අහනවා. තවත් අය උපාධිය අපරාදේ නේද කියලා අහනවා. උපාධිය වෙනුවෙන් කැපකරපු කාලේ අපරාදේ කියන අයත් ඉන්නවා. ඒත් මං ගත්ත තීරණය ගැන මට කිසිම පසුතැවීමක් නෑ. මොකද මං ගන්න තීරණ වෙනුවෙන් හැම මොහොතකම මං පෙනී ඉන්නවා. ඒ වගේම මං හිතනවා මගේ බිස්නස් එකට මගේ උපාධිය වැදගත් කියලා. සැලුන් එකක් කරනවා කියන්නේ පහත් වෘත්තියක් නෙවෙයි. ඒ ඉස්සර කතාවක්. දැන් සැලුන් එකක් කරලා හොඳට හම්බකරන්න පුළුවන්. රජයේ රැකියාවලට යන්න අවස්ථා ආවත් මට හැරෙන්න ආසාවක් නෑ.

මං එක දෙයක් කියන්න කැමතියි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු අවුලක් තියෙනවා. මං සැලුන් රස්සාවට එන්නත් ඒක යම්කිසි විදිහකට බලපෑවා. මොකද අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ තමන් කැමති දෙයක් කරන්න අවස්ථාවක් නෑ. උසස් පෙළට තියෙන්නේ ගණිත, විද්‍යා, වාණිජ සහ කලා විතරයි. උපාධියක් ගත්තත් සුළු වෘත්තීන් කොටසක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ලොකු අවුලක්. මෙහෙම අධ්‍යාපන ක්‍රමයක් උඩ කවදාවත් රටක් දියුණු වෙන්නේ නෑ. ඒක නිසා ඒ තත්ත්වය වෙනස් විය යුතුයි කියන තැන මං ඉන්නවා. ඒ වගේම මං රටේ තරුණ තරුණියන්ට දෙයක් කියන්න කැමතියි. අපිට උපාධි තියෙනවා අපිට ඕන මෙහෙම රැකියාවක් කිව්වට අපිට හිතන රැකියාව ලැබෙන්නෙ නෑ. ඒ නිසා හොඳම දේ තමන්ගේම දෙයක් පටන් ගන්න එක. ආරම්භය කොතැනින් ගත්තත් කමක් නෑ අවසානයයි වැදගත්. දැනට මගේ අරමුණ වෙන්නේ ‘සැලුන් යොමා’ ලංකාවේ ප්‍රමුඛතම සැලුන් නාමයක් කරන එක. මේ යන විදිහට මට ඒක කරන්න අමාරු නෑ.’’

රුවන් එස්.සෙනවිරත්න