විශේෂාංග

නගර ශෝභිනියෝ බුදුන් දැක නිවන් දකිත්වා!

අම්බපාලි ඉපදුණේ ඕපපාතිකවය. ඒ විශාලා මහනුවර රජුගේ අඹ උයනේය. ඒ නිසාම ඇයට අම්බපාලි ලෙසින් නමක්ද ලැබුනේය.

රජගෙදර ඇතිදැඩි වුණු අම්බපාලිගේ රුවට වශී වූ හිතමිතුරු රජ පුත්තු ඇගේ අත පතා ඇනකොටා ගන්නට පටන්ගත්තේ මේ අතරය. දිසාපාමොක්ගේ හැලියේ එකට බත් කා කඩු ශිල්ප, දුණු ශිල්ප උගත් රාජ ලේ ඇති කොල්ලන්ටද කඩු අමෝරා ගන්නට සළුපටක් හොඳටම ප්‍රමාණවත්ය. මේ නිසා කුමාරවරුන් අතර ඇතිවන්නට ගිය හබය විසඳන්නට රජ දූ ගානට සිටි අම්බපාලියව ඇති හැකි කොයි පුතාගේත් සුරතලිය කරන්නට අකමැත්තෙන් වුණත් රජුට සිදුවිය.

නගර ශෝභනියන්ටත් තහංචි තිබු‍ණේය. තම පහස සොයා එන රජ සිටු පුතුන් සමඟ පෙමින් බැඳීම ඔවුන්ට තහනම්ය. ඒත් ඔවුන්ද ලේ ඇට මස් නහරින් සුසැදුණෝය. ඒ නිසා සීමා මායිම් බිඳ පෙම්කර ඒ ප්‍රේමයේ සළකුණු කුසට ගත් නගර ශෝභිනියෝද ඕනෑතරම්ය. කොවුලන් හා රති කෙළි පමණක් නොව පෙම් කෙළිද කර කොවුලන්ගේ දරුවෙකු කුසට ගත් මාධවී ද ජනපද කල්‍යාණියක් නොහොත් නගර ශෝභිනියක්ය. ජනපද කලණගේ දරුවන්ට පියවරු නැත්තේය. නමුත් ඔවුන් හැදී වැ‍ඩෙන්නේ රජ, සිටු දරුවන් සමඟය. වෙනසකට ඇත්තේ ආමන්ත්‍රණයේය. රජගේ පුත් රාජ පුත්‍රය. සිටුගේ පුත් සිටු පුත්‍රය. ජනපද කලණගේ පුත් කල්‍යාණි පුත්‍රය.

කල්‍යාණි පුත්‍රයන්ට රජ සිටු ගෙවල්හි දොරවල් විවෘතය. තමන් වහන්සේගේ පුත්‍රයාටත්, කසල ශෝධක පුත්‍රයාටත් සම්බුද්ධ ශාසනයේ එකම තැනක් දුන් ලොව්තුරු අමා මහ බුදුරජාණන් වහන්සේ කල්‍යාණි පුත්‍රයන්ට පමණක් නොව ජනපද කල්‍යාණියන්ටද තම ශාසනයේ දොරගුළු ඇර දුන්නෝය. එය එසේ නොවූවා නම් ආත්ම ගාණක් ගණිකාවක්ව සිට බුදුන් පහල වූ සමයේ රාජ අඹ උයනට ඕපපාතිකව පහළ වී රාජ කුමාරවරුන්ගේ සිත කය පිනවූ අම්බපාලිය, මහ රහත් තෙරණියක් නොවන්නේය. ඒ බුදුන්ගේ සමයේය. එහෙත් මේ සමයේ බුදුන්ටත් වඩා බොදුකමින් සිත පුරවා ගත්ත උන් බොහෝය. ඔවුන්ගේ මෙත් සිත මෙකල කල්‍යාණියන් කෙරෙහි තෙත් වන්නේ රාත්‍රියටය. කාටත් හොර රහසේ උන්ගේ පහස සොයනා මහත්වරුන් රාත්‍රියේ තමන් හා නිදි වැරූ කල්‍යාණියක් දුටුවහොත් නුදුටුවා සේ රඟන්නේ සිල් රෙද්දට මුවා වෙමින්ය.

