විශේෂාංග

නෝනලා ටිකක් ඉවසුවා කියලා රැකගන්න මිසක් නැතිවෙන්න දෙයක් නෑ

අපි කොයි දේ ගැන කතා කරද්දීත් උදාහරණ ගන්නේ අතීතයෙන්නේ. කාන්තා උදවිය ගැන කතා කරද්දීත් එහෙමයි. හැබැයි මම කියන්නේ අද කාලේ ජීවත්වෙන නෝනලා ඔය කියන තරම් නරක නෑ. ඒ වුණත් හොස්ස ළඟින් මැස්සා යන්න බැරිකමයි, අධික සැකයයි නිසා ගොඩක් අය ඒ යහපත් ගති නැති කරගන්නවා.

ගොඩාක් කාන්තාවන්ට පවුල් පන්සල් වුණාට පස්සේ එන අභියෝග ඊට කලින් ආපු අභියෝගවලට වඩා වෙනස්. ඒවාට මුහුණ දෙන්නේ කොයි විදියටද කියලා තෝරා බේරාගන්න එක තමයි හපන්කම විදියට මමනම් දකින්නේ. මං දන්න එක පවුලක් තියෙනවා. ඒ ගෙදර නෝනා නිදියන්නේ ගෙයි උඩ තට්ටුවේ. මහත්තයා යට තට්ටුවේ. එහෙම පුළුවන්ද පවුල් කන්න? ඒ නිසා ඔය සම තැන නැත්නම් නිසි තැන ඉල්ලන නෝනලා, ඊට කලින් ගැහැනුකම කියන්නේ මොන වගේ එකක්ද කියන එක ඉගෙනගන්නවානම් වටිනවා. ආදරය, කරුණාව, දයාව, ඉවසීම වගේ ගුණවලින් පිරෙන තරමටයි ගැහැනුකම කියන එක ගැහැනියකට ආභරණයක් වෙන්නේ. ගොඩක් අය වරද්දගන්න තැනක් තමයි ඉවසනවා කියන්නේ නිවට වෙනවා කියන එක කියලා හිතනවා. එහෙම නිවට වෙන්න අවශ්‍ය නෑ. නමුත් පවුලක් පන්සලක් වුණාට පස්සේ ගැහැනියක් ටිකක් ඉවසුවා කියලා රැකගන්න මිසක් නැතිවෙන්න දෙයක් නෑ. ඒ නිසා අර සින්දුවකත් කියනවා වගේ ‘කට පොඩ්ඩක් අඩු වුණානම් මොළේ පොඩ්ඩක් වැඩි වුණානම් මගෙ නෝනාගෙ වටිනාකම කියලා වැඩක් නෑ’ වගේ නෝනලා ටිකක් කට පරිස්සම් කරගත්තා නම් මේ ප්‍රශ්නවලින් බාගෙට බාගයක් විසඳගන්න පුළුවන්. ඒකෙන් අපි අදහස් කරන්නේ නෑ නෝනලා විතරයි ඉවසන්න ඕනේ කියලා.

ඒ එක්කම සතර බ්‍රහ්ම විහරණත් කාන්තාවකට හරි වැදගත්. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා. මෙත්තා කියන්නේ මිත්‍රත්වයනේ. ඒක තියෙනවා නම් වෛරය, ක්‍රෝධය, ආවේගය කියන දේවල් නැතිවෙනවා. එතකොට ප්‍රශ්නත් ඉබේම නැතිවෙනවා. ඊළඟට කරුණා. ඒ කියන්නේ අනුන්ගේ දුකේදී හදවත කම්පාවීම. පවුල් ජීවිතේ ඇතුළේ ඒක හරි වැදගත්. මහත්තයගේ නැව ගිලුනත් නෝනා බෑන් චූන් වගේ ඉන්නවනම් එතැන කරුණාවක් නෑ. ඊටපස්සේ මුදිතා. ඒ කියන්නේ අන් අයගේ සතුට දැකලා ඉරිසියා නොවී සතුටුවෙන එකට. අල්ලපු ගෙදර නෝනා ලස්සන සාරියක් ඇඳන් යනවා නම් ඔබ සතුටුවෙන්න ඕනේ. එහෙම නැතුව ඊටත් වඩා හොඳ ලස්සන සාරියක් මහත්තයාගෙන් ඉල්ලනවා නම් ඒක ප්‍රශ්නයක්. මහත්තයාගේ දවසේ පඩිය දාහක් වෙලා සාරිය තුන්දාහක් වුණාම ප්‍රශ්නනේ. අන්තිම එක උපේක්ෂා. ඒ කියන්නේ මැදිහත් බව. උදාහරණයක් විදියට ඔන්න මහත්තයා බීලා ගෙදරට එනවා හිතන්න. එතකොට ඔබ කරන්න ඕනේ අතට අහුවෙන එකකින් දමලා ගහලා ඒ මනුස්සයා එළියට දාලා දොර වහන එක නෙවෙයි.  ඒවාට මහත්තුරුන්ට අමතක නොවෙන පාඩම් උගන්වන්න විදි තියනවා. හැබැයි නෝනලා උපේක්ෂා සහගත නොවී එකපාර උරණ වෙන්න ගියොත් මේ ඔක්කොම හබක් වෙන්න පුළුවන්.

