විශේෂාංග

දෑවැදි අතින් දී හිර ගන්න පිරිමි ඉන්න ගමක්

‘‘මම විවාහ වුණේ ඉතාම සතුටින්. මගේ සැමියාත් ඔහුගේ ඥාතීනුත් මට ඉතාම ආදරයෙන් හා ගෞරවයෙන් සැළකුවා. තාමත් එහෙමයි. මම වැඩියෙන්ම සතුටු වන්නේ ඔවුන් මගෙන් කිසිම දෑවැද්දක් බලාපොරොත්තු වුණේ නැති නිසා.’’

මෙසේ පවසන්නේ කාශ්මීරයේ ඈත ගමක් වූ බාබා වායිල්හි කාන්තාවකි. 26 හැවිරිදි ඇය විවාහ වී තිබු​ණේ එම ගමට ආවේණික වූ ‘දායාද රහිත විවාහ සම්ප්‍රදාය’ යටතේය.

මේ කතාව විශේෂ වන්නේ ඉන්දියානු ගැමි සමාජයේ මනාලිය හා දෑවැද්ද අතර පවතින දැඩි සම්බන්ධය නිසාමය. එය කෙතරම් බලවත් ‘සිරිතක්ද’ කිවහොත් දෑවැද්ද නොමැති වීම නිසා බොහෝ තරුණියන් ඝාතනයට ලක්වූ අවස්ථා පවා අසන්නට ලැබේ. සැමියගේ ඥාතීන් අතින් වධහිංසාවලට ලක්වන ගැහැනුන් සංඛ්‍යාව අප්‍රමාණය.

‘‘දෑවැදි සහිත විවාහ සංකල්පය හරහා සමාජ හා ආර්ථික ප්‍රශ්න රැසක් මතු වී තිබෙනවා. බොහෝ පවුල්වලට අලුතින් එක්වන කාන්තාවන් අලුත් ඥාතීන්ගේ අමානුෂික වධහිංසාවලට හා නොසැළකීම්වලට ලක්වන්නේ ඒ හේතුවෙන්.’’

කාශ්මීර් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පර්යේෂකයෙකු වන සුහායිල් බ්‍යුල් මීර් පවසයි.

නමුත් අප මේ කියන ගම්මානයේ එවැනි සිරිතක් නැත. කටුක භූමි ලක්ෂණ සහිත ප්‍රදේශයක් වුවද එහි කාන්තාවන් දිවි ගෙවන්නේ සතුටිනි.

ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන ගාන්දර්බාල්හි සිට බාබා වායිල් දක්වා කිලෝමීටර 28ක දුරක් තිබේ. කලාතුරකින් ධාවනය වන මගී ප්‍රවාහන බසයක යන්නේ නම් දුෂ්කර වංගු සහිත කඳු පාරවල් ඔස්සේ පැය දෙක හමාරක ගමනකි.

එහි වැසියන් බොහෝදෙනෙකු අයත් වන්නේ ‘ෂා’ මුස්ලිම් කුලයටය. ඔවුන් පවසන්නේ තමන් මොහොමඩ් නබිතුමාගේ පරපුරින් පැවත එන බවයි. අලුතින් ගොඩනැගූ නිවාස අතර මැටියෙන් ඉදිකළ නිවෙස් ද තිබේ. ඉන් සමහරක් අතහැර දැමූ ඒවාය. සරල ජීවිතයක් ගතකරන ඔවුන් එකිනෙකා බොහෝවිට මුණගැසෙන්නේ එක්කෝ ගමේ වෙළෙඳපො‍ළේදීය. නැතිනම් බීමට ජලය ලබාගන්නා දිය බුබුලේදීය.

‘‘දෑවැද්ද දීමත්, ලබාගැනීමත් දිගු කාලයක් තිස්සේ පැවතීම නිසා දැන් එය විවාහයේදී අනිවාර්ය දෙයක් බවට පත්වෙලා. එහි භයානක බව කෙතරම්ද කිවහොත් සමහර කාන්තාවන් පණ පිටින් ගිනි තැබීම හෝ මැරෙනතුරු පහර දීමට සැමියාගේ ඥාතීන් කටයුතු කරන අවස්ථාවනුත් තියෙනවා.’’

බාබා වායිල්හි ගම් ප්‍රධානියා වන අල්තාෆ් ෂා ප්‍රකාශ කරයි. පසුගිය වසරේ එම තනතුරට පත්වූ ඔහු වෘත්තියෙන් සන්නාලියෙකි.

‘‘බොහෝ කාන්තාවන් නිහඬව සිටින්නේ සැමියාගේ ඥාතීන්ට ඇති බිය නිසා. සමහර තරුණියන් එය දරාගැනීමට නොහැකිව සියදිවි නසාගැනීමට හෝ දික්කසාද වීමට පෙළඹෙනවා. සිය අලුත් ඥාතීන් බලාපොරොත්තු වන දායාදය ලබාදීමට නොහැකි වූ කාන්තාවන් විවාහය ගත කරන්නේ දැඩි ශාරීරික හා මානසික පීඩාවන් මැදයි.’’

