විශේෂාංග

පිටින් සිල් ඇතුළෙන් හිල්

මොන දුෂ්ට මිනිහෙක්ද ඒ?” මම ඇහුවේ තරහින්.

කාල්ම් ඩවුන්. අපි දන්නවනේ එයාගේ හැටි. මගේ මිතුරිය මට තට්ටුවක් දැම්මා.

ඌ කවුද මට එහෙම කියන්න. ඕනෙවට වඩා මේකප් දාන්නේ කැත වහගන්න කියලා? අත් නැති ඇඳුම් අඳින්නේ අවධානෙ ගන්න කියලා? මගේ මනුස්සයවත් මට ඔහොම කතා කියලා නැහැ. මම කෝපයෙන් පිපුරුණෙමි.

මට තේරෙනවා ඔයාගේ තරහ.” මගේ මිතුරිය මා සනසන්නට උත්සාහ කරන්නීය.

ඒකටත් දැක්කද අර ඇටකිච්චියොයි, ඇටකිච්චොයි එකතුවෙලා හිනාවෙච්ච හැටි. මට ඒකට තවත් තරහයි. මම ඇටකිච්චන් සහ ඇටකිච්චියන් ලෙස කීවේ අපගේ කාර්යාලයට අලුතින් පැමිණි සේවක සේවිකාවන් ගැනය.

ඔවුන් පාසල් අධ්‍යාපනය නිම කළ විගස සේවයට බැඳුනු අඩු වයසේ පිරිසකි.

මා මෙතරම් බැණවදින මට හිත රිදෙන කතා කී වසන්ත ඔවුන්ව කුමක්ද මායාවකට හසු කරගෙන සිටී. ඔවුන් වසන්තව අදහන්නේ දේවත්වයෙනි. මටනම් එදා සිටම වසන්ත පෙන්වන්නට බැරි ඔහුගේ මේ කට කැඩුණු කතා නිසාය. ඔහු කාගේ හෝ ඕපාදූපයක් සොයාගෙන ඔවුන්ව විහිලුවට ලක් කරයි.

අර අලුතින් පැමිණි පිරිස අතරේ සිටි එක තරුණයෙකු රැකියාවෙන් අයින් වූයේද වසන්තගේ පරිභව නිසාය.

වසන්ත ඔහුට පරිභව කළේ ඔහු කාර්යාලයට හරක් මස් ගෙන ආ නිසාය.

කිරි දෙන අම්මගේ මස් කන්න පුළුවන් කියන්නේ හිතාගන්න පුළුවන් නරුමකම. වසන්ත මුහුණටම කී අතර සෙස්සොද එය අනුමත කළා සේ නිහඬව සිටියෝය.

අසරණ කොල්ලාගේ මුහුණ රතු විණි.

ඒ ළමයා කන්නේ ඒ ළමයට ඕන දේවල්. ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ වසන්ත?” එදා මා ඇසුවේ තරහෙනි.

ප්‍රශ්නෙද? මිනිස්සුන්ටයි ප්‍රේතයන්ටයි එකට ඉන්න බැරි එක. මස් කන උන්ගේ බඩ ඇතුළ සොහොනක්. මිනී කුණු තියෙන සොහොන් පිට්ටනියක්. අපේ වගේ නෙවේ, හරක් මස් කන උන්ගෙ ඇගෙන් එන්නේත් මළකුණු ගඳ. ඔහු කීවේ ද්වේශයෙනි.

අර තරුණයා ඊළඟ දවසේ සිට රැකියාවට ආවේ නැත.

මෙවන් සිදුවීම් අපගේ කාර්යාලයේ සුලභය. නමුත් වසන්තට බනින පිරිස වෙනුවට සිටින්නේ ගුණ වයන පිරිසය.

මොනවා වුණත් වසන්ත සර් කියන්නේ ඇත්ත.

වසන්ත අයියා කාටත් කියන දේ මුහුණට කියනවා. එහෙම තමයි ඉන්න ඕනේ.

වසන්ත කියන්නේ කෙළින් කතා කරන ගුණවත් මිනිහෙක්. සිගරට් අරක්කු කටේ තියන්නේ නැහැ. තමන්ගේ ප්‍රතිපත්ති රකිනවා. මැරුණත් ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැති මිනිහෙක්.