හැබැයි ඔය අස්සේ ප්‍රශ්නයක් නැති එකත් ප්‍රශ්නයක් වුණු කාන්තා උදවියත් ඉන්නවා. මේක දකුණු පළාතේ ගමක සිදුවුණු ඇත්ත කතාවක්. ඒ ගමේ එක ළඟ ගෙවල් දෙකක් තිබිලා තියනවා. එක ගෙදරක ජෝඩුව හරිම සතුටින් හිටියලු. හැබැයි අනික් ගෙදර රණ්ඩු සරුවල් ඇහෙනකොට, අපේ ගෙදර එහෙම එකක් නෑනේ කියලා මේ නෝනට අඩුවක් දැනෙන්න පටන්ගත්තලු. පස්සේ මේ ගෑනු කෙනා මොකද කරලා තියෙන්නේ දන්නවද? ගෙදර බාල්කෙක සාරියක් ගැටගහලා බැන්දලු ගෙදර තිබුණු වංගෙඩිය. පස්සේ ඒක තල්ලු කරලා පිට ඇල්ලුවලු. අරක වදින වදින ගානේ බුදු අම්මෝ කියලා කෑ ගැහුවලු. මේ ඇත්තම කතාවක්. මං මේක කිව්වේ ප්‍රශ්නයක් නැති එකත් ප්‍රශ්නයක් වෙන කාන්තා උදවිය ගැන හිතලා.

සමහර අය මේ විදියටත් බලෙන් ප්‍රශ්න දාගෙන ඉන්නේ. බුදු දහමේ ‘කාමේ සුමිච්චාචාරා වේරමණී’ කියද්දී ඔන්න අනියම් සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒවා බලෙන් දාගන්න අහක යන ප්‍රශ්නනේ. ඊටපස්සේ පවුල් අවුල් වෙද්දී ඒක ගිහින් දෙයියන්ට කියනවා. ඉතින් මං අහන්නේ දෙවියො බලයිද?

මට දවසක් අම්මෙක් ඇවිත් කිව්වා දුව පාඩම් කරන්නේ නැති හින්දා සුරයක් දැම්මලු. ඒකට තිස්පන්දාහක්ලු. මං කිව්වා විහිලුවට වගේ වේවැලක් අරන් පිටිපස්ස රත්වෙන්න දෙකක් දෙන්න එතකොට පාඩම් කරයි කියලා. ඊළඟට ත්‍රිකුණාමලේ කෝනේෂ්වරම් දේවාලේ ගහක් තියෙනවා. ඒ ගහේ තොටිල්ලක් එල්ලුවම බබාලා ලැබෙනවලු. ඊටපස්සේ අපේ ගෑනු උදවිය ශිව දේවාලෙට ගිහින් ශිව ලිංගය උරගාලා උරනවා. එතකොටත් බබාලා ලැබෙනවලු. එහෙම වෙනවා නම් බැරියෑ. කාන්තාවෝ එයාලා අසරණ වෙන තැන්වල ගොඩක් දුරට පිහිට හොයන්නේ අදෘශ්‍යමාන බලවේගවලින්. හැබැයි නෝනේ, එහෙම මිත්‍යාවල් පස්සේ දුවනකන් කිසිම ප්‍රශ්නෙකට උත්තර හම්බ වෙන්නේ නැති බවනම් ඉර හඳ වගේ විශ්වාසයි.

