විශේෂාංග

ක්‍රීඩා අනතුරුවලදී ප්‍රවේසම් විය යුත්තේ ඇයි?

ක්‍රීඩාවේදී අනතුරු සිදුවිය හැකි ක්‍රම දෙකකි. පළමුවැන්න පුහුණුවීම් අතරතුර සිදුවන අනතුරුය. දෙවැන්න තර අවස්ථාවේ සිදුවන අනතුරුය. එම අනතුරු ස්වභාවය ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට වෙනස්වන අතර, ඉන් බොහොමයක් අනතුරු වළක්වා ගත හැකි මට්ටමේ ඒවායි.

විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කවින්ද රාජපක්ෂ මහතා මෙවර පැහැදිලි කරන්නේ ඒ පිළිබඳව ඔබට වැදගත් වන්නා වූ කරුණු කිහිපයකි.

ක්‍රීඩාවක් අතුරතුර සිදුවන අනතුරකට බලපාන කාරණා මොනවද?

ක්‍රීඩාව කියන්නෙ තරඟකාරී දෙයක්. ජාතික වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් මේ කවර ආකාරයේ නියෝජනයක් වුවත් ඊට කැපවීමක්, මහන්සියක් දරන්න ක්‍රීඩකයෙකුට සිදුවෙනවා. පුහුණුවක් නොමැතිව තරඟයට මුහුණ දෙන්න ගියොත්, එහෙම නැත්නම් කෙටි කාලයක් තුළ දරාගත නොහැකි තරමට පුහුණුවීම් කළොත් එහිදීත් සිදුවන අනතුරු තියෙනවා.

ඒ වගේම ක්‍රීඩා කරද්දී කණ්ඩායම් තරඟවලදී නිතර ගැටෙන, වැටෙන අවස්ථා තිබෙනවා. රගර්, ෆුට්බෝල් වගේ ක්‍රීඩා ඊට උදාහරණ වශයෙන් පෙන්වාදිය හැකියි. ක්‍රිකට් ක්‍රීඩකයින් පන්දුව සිරුරේ වැදීම නිසා හෝ වැටීම නිසා විවිධ අනතුරුවලට ලක්වෙනවා. ධාවන තරඟ, උස, දුර පැනීම වැනි ඉසව්වලදීත් කකුලේ මාංශ පේශි, තන්තු ඇදීමකට හෝ අස්ථි බිඳීයාමකට ලක්විය හැකියි. බොක්සිං ක්‍රීඩාවේදී මුහුණට වෙන අනතුරුද මේ අතරට ගත හැකිය. ඒ ඒ ක්‍රීඩාවට ආවේණිකව ලබන පුහුණුවේ විධිමත්භාවය මත බොහෝ අනතුරු අවස්ථා අවම කරගැනීමට හැකියාව තිබෙනවා.

 

මෙහිදී විධිමත් පුහුණුව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

සෑම ක්‍රීඩාවකටම ඊට ආවේණික රටාවක් වගේම පුහුණු ක්‍රියාවලියක් තිබෙනවා. එය විද්‍යාත්මක ක්‍රමවේදයක් කියනෙක නිවැරදියි. පන්දුව අල්ලන හැටි, යොමුකරන හැටි ඒ පුහුණුවට අයත්. ගෝල්ෆ් ක්‍රීඩාවේදී වුණත් පිත්ත අල්ලන විදිහක් තිබෙනවා. ඒ ඉරියව්ව නිවැරදි නැත්නම් පටකවලට වන හානිය වළක්වා ගන්න නොහැකි වෙනවා. ක්‍රිකට් වැනි ක්‍රීඩාවලදී අපි දකිනවා පන්දුව රකිද්දී බිම වැටෙනවා. එතැනදී පන්දුව රැක ගනිමින්, අනතුර වළක්වගමින් වැටෙන හැටි එම පුහුණුවේදී කියා දෙනවා. ධාවන තරඟයකදී වුවත් ඒ නිවැරදි ඉරියව්වෙන් දුවන්න ඕන. එකවර ඉරියව් මාරු කිරීම, වෙනස් කිරීම සුදුසු නෑ. බැඩ්මින්ටන් වගේ ක්‍රීඩාවක් කරද්දී ඊට නිවැරදි ආනතියක් තිබෙනවා. එය ගිලිහී ගියහොත් පටකවලට හානිවෙනවා වගේම, ක්‍රීඩා පාවහන්, හෙල්මට් ඇතුළු ආරක්ෂක උපාංග නිසි ප්‍රමිතියෙන් යුතු ඒවා වීමද මෙහිදී වැදගත් වෙනවා. මුහුණ ආවරණය (හෙල්මට් එක) තිබෙන්නේ පන්දුව වැදුනොත් මුහුණට වන හානිය වළක්වා ගන්නයි. එහිදී පන්දුවෙන් මුහුණට හානි වෙනවානම් එම මුහුණු ආවරණය නිසි ප්‍රමිතියෙන් යුතු වූවක් නෙමෙයි.