පන්සලක්, පල්ලියක්, කෝවිලක් කියන්නේ අපිට අකැප තැනක්. අපේ රස්සාව ගැන දන්න මිනිස්සු අපි පූජා භූමියකදි දැකීමත් අප්‍රිය කරනවා. ඇයි නෝනා මලක් පූජා කරලා, පහනක් පත්තු කරලා හිත නිදහස් කරගන්නට අපිට අකැපයි‍ද? අපි මේ ගෙවන්නේ ගිය ආත්මෙ කරපු පවක්. එහෙම නැතුව මේ ආත්මෙ නම් කුරා කුහුඹුවෙකුට වරදක් කරලා නෑ.

තම දරුවන්ගේ කුසගින්න නිවන්නට ලෝකයේ පැරණිම රස්සාව කරනා ඇය හමුවූයේ මගේ මිතුරියකටය. ඒ ඇය කාලයකට කලින් ගණිකාවන් පිළිබඳ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් වෙනුවෙන් සැකසූ වාර්තා වැඩසටහනකදීය.

මගේ මනුස්සයා නැතිවුණේ අපේ කරුමෙකට. එයා ඇක්සිඩන්ට් වෙලා මැරුණෙ පුතා හතරෙ පන්තියෙදි. අපි විවාහ වුණේ ගෙවල්වල අකමැත්තෙන්. ඒ නිසා අපි දෙන්නගෙම නෑදෑයො අපි දිහා බැලුවෙ නෑ. ඒත් අපි සතුටින් හිටියා. පුතා ගියේ ගමේ ඉස්කෝලෙට. පුතාව කොහොම හරි ශිෂ්‍යත්වය පාස් කරගෙන කොළඹ ඉස්කෝ‍ලෙකට දාන්නයි අපි හිතාගෙන හිටියේ. පුතා ශිෂ්‍යත්වය ඉහළින්ම පාස් වුණා. මට ඕනෙ වුණේ පුතාගෙ තාත්තගෙ ආසාව ඉටු කරන්න. මම එයාව කොළඹ ලොකු ඉස්කෝලෙකට දැම්මා. ඒ වෙනකන් මහත්තයා ඉතුරු කරපුවා අපි අර පරිස්සමින් පාවිච්චි කළා. මම කොළඹින් ටිකක් ඈත. කොළඹට එන්න පැය දෙකක් යනවා. ස්කූල් වෑන් එකකට දාන්න වත්කමක් තිබුණෙ නැහැ. මමයි පුතාව උදේ හවස එක්කගෙන ගියේ එක්කන් ආවේ. පුතාගෙ ආරක්ෂාව නිසා මට වෙන රස්සාවක් කරන්නත් බැරි වුණා. ඔය අතරෙ තමයි මම මේ රස්සාවට වැටුණෙ. දැන් පුතා සාමාන්‍ය පෙළ. එයාට දැන් තනියම යන්න එන්න පුළුවන්. පුතා හිතන්නෙ මම රස්සාවක් කරනවා කියලා. හවස පන්තිවලට ගිහින් පුතා ගෙදර එනකොට හොඳටම හවස් වෙනවා. ඊට කලින් මම ගෙදරට යනවා. තව කොච්චර කාලයක් දරුවාගෙන් මේ රස්සාව වහන් කරන්න වෙයිද දන්නෙ නෑ මහත්තයො.  පුතා තැනකට ආවට පස්සේ මට මොනවා වුණත් කමක් නෑ.

හවස හතරට පමණ මහරගම හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයට නැඟි ඇය එල්ලා සිටි පොලිතින් මල්ලේ හාල් කිලෝවක්, පරිප්පු දෙසීයක්, තක්කාලි සීයක්, කොපි පොතක් හා කුඩා පිටි පැකට්ටුවක් තිබූ බව පැවසූයේ ඇය සමඟ කතා කළ රාජ්‍ය නොවන සංවිධානයක මගෙ මිත්‍රයෙක්ය.

