විශේෂාංග

ඔය ඉඳුල් ටික දෙමළ පැටවු ටිකට කන්න දාපන්

උත්පලා කුමාරිහාමි කවදත් ආඩම්බරකාරියකි. ඔසරිපොට කරකවා ඉනේ ගහගත් ඈ මිදුලට බසින්නට ගිය ගමන නවතා ආපසු හැරී කුස්සියට එබී බැලුවාය.

ඈ බං සුමනෝ, කාට කන්නද ඔච්චර කිරිබත් හදන්නේ?” කුමාරිහාමිගේ දෑස් තිබුණේ නළලෙහිය.

අද පොල් කඩන දවස නිසා මං ටිකක් වැඩිපුර…”

පොල් කඩන එවුන්ට කිරිබත් ගිල්ලවන්න උඹට පිස්සුද? මේ ගමේ එකාලට කිරිබත් තමයි ගිල්ලවන්න තමයි වටින්නේ. වලත්ත හැත්ත. දෙනියෙ වත්තෙ ඇට්ටි ටික විතරයි. ඔක්කොම හොරාට කඩාගෙන යනවා. හාමු මහත්තයා හිටිය නම් මම ඕකුන්ට වෙඩි තියෝනවා. අසමජ්ජාති හැත්ත. තුහ්.”

සුමනා කරබාගෙන කිරිබත කපන්නට වූවාය.

ඕක අපිට දවාලට කන්න පුළුවන්. උදේට කාලා ඉතුරු ටික අරන් තියපන්.”

පොල් මුරේ කැඩීමට පැමිණියෝ මිදුලේ කෙළවරක සිටිනු ඕ මහේශාක්‍ය ලීලාවෙන් ඒ දෙසට ගියාය. පැමිණි පිරිසට පිළිගන්වන්නට සුමනා තේ හදමිනුයි සිටියේ. නැවත කුස්සියට පැමිණි කුමාරිහාමිද සුමනා අසලම සිටගත්තාය. කූඩයෙන් වසා තිබූ කිරිබත් බේසම දෙස බැලූ සුමනා කෝකටත් කියා  කුමාරිහාමිගේ මුහුණට එබුණි.

තේ ටික විතරක්  දීපං. හොර හැත්ත දැන් පොල් ටික දෙතුන් පලක හංගල ඇති.”

‘බහිරවයො මීට හොඳ ඇති…’ සුමනාට  සිතුණි.

රැගෙන ගිය තේ කෝප්ප ටික ඔසවාගෙන සුමනා නැවත පැමිණි අතර කිසිවෙකුත් තේ බී තිබුණේ නැත.

ඇයි තේ දුන්නෙ නැද්ද?”

තේ එපාලු. කුරුම්බා බිව්වා කියන්නෙ..”

ඔය මං කිව්වෙ නැද්ද තොට. ඕකුං තිරිසනුන්ටත් වඩා අන්තයි. කිරිබතුත් ගිල්ලවන්නයි ලෑස්තිය.”

ඔසරි පොට ඉන වටා ඔතාගත් කුමාරිහාමි සුමනාද තල්ලු කරගෙන කුස්සියෙන් එළියට පැන්නාය.

එළියේ එකම ගෝරනාඩුවකි. සුමනා තේ ටිකක් ගෙන තොල ගාන්නට වූවා ය. නොදැනීම ඈට නින්ද ගොසිනි.

සුමනෝ දවාලට උයන්නෙ නැද්ද බං?”

ඒ හඬට ඈ ගැස්සී ගොස් අවදි වූවාය.

උඹ ඔතන නිදිද? මං ඇහුවෙ දවාලට උයන්නෙ නැද්ද කියලා.”

ඇයි ලොකු හාමු කිව්වෙ දවාලට කිරිබත් කමු කියලා.”

මං එහෙම කිව්වට ඕවා දවාලට කන්න පුළුවන්ද බං? දැනටමත් පිළුණු වෙලාද කොහෙද…”

සුමනා දවාලට උයන්නට පටන්ගත්තාය. ඒ අතරතුර කුස්සියට පැමිණි කුමාරිහාමි සුමනාට කතා කළාය.

මේක මට පාරට ගිහින් දියං.

