විශේෂාංග

හොඳටම කළේ කොවිඩ් හැදිලා හංගපු අය

දීපා නතාලිට දුරකතන ඇමතුමක් ගත්තේ සැප දුක අහන්න. නතාලි ඊට කලින් දවසේ තමන්ට උණ හැදීගෙන එන විත්තිය දීපාට කියලයි තිබ්බේ.

‘‘දැන් කොහොමද නතාලි? බේත් ටිකක් ගත්තාද?’’ දීපා ඇහුවා.

‘‘උගුරත් රිදෙනවා. අද උදේ තේ එක බිව්වා රස දැනුණෙත් අඩුවෙන්. හැබැයි වැඩි අමාරුවක් නම් නැහැ. ඒ නිසා බේත් ගත්තෙත් නැහැ. හැබැයි ඉතින් මේ ලක්ෂණ දිහා බලලා සමන් නම් කියන්නේ ඔමික්‍රෝන්ද දන්නෙත් නැහැ කියලා. ඒ ලක්ෂණ තමයි පේන්න තියෙන්නේ.’’ නතාලි කියද්දී දීපා කලබල වුණා.

‘‘දෙවියනේ, දැන් මොකද කරන්නේ?’’

‘‘එච්චර අමාරුවක් නෑ අනේ. අපි බේත් විදගත්තනේ. ඒ නිසා වෙන්න ඇති අමාරුවක් නැහැ. ඇඟට දැනෙන්නේ පොඩි වෛරස් උණක් වගේ.’’ නතාලි කිව්වේ සැහැල්ලුවෙන්.

මීට දවස් කීපයකට කලින් තමන් නතාලිව මුණගැහුණ හැටි මතක් වෙද්දී දීපාට පොඩි බයකුත් නොදැනුණා නෙවෙයි. ඒ නිසා හරියටම අසනීපය මොකද්ද කියලා දැනගෙන ඒකට අවශ්‍ය පිළියම් යොදා ගන්න තමයි දීපාට නම් ඕනෙ වුණේ.

‘‘නතාලිලාට ඇත්තටම ඔමික්‍රෝන් නම්?’’

ඉක්මණටම ගෙදර ඉඳන් නිරෝධායනය වෙන්න ඕනෙ. කාර්යාලයට දැනුම් දෙන්න ඕනෙ තමන් ආශ්‍රිතයෙක් කියලා. සති දෙකකට විතර ඕනෙ කරන බඩු ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න ඕනේ. මහගෙදර ඉන්න අම්මට සති දෙක ඉවර වෙනකම් මෙහෙ එන්න එපා කියන්නත් ඕනෙ. අම්මයි තාත්තයි දෙන්නම වයස නිසා හැමදේටම කලින් ඒ දෙන්නව පරිස්සම් කරන්න ඕනෙනේ.

දීපාගේ හිතේ, ඒ විනාඩි කීපය ඇතුළේ මහා සැලසුම් ගොඩක් මැවෙන්න පටන් අරන් තිබුණා.

‘‘කෝකටත් ටෙස්ට් එකක් කරගෙන බලමුද?’’ දීපා ආයෙමත් ඇහුවා.

‘‘අපෝ බෑ අනේ. ඕකෙන් ලෙඩේ මොකද්ද කියලා ස්ථීර වුණොත් කොහෙවත් යන්නවත් වෙන්නේ නැහැ සති දෙක තුනකට.’’ නතාලි කිව්වේ සැහැල්ලුවෙන්.

‘‘අනේ ඉතින් එහෙම කොහෙවත් නොයා ඉන්න එකනේ කරන්න ඕනෙ.’’ දීපාට කියවුණා.

‘‘පිස්සුද අනේ? මේ පොඩි උණකට ගෙදර කොටු වෙලා ඉන්න පුළුවන්ද? අපේ සමන් මේ දැනුත් ගියා මස් ටිකක් අරන් එන්න කියලා ටවුන් එකට. හෙට අපේ සමන්ගේ උපන්දිනේනේ. ඉතින් පොඩ්ඩක් සමරන්නත් එපැයි. ඒ නිසා මාත් අද හවස ටවුන් යන්න ඉන්නේ සමන්ට හෙට කපන්න කේක් එකක් ගේන්න. අනිත් එක අපි හෙට ඩිනර් එක ගන්න ඕලු එකට යන්න ඉන්නේ. ලෙඩේ ස්ථීර වුණොත් ප්ලෑන්ස් ඔක්කොම අවුල් යනවා.’’ නතාලි කියද්දි දීපාට පුදුමත් හිතුණා.

‘‘ඉතින් ඔයාලට පුළුවන්නේ ඕවා ගෙදරට ඕඩර් කරගන්න. බර්ත් ඩේ එක ගෙදරම සමරන්න පුළුවන්නේ.’’ දීපා කිව්වේ නොරිස්සුම හිතේ හංගගෙන.

‘‘ඒ මොකටද අනේ? ඩිනර් එක ගෙදරට ගෙන්න ගන්න එක, හොටෙල් එකට වෙලා ඒ ලස්සන විඳ විඳ ගන්න තරම් ගතියක් නෑනේ.’’ නතාලි පුදුමාකාර සැහැල්ලුවකින් කියද්දි නම් දීපාට ඇත්තටම තරහක් දැනුණා.

‘‘ඔයාලා හරි පුදුම මිනිස්සුනේ නතාලි. ඔයාලට ඇත්තටම ඔමික්‍රෝන් නම්? ඔයාලාට වැඩි අමාරුවක් නැති බව ඇත්ත. ඒත් ඔයාලා ඔහොම තැන තැන ඇවිදිද්දි ප්‍රතිශක්තිකරණය අඩු මිනිස්සුන්ට ඔයාලගෙන් බෝ වෙන්න පුළුවන්නේ. ටවුන් එකට මේ වෙද්දි වයසක අම්මලා තාත්තලා, දරුවෝ හම්බෙන්න ඉන්න අම්මලා කී දෙනෙක් නම් ඇවිත් ඇතිද? හෙට හොටෙල් එකට පොඩි දරුවෝ එක්ක කී දෙනෙක් ඇවිත් ඉඳියිද? මිනිස්සු මෙහෙම වගකීම් විරහිතව හැසිරෙද්දි මේ ලෙඩේ කවදාවත් ඉවර වෙයිද ඉතින්?’’ දීපා කිව්වේ ආවේගයෙන්.

සමාධි ඩයස්