ඒ මෙකල අම්බපාලිලාගේ හා මාධවීලාගේ කතාය. ඔවුන්ට මැඳුරු නැත්තේය. රන් රිදී ආභරණ පටසළුපිළි නැත්තේය. රන්මසු රැගෙන එන රාජ රාජ මහාමාත්‍යාදීන්ද නැත්තේය. රාජ අනුග්‍රහයද නැත්තේය. ඇත්තේ ඇඳි වතෙන් වැසී ගිය ස්ත්‍රී ශරීරාංග පමණක්ය. එහෙත් තම බලයට නොමිලයේ සළුපිළි උනා නොදැමුවොත් නීතියේ රැහැනට හසු කරන්නට මාන බලන කාකි කෝට්කාරයෝ නම් එමටය.

අපි කරන රස්සාව හංගන්න බෑනේ. නීතිය රකින සමහර මහත්වරු නම් අපේ දිහා අනුකම්පාවෙන් බලනවා. ඒත් සමහරු අපේ අසරණකමින් ප්‍රයෝජන ගන්නවා. ඒ අයට මහත්වරු කියන්නත් කැතයි. අපි මේ රස්සාව කරන්නෙ අසරණකමට එදා වේල හොයාගන්න මිසක් ඇඟේ පතේ අමාරු ඇරගන්න නෙමෙයිනේ.

බඩ වියත රැක ගැනීමට ගණිකා සේවයේ යෙදෙන ළඳුන් අල්ලන්නට පවතින නීතියට බැරිය. ‍අභිසරු ලියන්ගේ බඩ වියත වෙනුවෙන් ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දුන්නේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායකය. එහෙත් ස්ත්‍රිය ජාවාරම් කිරීමට, බාලවයස් දැරියන් ලිංගික සේවනයේ යෙදවීමට නීතියෙන් ඉඩක් නැත්තේය. ඒත් ඉඩ හදාගන්නා හා සිදුරු විඳගන්නා ජාවාරම්කාර නෝනලා එමටය. ඉස්සර ඒ අය මැඩම්ලාය. දැන් ඒ අය අක්කලාය. අක්කලා ඇහැට කණට පේන නංගිලා රඳවාගෙන සිටින්නේ බලහත්කාරයෙන්ය. නංගි කෙනෙකුට අක්කා නියම කරන මහත්වරුන් සමඟ දවසට දහ දොළොස් වතාවක් නිදාගන්න වෙන්නේය. නංගී හා නිදිවදින එක මහත්තයෙක්ගෙන් අක්කාට ලැබෙන මුදල නංගීට ලැබෙන මුදල මෙන් පස්ගුණයක්ය. එහෙම අක්කලාට හසුවන්නේ ගමෙන් නගරයට ඇවිත් අසරණ වන නංගිලාය. අයියලාගේ ආදර බස්වලට රැවටී සල්ලන් වුණ ඇහැට කණට පේන නංගිලාය. අක්කලා ඉන්න තැනට නංගිලා රැගෙන එන්නේද පෙම්බස් දොඩන රස්තියාදු අයියලාය. ඒ අයියලා මේ ලොව එළිය දුටුවේ මව්කුසකින් නොවන නිසා අවුලක් නැත්තේය.

මාව මෙතනට එක්ක ආවෙ අපේ ගමේ අයියා කෙනෙක්. එයා රස්සාව කරන්නෙ කොළඹ කියලා ගමේ කවුරුත් දන්නවා. එයාගෙ අත මිට හරි සරුයි. ගමට ආවාම ගමේ කොල්ලන්ට හොඳට සළකනවා. මාව අඳුනාගත්තේ අපේ මල්ලිගෙ මාර්ගයෙන්. ඉස්සෙල්ලම එයා මට අදරෙයි කිව්වා. ඊටපස්සෙ රස්සාවකට කියලා කොළඹ එක්ක ආවා. මට කරන්න ඕන ලොකුම වැරැද්ද කරලා ඊටපස්සෙ මාව ගණිකා නිවාසයකට එක්ක ආවා.