නිහඬවම බේසම ඔසවාගත් සුමනා කුමාරිහාමි පස්සේ වැටුණාය.

බලපං උඹ කරන අපරාද. ඔය කිරිබත් බේසම ඔතන තියලා උඹ පලයං. තව ටිකකින් දෙමළ පැටව් ඒවි.”

මේව පිළුණු වෙලානෙ…”

සුමනා කීවේ දරුවන් කෙරේ උපන් අනුකම්පාවෙනි.

අනේ උඹ උඹේ වැඩක් බලාගනිං මගෙ යකා අවුස්සන්නෙ නැතුව. අර කළු ගැහිච්ච කෙහෙල් ඇවරියත් ගෙනත් දීලා පලයං.”

සුමනාට කරන්න දෙයක් නැත. ඕ කියන කියන දේ කළා පමණය. උත්පලා කුමාරිහාමි දීග එන විට කාත් කවුරුවත් නැති සුමනාවද දෑවැද්දට ගෙනා දේ අතර විය. කලාතුරකින් ඇයට ආදර සැලකිලිද නොලැබුණාම නොවේ. නින්දාවේදීත්, ප්‍රශංසාවේදීත් සුමනාගේ සිත වැඩිමනක් පෙරලුණේ නැත.

වෙනසක් නැතිවම කාලය ගෙවිණි. උත්පලා කුමාරිහාමි මරු තුරුලට ගියාය. සුමනාට සිටි එකම ඥාතියාද අහිමි විය. ඕ කුමාරිහාමිගේ මිනී පෙට්ටිය ළඟට වී ඒ සොවින් හඬා වැටුණාය.

ඇගේ මළගම ගමට නම් මඟුලක් මෙනි. පුතා සුරේන් හාමු ගමටම කන්න දුන්නේ දන්සැලක් මෙනි. ගම්මු ආවේ කුමාරිහාමිට ගෞරව කරන්නට නොව කන්නටය.

හාමු බුදුවෙන්නෝන. අනේ අපිට හරි කරුණාවයි…” ගම්මු කියද්දී සුරේන් හාමුගේද සිත සතුටින් පිරුණි.

කරුණාවේ රඟ සුරේන් හාමුට තේරුනේ මිනිය අස්කළ දිනයට පසුදාය. වත්ත පුරාම ඉඳුල්ය. ඒ මදිවට වලව්වද ඉඳුල් ගඳින් පිරී ඇත.

හත් දවසේ දානයත් අවසන් විය. එත් කොතරම් පවිත්‍ර කළද ඉඳුල් ගඳේ නම් අඩුවක් නොවුණි.

සුමනා උයන්න තරමටවත් උනන්දු නොවූවාය. ඉව්වත් කන්නේද නැත.

තවත් දවසක් ගෙවිණි. දෙමහල් වලව්ව පුරාම ඉඳුල් ගඳ පැතිරෙන්නට විය. වඩාත් දැඩිව දැනුණේ සුමනාගේ කාමරය පිහිටි දෙසිනි. ඈ කාමරයේ නැති වේලාවක් බලා සුරේන් හාමු කාමරයට ඇතුල් විය.

සුමනා…”

සුරේන් හාමුගේ කටහඬ කවදාවත් නොවූ තරමින් වලව්වේ අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියේය.

මේ මොනවද..? මොකද මේ ඉඳුල් පුරවගෙන ඇඳ යට..?”

සුරේන්ගේ කෝපයෙන් පිරුණ දෑස් දරාගැනීමට අසමත් වූ සුමනා බිම බලාගත්තාය.

කතා කරපං. මොන මඟුලකටද මේ ඉඳුල් පුරවගන්නෙ? මුළු වලව්වම ගඳ ගහනවා.”

මං දන්නෙ නෑ…”

සුමනා කීවේ බිම බලාගෙනය.

අම්මා කෙනෙක් වගේ මාව හදපු නිසා නෙවෙයි නම් මං අදම සුමනාව ගෙදරින් යවනවා. දැන් දෙන්නම මේ කාමරේ අස්කරලා හොඳට නාල කරලා අම්මගෙ ඇඳුම් අරගෙන හොඳට ඇඳලා කරලා මගෙ ඉස්සරහට එන්න ඕන.”

හාමුගෙ ඇඳුම් මට එපා.”