 

ක්‍රීඩාවකදී සිදුවිය හැකි අනතුරුවලදී සිදුවන හානියේ බරපතළකම හඳුනාගන්නේ කොහොමද?

මෙහිදී සිදුවන හානිය දෙයාකාර වනවා. එය නිවැරදිව තෝරා බේරාගත යුතුයි. එකක් තමයි මෘදු පටකවලට සිදුවන හානිය. එහිදී සම තුවාලවීම, සීරීම හෝ තැලීම, මාංශ පේෂි කැපීමක්, ඉරීමක් හෝ ඇදීමක් සිදුවිය හැකියි. ඒ වගේම තන්තු ඇදිලා, ඉරිලා ලේ නහර පුපුරණ අවස්ථා තිබෙනවා.

ඊළඟ කාරණය තමයි දෘඪ පටකවලට සිදුවන හානිය. එහිදී අස්ථි බි‍දෙනවා වගේම පිපිරීම්, කුඩුවීම් වුවද සිදුවිය හැකියි. අත්, කකුල් දෙකට කැඩෙන අවස්ථා තිබෙනවා. ඇඟිල්ලක, අතක, කකුලක වගේම කොඳුඇට පෙළට වුවත් මෙහිදී හානිවීමට ඉඩකඩ තිබෙනවා. එවිට ක්‍රීඩකයාට සදාකල්ම ක්‍රීඩාවෙන් ඉවත්වන්නට සිදුවන අවස්ථාද තිබෙනවා. තුවාලය සිදුවන ස්ථානය අනුව තමයි හානිය තීරණය වන්නේ. මේ තත්ත්වයත් ඉතා ඉක්මනින් නිරීක්ෂණය කොට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම වැදගත් වෙනවා.

උදාහරණයක් විදිහට ලෙදර් බෝලයක් වැදිලා ඇඟිල්ලක (මෘදු පටකයක) තැල්මක් වගේ නම් තියෙන්නේ වේදනානාශක ලබාදීලා අයිස් තිබ්බම එය යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන්. ඒත් බැලූ බැල්මට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් වෙලා නම්, ඇඟිල්ල අඳින එක, බාම් වර්ග ගාන එක සුදුසු නෑ. වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. අස්ථි බිඳීමක් නම් අඩුම තරමින් සති හයක කාලයක්වත් ඔහුට හෝ ඇයට ක්‍රීඩාවෙන් ඉවත්ව විවේකීව සිටීමට සිදුවෙනවා.

 

හිසේ පන්දුවක් වැදිලා තුවාල වුණොත් කළ යුතු දේවල්, නොකළ යුතු දේවල් වෙන්කර ගන්නේ කොහොමද?

ක්‍රීඩාවක් අතරතුර මෙවැනි හානියක් වුණොත්, අනතුරේ ස්වභාවය ගැන එකවරම ලැබෙන්නේ දළ අවබෝධයක් විතරයි. එහිදී බෝලය හිසේ වැදෙන වේගය අනුව, සම මතුපිට වගේම හිස්කබල පුපුරලා, මොළයට රුධිරය ගලායාමට වුවද හැකියි. එවැනි ආකාරයේ හානියක් පේනවනම් ලේ වහනය වන ස්ථානය පිරිසිදු රෙදි කඩකින් වසා දමා අයිස් තැබීම කළ හැකියි. තැල්මක් වුණත් කළ යුත්තේ එයයි. කිසිම අවස්ථාවක ඊට රස්නේ වතුර භාවිතා නොකළ යුතුයි. රස්නේ වතුරට රුධිරය ගලායාම තවත් වේගවත් වෙනවා. තැල්මක් වුණත් උණුසුම් ජලය සුදුසු නැහැ. ඒ වගේම වඩාත් සුරක්ෂිත ආකාරයට, ආධාරක බෝඩ් එකක තබා ක්‍රීඩකයා රෝහලට ගෙනයාම මෙහිදී වැදගත් වෙනවා.