හෙළ නංගිලාට බුරියෙන් පහලට නෑකමක් නැති බව ඉගැන්වූයේ ජීවහත්ත සහ දිසාලාය. තමන්ගේ උන්ට වඩා අලුතින් හම්බවුණ එකා විශ්වාස කරන්නත්, ඒ විශ්වාසයෙන් සිරියහනට ‍ගොඩ වෙන්නත් හෙළ දූවරුන්ට ඉගැන්වූයේ දිසාලාගේ අම්මාය. ඒත් හෙළ දූවරු අතීතය පාඩමක් කරගත් බවට සාක්ෂියක් නැත්තේය. කුවේණි මිත්තණියට වැරදුණ බව දැන දැනම කුවේණිගේ මිණිපිරියෝ තවමත් අලුතින් දැන හඳුනාගත් අයියලාට රැවටෙන්නේ අපි කුවේණිගේ නොව රාවණාගේ පරපුරේ කියමින්ය.

රාම රාවණ කාලයේ ද ඉන්දියාවේ ගණිකාවෝ විරලය. ඉන්දියානුවන්ගේ කෝණයෙන් ලියවුණ රාම රාවණ කතාවේ රාම පිළිගත්තේ රාජ අණින් රක්ත වර්ණයෙන් සැරසුණ ගණිකාවන්ය. භාරතයේ ගණිකාව සුබ දසුනක්ය. ඒ එදා භාරතයේය. ‍එහෙත් අද ලංකාවේ රෑට සුබ දසුනක් වන අඟනක් උදෑසන මුලිච්චි වීම රෑට ඇගේ පහස ලැබූ මහත්වරුන්ටම අසුබ දසුනක්ය. එහෙත් අතීතයේ විසූවන්ට නම් ඔවුන්ගේ ශරීරය පිස හමා එන සුවඳ ද සුවදායකය. කෝට්ටේ යුගයේ සැළලිහිණිය ලියූ තොටගමුවේ රාහුල හිමියන් සැළලිහිණියාට උදෑසන නිදිගැට හරින්නට කියන්නේ රාජකාරී නිමවා යන වෙසඟනන්ගේ කොකුමඟර තැවරූ තනයුග පිස හමා එන මද පවනේ සුවඳ විඳිමින්ය. භාරතයේ මෙන් මෙහිද වෙසඟනන්, දෙවඟනන් මෙන් පු‍රඟනන් සිටි බවට සාක්ෂි හමුවන්නේ මෙවැනි සාහිත්‍ය කෘතිවලදීය. ගිහි පැවිදි සාහිත්‍යකරුවන්ගේ වර්ණනාවට ලක්වන තරමටම මෙකල මෙන් එකල එම වෘත්තියේ කැළලක් තිබී නැත්තේය.

 

වෙ සන තුු තන යුගැ රොන්                       කොකුම

පි ස එන ම පවන් ඇදැ විල් ළිහිණි                 සර

ගොස අලුයම පසතුරු සවනතෙහි                 කැර

ඇ ස නිිගැට හැරැ නැැ සිටු               උදාහිර

 

බ්‍රාහ්මණයා හරි අමාරුකාරයාය. දකින්නේම වරදක්ය. බ්‍රාහ්මණ යුගයේ බ්‍රාහ්මණ ගෑනුන් මේ මිනිස්සුන් සමඟ ඉහ ගසා සිටියාටත් තෑගි දිය යුතුය. පාරිශුද්ධිය, කන්‍යාභාවය පිළිබඳ මහා ලොකුවට සැලකූවද බ්‍රාහ්මණයෝ ගණිකා වෘත්තිය කැතක් නැතුවම පිළිගත් බවට සාක්ෂි එමටය. බ්‍රාහ්මණ යුගයේ වෛශ්‍ය වෙළෙඳ කුලය වෙනුවෙන් සේවා සපයන මේ ස්ත්‍රීන් වෛශ්‍යාවන්ය. වෛශ්‍යාව යන්නෙහි සිංහල අරුත වේසිය. එකල වෛශ්‍යයන් වෙනුවෙන් සේවය සැපයූ බවට සඳහන් වන්නේ වේස වර්ග හතක්ය. ගණිකා ඉන් එකක්ය. අනික්වා බණ්ඩිකා, රුප්ජිවා, වරංගනා, කුල්ටානි, සම්භාලි, පුම්සාලිය.

