විශේෂාංග

දික්කසාද ගෑනියෙක්ව කරේ එල්ලගන්නද රත්තරන් ටිකට උඹව හැදුවෙ?

‘‘මොකද්ද පුතා ඔය කරන්න යන ලැජ්ජ නැති වැඩේ?’’ රමිඳුගේ අම්මා ඇහුවේ හොඳටම තරහින්.

‘‘අනේද කියන්නේ අම්මා. ඔය කියන කෙල්ලගේ ලස්සනට රැවටිලා මෙයා. මාත් බැලූ බැල්මට හිතුවේ අහිංසක කෙල්ලෙක් කියලා. බලාගෙන යද්දි වතාවක් දික්කසාද වුණු නල්ලමලේ භාණ්ඩයක්නේ.’’ රමිඳුගේ අක්කා වදන් හැසිරුවේ බොහොම අසංවර විදිහට.

‘‘මොකද්ද අම්මා ඔයාලා මේ කතා කරන කැත. ඔයාලත් ගෑනු වෙලා කොහොමද තව කෙල්ලෙක්ට ඔහොම කැත විදිහට කතා කරන්නේ?’’ රමිඳු ඇහුවා.

‘‘කෙල්ලෙක්? ඒකි කෙල්ලෙක් වුණා නම් අපි ඔහොම කියන්නේ නැහැ. උඹව රත්තරන් ටිකට හැදුවේ ඔහොම දික්කසාද ගෑනියෙක්ට දෙන්න නෙවේ.’’ අම්මා කිව්වේ තවත් තරහින්.

සම්බන්ධයට යන්තම් හරි බුරුලක් පෙන්නුවේ රමිඳුගේ තාත්තා විතරයි. ඔහුගේ මැදහත් පිළිවෙත නිසාම අවසානයේදී අම්මටත් ඒ සම්බන්ධයට කැමති වෙන්න වුණා.

රමිඳු අලුත් බිරිඳත් එක්ක මහගෙදර එන එකෙන් හිතාමතාම වැලකුණේ අක්කාගෙත්, අම්මාගෙත් අකමැත්ත නිසා සයුමිගේ හිත රිදිය හැකි බව හොඳින්ම දන්නා නිසයි.

ඒ තරම් දුරස්වෙලා හිටියත් මඟුලකදී, මරණයකදී හමුවෙන හැමවතාවෙම වගේ රමිඳුගේ අක්කා සිය නෑනාගේ හිත රිදවන්න අමතක කළේ නැහැ.

‘‘අපෝ අපේ මල්ලිත් මොකට යන යන තැන උස්සන් එනවද මන්දා. අපිටත් එක්ක ලැජ්ජයි.’’ මල්ලීට නොඇසෙන්නට, සයුමිට පමණක් ඇසෙන්නට ඇය කියන්නීය.

සයුමි ගර්භණී වූ පසුව අම්මාගේ අමනාපය නම් දුරු වූ හැඩය.

ඉතින් ඇය නිතරම වාගේ සයුමිව නිවසට කැන්දාගෙන සත්කාර කරන්නට පටන් ගත්තාය.

‘‘අපේ ලොකු කෙල්ලගේ කට එච්චර හොඳ නැහැ තමයි දුවේ. මාත් මුලින් කසාදෙට අකමැති වුණා. ඒත් මම දූට කවදාවත් වෙනස්කමක් කළේ නෑනේ. දූ මේ අම්මත් එක්ක අමනාපයක් නෑ නේද?’’ නැන්දම්මා විමසද්දී සයුමි සතුටින් ඉපිලුනා.

දිනක් රමිඳු සහ සයුමි මහගෙදර යන විට අක්කාද එහි පැමිණ තිබුණි. අක්කා කිසිවෙකුට මුහුණ නොදී කාමරයට ගොස් සැඟවුණේ රමිඳුට සැකයක් දැනෙද්දීය.

‘‘වෙනදාට කතුර වගේ පැටලෙන අක්කා මොකද අද මූඩ් අවුල් ගහලා?’’ රමිඳු විමසුවේ සැකය නිසාමය.

‘‘අනේ මන්දා පුතේ. දැන් අවුරුදු 5ක්නේ අක්කා බැඳලා. මුලදී හොඳට හිටියාට දරුවෙක් නැති නිසා දෙන්නා අතර දැන් ප්‍රශ්නලු. දන්නවනේ අක්කගේ කටත්. රණ්ඩු වැඩිදුර ගිහින්. ඒ ළමයගේ දෙමව්පියොත් රණ්ඩුවලට පැටලිලා. අක්කගේ කටින් ඒ අම්මටත් වැරදි වචනයක් කියවෙලා. දැන් ඒ ළමයා කියනවාලු දික්කසාද වෙන්න ඕනෙ කියලා.’’ අම්මා කීවේ කම්පාවෙනි.

‘‘ඒක හරි වැඩක්නේ අම්මේ. ඉන්නකෝ මම අයියව හම්බෙලාම කතා කරන්න. මේ පොඩි රණ්ඩු නිසා දික්කසාද වෙන්න ඕනෙද?’’ රමිඳු ඇසුවේ ආවේගයෙනි.

‘‘වැඩක් නෑ පුතා. මායි තාත්තයි එහෙ ගියා. දරුවෙක් නෑලු. ඒ මදිවට අක්කගේ කට හොඳ නැහැලු. පැය විසිහතරම රණ්ඩු වෙනවලු. අර අම්මටත් මේ කෙල්ල කුණුහරුපයක් කියලනේ. ඒ ළමයට වෙන් වෙන්නම ඕනෙලු. අක්කව තිත්ත වෙලා ඉවරයි කියනවා. ආයේ මොනම හේතුවකටවත් එකතු වෙන්නේ නැහැ කියලා පරසක්වල ගහනවා. මොනවා කරන්නද හිතාගන්න බෑ පුතේ.’’ රමිඳුගේ අම්මා කීවේ දෑස්වල කඳුළු පිරෙද්දීය.

‘‘කවදාවත් අකමැති දෙන්නෙක්ව එකට තියන්න හොඳ නැහැ අම්මා. අකමැත්තෙන් එකට ඉන්න ගියොත් ඒක ගිනි ගොඩක් වෙනවා. මමත් ඩිවෝස් වුණේ ඒ නිසා. අද මම රමිඳු එක්ක සතුටින් ඉන්නේ එදා ඩිවෝස් වුණු නිසා. අක්කටත් අක්කට ආදරේ කෙනෙක් මුණ ගැහෙන්න නම් එයාට ආදරේ නැති කෙනාට වෙන්වෙලා යන්න දෙන්න. දික්කසාදය අපි බයවෙන විදිහේ විනාශයක් නෙවේ අම්මා. සමහර තැන්වලට ඒක විසඳුමක්.’’

සයුමිගේ කතාව කාමරයේ ඉඳන් අහගෙන හිටපු රමිඳුගේ අක්කගේ ඇස්වලට කඳුළු පිරිලා තිබුණා.

සමාධි ඩයස්