වසන්තගේ මායාවට හසු වූ, අලුතින් රැකියාවට පැමිණි අය අතර සිටි යුවතියක් කාලයත් සමඟ ඔහුට ආදරය ප්‍රකාශ කර තිබුණාය.

මම ගෙවන්නේ බ්‍රහ්මචාරී ජිවිතයක්. මගේ සිල්වත්කම කඩන්න හදනවා. ඔහු ඒ යුවතියට බැන වැදුනේ අපි ඉදිරියේය.

එදා නම් මට තවත් ඉවසන්නට බැරි විණි.

තමන්ට ආදරේ කරන ගෑනියෙක්ව ප්‍රතික්ෂේප කරන්න මීට වඩා වැදගත් ක්‍රම තියෙනවා. ඔය පෙන්නුවේ ඔයාගේ නොවැදගත්කම.

මම කීවෙමි.

අනේ මේ කොටට පේන්න ඇඳන් එන ඔයා වගේ ගෑනුන්ගෙන් මීට වඩා උත්තරයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔහු අදාළම නැති දෙයක් පවසන්නට ඇත්තේ මා ලැජ්ජා වී, පරාජය භාරගෙන කට වසාගනු ඇතැයි අපේක්ෂාවෙනි. නමුත් මම කටපුරා සිනාසුණෙමි.

හිතේ තියෙන ආශාවල් යටපත් කරගෙන, අමුතු චරිතයක් නඩත්තු කරන්න ඕනෙවට, සතුට කියන දේ අත ඇරපු ඔයාගෙනුත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ වසන්ත.මා බොහොම සන්සුන්ව කියද්දී වසන්ත මා දෙස බැලුවේ පුදුමයෙනි.

ඔයාට ඕනේ අනිත් මිනිස්සුන්ගේ ගෞරවය. ඒ වෙනුවෙන් ඔයා සාමාන්‍ය මනුෂ්‍යයෙක් විඳින සතුටු දේවල් මඟ හරිනවා. හැබැයි ඔයාගේ හිත අස්සේ තියෙන්නේ වේදනාවක්. ඒ නිසා ඔයා සතුටින් ඉන්න මිනිස්සුන්ට වෛර කරනවා. ඔයා මොන වෙස්මුහුණ දාගෙන හිටියත් ඔයාගේ ඇතුළේ තියෙන ඇත්ත අපිට පේනවා. මේ අලුතින් ඔෆිස් එකට ආපු ළමයින්ට නම් තාම ඕවා තේරෙන්නේ නැහැ. හැබැයි ජිවිතයේ යම් දුරක් ආපු අපිට ඔයාගෙ ඇතුළේ ඉන්න සතාව පේනවා වසන්ත.

මොනවද තමුන් ඔය වසන්ත මගෙන් ඇසුවේ වචන පටලමිනි.

ඔව්. ජිවිතේ තේරුම් අරන් ප්‍රතිපත්ති රකින මිනිස්සු බොහොම සන්සුන්. අනිත් අය කරන දේවල්, අනිත් අයගේ සතුට දැක්කම ඒ මිනිස්සුන්ගේ ඇස්වල කටු ඇනෙන්නේ නැහැ. අනිත් අය කරන දේවල් දැකලා ඔයා ඔහොම ක්‍රෝධයෙන් දඟලන්නේ ඔයාට ඒ සතුට අහිමි නිසා. හැබැයි හොඳට හිතුවොත් ඔයාටම තේරෙයි ඒ සතුට ඔයා අහිමි කරගෙන තියෙන්නේ ඔයා විසින්මයි කියලා. ප්‍රතිරූප නඩත්තු කරන්න මහන්සි නොවී මේ ඉන්න ටිකේ තමන් කැමති දේවල් කරලා සතුටින් ඉන්න පටන්ගත්තා නම් ඔයත් සතුටින්. ඔයාගේ වටේ ඉන්න අනිත් අයත් සතුටින්. මගේ මිතුරියද කීවාය.

මෙතෙක්කල් වසන්තගේ පැත්ත ගෙන සිටි අලුත් සේවක සේවිකාවන්ද එය අනුමත කරන්නට පටන්ගත්තෝය. තමන්ගේ එකියකට වසන්ත පිරිස ඉදිරියේ කළ අපහාසය වැරදි බව ඔවුන්ටද වැටහෙන්නට ඇත. වසන්ත හිස නවාගෙන අප මඟහැර ගියේය.

සමාධි ඩයස්