අතීතයේ වගේම වර්ථමානයේත් ගණිකා වෘත්තිය වෘත්තියක් කරගත් ළඳුන් සිටියේ ලංකාවේ සහ අසල්වැසි ඉන්දියාවේ පමණක් නොවේය. ක්‍රි.පූ 18වෙනි සියවසේ බැබිලෝනියාවේ විසූ හමුරාබි රජතුමා ගණිකාවන්ගේ උරුමයන් වෙනුවෙන් වගන්ති තම රටේ නීති පොතට ද ඇතුළත් කළේය. එකල එරට පිරිමින්ගෙන් යැපෙන්නේ නැති එකම කාන්තා කොට්ඨාසය ගණිකාවන් පමණක්ය. ක්‍රි.පූ 6 වෙනි සියවසේ ග්‍රීසියේ අධිනාගරික ප්‍රදේශවල ගණිකා නිවාස ඉදිවී ඇත්තේ රාජ්‍ය අනුග්‍රහයෙන්ය. එහි ගණිකා කණ්ඩ තුනක් තිබූ අතර, ගණන් ඉස්සූ ගණිකාවෝ හෙටේරලාය. හෙටේරලා අයත් වන්නේ අම්බපාලි, මාධවීලාගේ කුලකයටය. ඔවුන් දැනුමෙන් පෝ‍ෂිත නැටු‍ම් ගැයුම් වැයුම් මෙන්ම ජිම්නාස්ටික කාලවේ ද සුහුරුවෝය. හෙටේරලා හමුවන්නට පැමිණෙන්නේ බල පුළුවන්කාරයෝය. එසේම කාම හා රසවින්දන ආශාවෙන් යුක්තවූවෝය. රුවැති අඟනන් හා සංසර්ගයේ යෙදී කාම පිපාසාව නිමවා, සාහිත්‍ය, කවි විචාරය හා දාර්ශනික සංවාද පවත්වා මනස පුබුදු කර ඔවුන් දහසින් බැඳි පියලි දී යන්නෝය. ගණිකා වෘත්තිය දෙස වපර ඇහින් බැලුවේ ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබූවාටත් පසුවය. ක්‍රි.ව. පළවෙනි සියවසේ ක්‍රිස්තියානි දහම වැළඳගත් ස්පාඤ්ඤයේ විසිගොත් රජුට ගණිකා වෘත්තිය වහකදුරු වූයේය. ඔහු ගණිකා වෘත්තිය තහනම් කිරීමෙන් පමණක් නොසැනසී ගණිකා වෘත්තියේ යෙදූ හසුවුණු ගැහැනුන්ට කසපහර 300ක් දී රටිනුත් පිටුවහල් කළේය. එහෙත් ගණිකා පහස ලැබූ පිරිමින්ට ඒ පිරිමි රජාගෙන් දඬුවම් හිමි නොවුණේ පිරිමිකමටය.

ඇදබානවා නම් රට රටවල ගණිකා කතා එමටය. ඉතිහාස කතාද එමටය. ඒ කතා කොයිහැටි වෙතත් අපේ ගණිකාවන්ගේ කතා නම් ඛේදාන්තයක්මය. ඇමරිකන්කාරයාට ගණිකාව අරහංය. ඒ නිසා ඒ රටේ ගණිකා වෘත්තියට නීතියෙන ඉඩ නැත්තේය. සුද්දාගේ රටේ ගණිකා වෘත්තියට ඉඩ ඇත්තේය. එහෙත් ගණිකා නිවාස පවත්වාගෙන යාමට ඉඩ නැත්තේය. සුද්දාගේ නීතියට ගරු කරන අපේ රටේත් ඒ නීතිය එලෙසමය. ගෙන්දගම් පොළොවේ උපන් අපේ අම්මණ්ඩිලාව සුද්දන්ට තම්බන්නට බැරිය. සුද්දාගේ කණෙන් රිංගා හෝ මේ අම්මණ්ඩිලා තමන්ගේ වැඩේ කරන්නට දස්සය. වාසනාවකට හෝ අවාසනාවකට මේ අම්මණ්ඩිලාගේ උගුල්වලට හසුවන අපේ අහිංසකාවියෝ අපමණය. වැඩේ ගැස්සුණොත් ආන්ටිලා යන්නේ පැඳුරටත් නොකියාය. ඒ බව දැන දැනම අපේ අහිංසකාවියෝ අතුරේ යන්නේ අසරණකමටය.