සාමාන්‍යයෙන් ඉන්දියාවේ සාම්ප්‍රදායික විවාහයකදී මනාලියගේ දෑවැද්දට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. එය මුදල්, රන් ආභරණ හෝ ටීවී, වොෂින් මැෂින්, ශීතකරණ වැනි ගෘහභාණ්ඩ විය හැකිය. මධ්‍යම පාන්තික පවුල් අතර නම් මනාලියට රුපියල් මිලියනයක පමණ දෑවැද්දක් දීමට ඇගේ ඥාතීන් එකඟවන අවස්ථා බහුලය.

නමුත් බාබා වායිල්හි විවාහ සම්ප්‍රදායන් හා සංස්කෘතිය ඊට හාත්පසින්ම වෙනස්ය. අල්තාෆ් පවසන ආකාරයට මීට සියවස් දෙකකට පමණ පෙර එහි පැවතියේ සරල විවාහයකි. දෑවැද්දක් පිළිබඳ සඳහනක්වත් නොවිනි.

නමුත් 1950 ගණන්වලදී පවුල් දෙකක් අතර සිදුවන මුල්ම ඥාති හමුවේදී ජලය පිරවූ වීදුරුවකට රුපියල් එකොළහක් දමා පිළිගැන්වීමේ සිරිතක් ඇති විය. ඒ සිය දරුවන් අතර විවාහය ස්ථිර කිරී‍මේ සළකුණක් වශයෙනි. ඒ ද පිළිගන්වනු ලැබුවේ මනාලයාගේ පාර්ශවය මිස මනාලියගේ ඥාතීන් නොවේ. මෙය වර්තමාන මුදලින් බැලුවොත් ඉන්දීය රුපියල් 500-1000 ක් පමණ වේ.

නිකා (විවාහ ගිවිස ගැනී‍මේදී) උත්සවයේදී මනාලයාගේ පාර්ශවයෙන් ඉන්දීය රුපියල් 51ක්, සහල් කිලෝග්‍රෑම් 40ක් හා මස් කිලෝග්‍රෑම් 30ක් මනාලියගේ ඥාතීන්ට ලබාදෙයි. ඒ විවාහ උත්සවයේදී ඥාතීන්ට සංග්‍රහ කිරීම සඳහාය.

මේ හේතුව නිසාම එහි කාන්තාවන්ට කිසිඳු බියකින් තොරව සිය සැමියාගේ ඥාතීන් වෙත යාමට හැකියාව ඇත.

‘‘මම ළඟදිම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ.’’

24 හැවිරිදි රාජ් ෂා පවසයි.

‘‘දෑවැදි රහිත විවාහ සම්ප්‍රදායට අප ගරු කරන්නේ මුළු හිතින්මයි. එමගින් තරුණ වයසේ හැම කෙනෙකුටම සිය අනාගතය ගැන බිය නොවී විවාහ වීමට අවස්ථාව ලැබී තියෙනවා.’’

1985දී එම ප්‍රදේශයේ කාන්තාවකට දෑවැද්ද මුල් කරගෙන ඇතිවූ ගැටළු හේතුවෙන් එකල ප්‍රධානීන් විසින් දෑවැද්ද තහනම් කර තිබේ. එම නීතියට පිටුපාන අයට දේවස්ථානයට ඇතුළු වීම මෙන්ම ගමේ පොදු සුසාන භූමියේ මිහිදන් කිරීම තහනම් කරනු ලැබිනි. ඒ නිසාම දෑවැද්ද ඉල්ලා සිටීම එහි බරපතළ වරදකි.

‘‘කාලයකට ඉස්සර එක පවුලක් මනාලියගෙන් දෑවැල්ල ඉල්ලා සිටියා. ඔවුන්ට සිදුවූයේ ගම අතහැර වෙනත් ප්‍රදේශයකට යාමටයි. කිසිම කෙනෙකු ඔවුන් වෙනුවෙන් කතා කළේ නැහැ.’’

අල්තාෆ් ප්‍රකාශ කළේ අතීත සිදුවීමක් මතක් කරමිනි.

2004 දී ගමේ ඉමාම්වරයා ඇතුළු ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් මුලින් පැවති නීතිය සංශෝධනය කරනු ලැබීය. ඊට අනුව මනාලයාගේ ඥාතීන් විසින් මනාලියගේ පාර්ශවයට රුපියල් 50,000ක උපරිම මුදලක් ලබාදිය යුතුය. එම ගිවිසුමට අත්සන් කරන්නේ මනාලයා සහ ‘වාලි’ (විවාහය තෙක් මනාලියගේ භාරකරු) විසිනි. මනාලයා දිළිඳු නම් මුදල් වෙනුවට වෙනත් දේ ලබාදිය හැකිය.