ඒ වගේම ක්‍රීඩාව අතුරතුර හෙල්ලක්, ඊතලයක් වගේ දෙයක් සිරුරේ ඇනී අනතුරකට ලක්වුවහොත් එය ඉවත් නොකර රෝගියා ඒ අයුරින්ම රෝහලට ගෙනයාම වැදගත්. ඊට හේතුව තමයි, ඒක ඇදලා ගලවන්න ගියොත් හානි වූ පටකවලට නැවත හානිවී තිබුණාට වඩා බරපතළ තත්ත්වයක් ඇතිවීමට ඉන් ඉඩ තිබෙනවා. ඒ වගේම බොක්සිං ක්‍රීඩාවෙදි බොහෝවිට නාසයට හානිවෙනවා. එවැනි අයෙකුගේ නාසය ප්ලාස්ටික් සැත්කමකින් හදන්නේ ඔහු ක්‍රීඩාවෙන් සමුගත් විටයි. නැත්නම් නැවත නැවත නාසය සැකසීමේ අවධානම තිබෙනවා.

 

අතක, කකුලක දෘඪ පටකයකට හානි වුවත් ඒ සැලකිල්ලම අවශ්‍යයි නේද?

ඔව්. කකුලේ හෝ අතක අස්ථියකට හානිවෙලා නම් දෘඪ පතුරක් තියලා වෙලුමක් යෙදීම වැදගත්. ඒ වගේම අත පපුවට වඩා ඉහළ මට්ටමකින් ඔසවා තබාගෙන රෝහලට අදාළ පුද්ගලයා ගෙන ආ යුතුයි. වේදනානාශකයක් මුල් අවස්ථාවේ ලබා දුන්නත් එහිදී සිදුව ඇති හානිය නිවැරදිව නිරීක්ෂණය කරගැනීමට CT ස්කෑන් ඇතුළු අවශය පරීක්ෂණ සිදුකිරීම අවශ්‍යයි. ඇතැම්විට එහි බරපතළකම අනුව හදිසි සැත්කම්වලට අදාළ පුද්ගලයා යොමුකළ යුතු වෙනවා.

 

මෙවැනි අනතුරකදී ළඟ සිටින්නන් නොකළ යුතු දේවල් මොනවද?

උදාහරණයකින් මම පැහැදිලි කරන්නම්. ඉකුත් කාලයේ ජාත්‍යන්තර තලයට ගිය අපේ රටේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වරක් මගේ සායනයට යොමුවුණා. ඔහු පන්දුවට පහර දෙමින් සිටියදී (අත් ආවරණ පැළඳ) පන්දුව වැදී මාපටඇඟිල්ලට හානි සිදුවුණා. ඔහුට දැනී තිබුණා ඇඟිල්ලේ අස්ථි පුපුරා ගිය බව. ඒත් භෞත චිකිත්සකවරයා හිතුවේ ඇඟිල්ලේ හන්දිය පැනලා කියලයි. එහෙම හිතලා ඔහු ඇඟිල්ල අදින්න හදද්දී ක්‍රීඩකයා ඊට ඉඩදී නැහැ. එවැනි අවස්ථාවක ප්ලේට් එකක් දාලා ඇඟිල්ල සෑදිය හැකියි. ඔහු නිවැරදිව ඒ සඳහා යොමුවුණා. එසේ නොවුණානම් පන්දුව වැදී වූ අනතුරට අමතරව භෞත චිකිත්සකවරයා ඇඟිල්ල ඇද්දනම් ඊට වඩා හානි වෙන්න තිබුණා. එය වළක්වා ගන්න ක්‍රීඩකයා සතුව තිබූ දැනුම ඉවහල් වුණා. ක්‍රීඩාවේදී ක්‍රීඩකයින්ට ලබාදෙන එවැනි දැනුම ඉතාම වැදගත් වෙනවා එවැනි අනතුරු වළක්වා ගන්න.

ඒ වගේම මෙවැනි අනතුරකදී බිඳුණු, තැලුණු ස්ථාන පිරිමැදීම නොකළ යුතුයි. උණුවතුරවලින් සේදීම, තැවීම වගේම බාම් වර්ග ආලේපනය සුදුසු නැහැ. සමහරු පාරම්පරික වෙදකම් කරනවා. ඒත් අතක ඇඟිල්ලක් ඉදිමී ඇත්නම්, එහි පටක බිඳී ඇති බවට අනුමාන කළ හැකියි. නිසි වෙලාවට ප්‍රතිකාර නොකළොත්, ඇඟිලි ඇදවී, පසුවට සුවකර ගැනීමට වැඩි වෙහෙසක් දරන්න සිදුවෙනවා.

බෙල්ලට, කොඳුඇට පෙළට හානි වූ අවස්ථාවක, ක්‍රීඩකයා වකුටු කරලා ත්‍රීරෝද රථවල රෝහලට රැගෙන ඒම හානිකරයි. නිසිපරිදි ආධාරකයක් මත තබලා ඔහුව රෝහලට ගෙනාවොත් අනතුරින් පසුව සිදුවිය හැකි අනතුරු රැසක් වළක්වා ගැනීමට හැකියාව තිබෙනවා.

දීපා වසන්ති එදිරිසිංහ