මම ක්ලයන්ට්ස්ලා හොයාගන්න විදිය අහන්නත් එපා. මේ තත්ත්වයට වැටුණ විදිය අහන්නත් එපා. හැබැයි මම ගෙවන්නේ සුඛෝපබෝගී ජීවිතයක්. මම ක්ලයන්ට්ස්ලා හම්බවෙන්නේ සුපිරි හෝටල්වල. හිටපු ගමන් මම ටික කාලයකට විදෙස්ගත වෙනවා. එහෙ ඉන්න ආන්ටි කෙනෙක් තමයි මට උදව් කරන්නේ. එහෙ මාස තුනක් හිටියත් හොඳටම ඇති. මගේ බබාලා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්වලට. ඒ වියදම දරාගෙන මේ එපාට්මන්ට් එකට‍ ගෙවාගෙන, යාන වාහන තියාගෙන මේ විදියට ඉන්න බෑ එහෙම නොකර. වෙන රස්සාවක් කරලා මෙච්චර හම්බ කරන්නත් බෑ. ආසාවකට  මේ රස්සාව කරනවා කියලා හිතන්න එපා. මම මේ රස්සාව කරන්නේ ජීවත් වෙන්නයි, මට වෙච්ච දේ මගේ දරුවන්ට නොවෙන්න එයාලගෙ ආර්ථික, සමාජ පසුබිම හදලා දෙන්නයි. අපි අතපය දිග ඇරලා වියදම් කරනකොට, සල්ලිකාරයො බලපුළුවන්කාරයො එක්ක සම සමව ඉන්නකොට අපේ රස්සාව ගැන හොයන්න එයාලට අවශ්‍යතාවක් ඇත්තෙම නෑ.

තත්ත්වය තරාතිරම මොකක් වුණත්, විදියේ අඳුරු අහුමුළුවලත්, සුපිරි හෝටල්වල සුපිරි ඇඳන් මතත් ගණිකාවන් තම සළු උනා දමන්නේ බඩ වියත රැකගන්නටය. දරුමල්ලන් පෝෂණය කරන්නටය. ඒ වෙනුවෙන් තමන්ට විය පැහැදම් වන මුදල තීරණය වන්නේ ඔවුන් අයත් සමාජ තත්ත්වය මතය. ඇඟ මස විකුණන ගණිකාවන් දෙස බුදු නෙත යොමු වුණේද සුපුරුදු උපේක්ෂාවෙන්මය. තම සැමියන්ගේ නොසණ්ඩාල රති ක්‍රීඩා නිසා එදා සිට අද දක්වා දුක් විඳි ගැහැනු අනන්තය. එහෙත් පිරිමින්ගේ පාප කඳට සමාජයෙන් දෝස විඳින්නේ පිරිමියෙක් නිසා ජීවිතය වරදාගත් ගැහැනියක්ය. රජු සිටු පුතුගෙන් රන්මසු වෙනුවෙන් ඇඳි වත උනා දැමූ අම්බපාලිය රහත් වූවා නම් තම කුසෙන් වැදූ දරුවන්ගේ, අබ්බගාත සහෝදරියගේ, මහළු දෙමව්පියන්ගේ බඩ පුරවන්නට ඇඳි වත උනා දමන මෙකල ළඳුන් මේ අත්භවයේ නොවුණද මතු අත්භවයක නම් බුදුන් දැක නිවන් දකිනු නියතය.

 

හිමේෂා සවන්තී රාජපක්ෂ