ඈ ජීවිතේ පළමුවට අකීකරු වචනයක් කීවාය.

නෑ උඹ අඳින්නම ඕන. නැත්නම් යවනවා වලව්වෙනුත්…”

කාමරයෙන් පිටවුණ සුරේන් කෙළින්ම ගියේ මවගේ කාමරයටය. සුමනාට ඇඳුම් තෝරා දීමේ අදහසක් ඔහුට විය.

කාමරයේ දොර හරිද්දීම සුරේන්ගේ නාස් පුඩු හැකිළී ගියේය. මවගේ කාමරය සුමනාගේ කාමරයටත් වඩා ඉඳුල් ගඳය.

සුරේන්ගේ විමසුම් දෑස් කාමරයේ හැම අඟලක් පුරාම පැතිරුණි. එහෙත් ඉඳුල් කිසිවක් නැත. ඉවසිය නොහැකි ගඳක් ඇත.

පියදාස…”

සුරේන් හාමු උමතුවෙන් මෙන් කෑ ගැසුවේය. පියදාස කාමරයට ඇතුල්ව හිස බදාගෙන සිටින සුරේන් හාමුව දැක බියපත් විය.

චුටි හාමු මොකද මේ..?”

මට මොකුත් නෑ. ඒත් බලපං මේකෙ ඉඳුල් ගඳ…”

දින දෙක තුනක සිට පියදාසගේ සිතේ ඇති වූ සැකය තහවුරු විය. ඔහු සුරේන් හාමුට කාරණය සැල කළේ බියෙනි. සුරේන් හාමුටද පියදාසගේ කතාවට විරුද්ධ වීමේ හැකියාවක් නොවිණ.

මං දන්න මිනිහෙක් ඉන්නවා. මිනිහා දක්ෂයා. ගිහින් බලමු. ඌ මොනව හරි කරලා මේකෙ අගක් මුලක් හොයලා දෙයි.”

කට්ටඬියාට කරන්න දෙයක් ඉතිරි නොවිණි. ඔහු වලව්වට පය තබත්ම සුමනා හූ කියාගෙන ඔහුගේ ගමන වළක්වන්නට ඉදිරියට ආවාය. හූ හඬත් සමඟම මුළු වලව්වම ඉඳුල් ගඳින් පිරී ගියේ මොහොතකිනි.

තෝ පල තෝ පලඅඩියක් තියන්නෑ වලව්වට. මම උත්පලා කුමාරිහාමි…”

කට්ටඩියා බිය නොවීය. සුරේන් හාමුත්, පියදාසත් පුදුමයට පත්වූහ.

කුමාරිහාමිද? ආ ඒකට කමක් නැහැ. මොකද මේ තරම් ගඳ..?”

කට්ටඬියාගේ පැනයට සුරේන් හාමුගේ සිත රිදිණ. නමුත් කරන්නට දෙයක් නැත.

මං දුන්න විදියට මට ලැබුණා. උඹට ඒකෙන් වැඩක් නැහැ. තෝ පලයං. දැන්ම පලයං…”

සුමනා උත්පලා කුමාරිහාමි වාඩිවෙන පුටුවේ හරිබරි ගැසී ඉඳගත්තාය.

කට්ටඬිරාල කොතෙක් කරුණු කීවද මව් ප්‍රේතියව බැඳ මුහුදේ දැමීමට සුරේන් එකඟ නොවීය. වලව්ව පියදාසට කැමති දෙයක් කරගන්නට පැවරූ සුරේන් සුමනාව වැඩිහිටි නිවාසයකට භාර දී විදෙස්ගත විය.

වලව්ව දිනෙන් දින ගරා වැටේ. ඉඳුල් ගඳ පෙර සේය. මරණින් පසුව පියදාසත් වලව්වේම පදිංචිව සිටිනු ගැමියන් කිහිප දෙනෙකුම දැක තිබුණි.

සංසාරික සත්වයා කර්මය තමාගේ දෙය කරගෙන සිටී. තම ඥාතියා කරගෙන සිටී. තම පිළිසරණ කරගෙන සිටී. එනයින්, තමන් කරන්නා වූ යහපත් වේවා, අයහපත් වේවා කර්මය පසුපස එන්නේය.

 

සුරේෂ් විදානගමගේ