ඉන් රුපියල් 20,000ක් මනාලියගේ සාමාන්‍ය වියදම් සඳහා ‘මෙහෙර්’ හෙවත් තෑග්ගක් වශයෙනි. තවත් 20,000ක් ඇගේ මංගල ඇඳුම් සඳහාය. එය ‘වාර්දාන්’ ලෙස හඳුන්වයි. රුපියල් 3,000ක් පමණ වන ඇගේ වේලය ඇතුළු අනෙකුත් වියදම් සඳහා ඉතිරි රුපියල් 10,000 යොදා ගනී. ඒ හැර කිසිම වියදමක් මනාලයාගෙන් අපේක්ෂා කරන්නේ නැත.

අල්තාෆ් ෂාගේ වැඩිමල් දියණිය ඉක්රා අල්තාෆ් ද ළඟදීම විවාහ වීමට සිටින තරුණියකි.

‘‘රුපියල් නවසියයකට වැඩි මෙහෙර් එකක් මා බලාපොරොත්තු වන්නේ නැහැ. දෑවැද්ද කියන්නේ මුළු සමාජයටම පිළිලයක්. එයට දිගින් දිගටම අප අනුබල දෙන්නේ ඇයි? මා අයත් වන්නේ අපේ මුතුන් මිත්තන් විසින්ම දෑවැද්ද තහනම් කළ පරම්පරාවකට. ඒ නිදහස අප සතුටින් භුක්ති විඳිනවා. එවැනි සමාජයක හා සංස්කෘතියක වාසය කිරීම මා හට ලොකු ආඩම්බරයක්.’’

25 හැවිරිදි ඉක්රා පවසන්නීය.

මෙම සම්ප්‍රදාය යටතේ වෙනත් ඉන්දියාවේ ග්‍රාමීය කාන්තාවන්ට නොමැති නිදහසක් ඔවුන්ට ලැබී තිබේ. සමහරු විවාහයෙන් පසු උසස් අධ්‍යාපනය මෙන්ම රැකියාවලටද යොමු වී සිටිති. ඉක්රා ද මේ දිනවල සිය පියාගෙන් රියදුරු පුහුණුව ලබමින් සිටී. ඒ අතර සිය සරසවියේ අවසන් විභාගයටද සූදනම් වන්නීය.

‘‘වෙනත් කාන්තාවන්ට මෙන් මට විවාහය සඳහා විශාල කාලයක් යෙදීමට අවශ්‍ය නැහැ. අපේ විවාහය සරලයි. අමතර කාලය මට ප්‍රයෝජනවත් දෙයක යෙදීමට හැකියි.’’

මේ වනවිට කාශ්මීරයේ (හා ඉන්දියාවේ) සෙසු ජන කොටස් වෙත ද දෑවැදි රහිත විවාහ සම්ප්‍රදාය හඳුන්වාදීමට අල්සාෆ් හා ඔහුගේ වැසියන් කටයුත් කරමින් සිටී.

‘‘මෑතකදී මෙහි තරුණියන් තිදෙනෙක් වෙනත් ගම්වලට විවාහ කර දුන්නා. ඊට පෙර අප, අපේ සම්ප්‍රදාය ඔවුන්ට පැහැදිලි කර දුන්නා. ‘ඔබට හැකි නම් මනාලිට යමක් දීමට එය සිදුකළ හැකියි. නමුත් ඇගෙන් දෑවැද්ද බලාපොරොත්තු නොවිය යුතුයි.’ වෙන ගමකින් තරුණියක රැගෙන ආවත් මේ නීතිය වෙනස් වෙන්නේ නැහැ. අප ඇගෙන් දායාද ඉල්ලන්නේ නැහැ.’’

අල්තාෆ් පවසයි.

ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයට (NCRB) අනුව 2019 දී කාශ්මීරයේ කාන්තා අපරාධ 3,069ක් සිදුවී ඇත. ස්ත්‍රී දූෂණ, ලිංගික අඩත්තේට්ටම් හා ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා ඊට අයත්ය. නමුත් වාර්තා නොවූ සිදුවීම් ගණන ඊට වැඩිය. ඒ අතර දෑවැදි ප්‍රශ්න හේතුවෙන් කාන්තාවන් අටදෙනෙකු මියගොස් ඇත. සමහර දෙමව්පියන් මේ නිසා සිය දියණියන් විවාහ කරදීම පමා කරති. අලුත්ම අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ දායාද ඉල්ලා සිටින නිසා අවුරුදු 40ට වැඩි අවිවාහක තරුණියන් 50,000ක්වත් එහි ‘ගෙදරට නාකි වන’ බවය. අල්තාෆ්ලාගේ විවාහ සම්ප්‍රදාය ගැන ඇසීම පවා ඔවුන්ට සතුටක් වනවාට සැක නැත

වසන්ත විජේරත්න