මේ වෙනකොට ලංකාවේ ගෙවල්වල පවුල් ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ. අන්න ඒකෙන් මිදෙන්න පුළුවන් විශාඛාගේ කතාව ඇහුවොත්. විශාඛාගේ කතාව ඒකට හොඳ උදාහරණයක්. විශාඛා කියන්නේ භද්දිය නුවර ධනංජය සිටුවරයාගෙයි සුමනා දේවියගෙයි එකම දියණිය. එදා ඇය කොතරම් රූප සම්පත්තියක් තිබුණු තරුණියක්ද කිව්වොත් භද්දිය නුවර ඇයට වඩා රූපයෙන් ඉහළ තරුණියක් හිටියේ නෑ කියලයි කියන්නේ. ඇයගේ අතගන්න කොතරම් තරුණයෝ උනන්දු වුණත් ඒ වාසනාව ලැබුණේ සැවැත් නුවර මිගාර සිටුවරයාගේ පුත් පූර්ණවර්ධණ සිටු පුත්‍රයාට. දෙදෙනාගේ විවාහ මංගල්‍යය දවසේ ධනංජය සිටුවරයා පතිකුලයට යන දියණියට සාර්ථක විවාහ ජීවිතයක් වෙනුවෙන් වටිනා අවවාද දහයක් දුන් බව බුදු දහමේ සඳහන්. ඒ අවවාද ඇය මහත් ඉහළින් පිළිගත් බවත් ඒවා තමන්ගේ පවුල් ජීවිතය තුළ අකුරටම පිළිපැද ප්‍රීතිමත් විවාහ දිවියක් ගතකළ බවත් සඳහන්. ඒක අපේ සමාජයටත් හොඳටම ගැළපෙනවා කියලයි මගේ අදහස.

 

  1. ඇතුළත ගිනි පිටතට නොදිය යුතුය. (නිවසේ අඩුපාඩු පිටතට නොකියා සිටීම)
  2. පිටත ගිනි කිසිවිටෙක ඇතුළට නොගත යුතුය. (පිටත සිදුවන අනවශ්‍ය දේවල් නිවස ඇතුළට නොගැනීම)
  3. දෙන්නහුටම දිය යුතුය. (මිල මුදල් ආදී කිසිවක් ණයට ගෙන ආපසු දෙන අයටම ලබාදීම)
  4. නොදෙන්නහුට නොදිය යුතුය. (ණයට ගෙන ආපසු නොදෙන අයට නොදීම)
  5. දෙන්නහුටද නොදෙන්නහුටද දිය යුතුය. (දුප්පත් අය පැමිණ යමක් ඉල්ලුවහොත් ආපසු දුන්නත් නොදුන්නත් ඉල්ලන දෙයක් දීම)
  6. සුවසේ හිඳිය යුතුය. (කිසිවෙකුට වරදක් නොකර ජීවත් වීම)
  7. සුවසේ අනුභව කළ යුතුය. (නෑදෑයින් ආදියටද ආහාරයෙන් උපකාර කර සේවක සේවිකාවන් ගැනද සොයා බලා ආහාර අනුභව කිරීම)
  8. සුවසේ නිදාගැනීම කළ යුතුය. (සියලු වැඩ කටයුතු හමාරකොට නිවසද පරීක්ෂා කර නිදාගැනීම)
  9. ගිනි පිදිය යුතුය. (නෑදෑයින් ගිනි ලෙස සලකා ඔවුන්ට කීකරු වීම)
  10. ඇතුළත දෙවියන් වැඳිය යුතුය. (ස්වාමියා සහ නෑදෑයින් ඇතුළත දෙවියන් යැයි සිතා ඔවුන්ට පුද සත්කාර කිරීම)

 

එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන්න සිදුවන අභියෝගවලදී ඒවාට මනසින් නොවැටී ශක්තිමත්ව මුහුණදෙන්නේ කොහොමද කියන එක දැන් ඔබට පැහැදිලි ඇතිනේ. බුදු දහමේ උට්ඨාන මතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ කියලා කියනවනේ. ඒ කියන්නේ හැමතැනදිම උත්සාහයයි නිවැරදි සිහියයි තියෙන්න ඕනේ කියන කාරණාව. ඒ නිසා ඉවසීම ප්‍රමුඛව තියාගෙන මනා සිහියෙන් ජීවත්වෙන්න හැම කාන්තාවක්ම සිහියට ගන්න ඕනේ. තෙරුවන් සරණයි!

රුවන් එස්.සෙනවිරත්න