Health

අවමවාදයෙන් පැරදුනොත් සියලු වාදවලින් දිනුවත් වැඩක් නෑ

මේක සෙන් බුදුදහමේ කතාවක්. ඔන්න දවසක් එක මනුස්සයෙක් දුර ගම් පළාතක ජීවත්වෙන ප්‍රසිද්ධ ගුරුවරයෙක්ව මුණගැහෙන්න ඔහුගේ ගෙදර හොයාගෙන ගියාලු. ගුරුවරයගේ ගේ දැකලා අර මනුස්සයාට පුදුමයි. මොකද ඒ ගෙදර තිබුණේ ගුරුතුමාගේ පොත් ටිකයි, ලියන මේසෙයි, පුටුවයි විතරයි.

“කෝ මේ ගෙදර බඩු මුකුත්ම නෑනේ?” පුදුම වෙච්චි මනුස්සයා ගුරුතුමාගෙන් ඇහුවලු.

“කෝ එතකොට ඔය මහත්තයගේ බඩු?”

“මම මෙහෙ නවතින්න ආවේ නෑනේ ගුරුතුමනි.”

“මමත් එහෙමයි. මමත් මෙහෙ නවතින්න ආවේ නැහැ” කියලා ගුරුතුමා උත්තර දුන්නා. පුංචි කතාවක් වුණාට මේක ගොඩාක් ගැඹුරු තේරුමක් තියෙන කතාවක්. ලංකාව කියන්නේ බෞද්ධ රටක්. තණ්හාව, අත්හැරීම ගැන නිතර බණ අහන්න මිනිස්සු ඉන්න රටක්. හැබැයි ගෙදරටකට ගිහින් බැලුවොත් මැරෙද්දි පෙට්ටියේ දාගෙන යන්න වගේ ඇඳන් යට ඉඳලා පරණ බඩුමුට්ටු පුරෝගෙන.

මෑතකදි මම දන්න අඳුරන ගෙදරකට ගියා. ගෙදර දරුවෝ සේරම විදේශගත වෙලා. ඉන්නේ වයසක අම්මයි තාත්තයි විතරයි. ඒක වෛවාර්ණ බඩු පුරෝපු මහා විශාල ගෙයක්. ඉතින් බැරිමරගාතේ අසනීප පිට ගෙවල් දොරවල් අස් කරනවා ඇරෙන්න අර යුවලට වෙන වැඩක් නෑ. ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න නිසා වැඩට කෙනෙක් ගන්නත් බැරිලු. මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න ඕනේ කියලා මට හිතුණේ ඒ යුවල දැක්කට පස්සෙයි.

යුරෝපීය රටවල අවමවාදය (Minimalism) කියලා සංකල්පයක් තියෙනවා. ලංකාවේ සමහර උදවියත් දැන් දැන් මේ ගැන ටිකක් උනන්දුයි. විසිවැනි සියවස මුලදි ඇතිවෙච්චි යුද්ධ නිසා ඒ රටවල මිනිස්සුන්ට බඩුමුට්ටු හිඟයක් ඇති වුණාලු. ඒකත් එක්ක ගොඩක් දෙනා තියෙන දේවලින් උපරිම ප්‍රයෝජන ගන්න පටන් අරන්. ඒකත් එක්ක 1960-70 වෙද්දි අවමවාදය කියන සංකල්පය සමාජගත වෙලා තියෙනවා. අවමවාදය කියන්නේ නිතරම වටිනාකමක්, ප්‍රයෝජනයක්, අරුතක් තියෙන දේවල් විතරක් තියාගන්න එක. මේක එක අංශයකට සීමා නෑ. ගෘහ නිර්මාණය, කලාව, විලාසිතා, සාහිත්‍ය, සංගීත වගේ හැම අංශෙකටම පොදුයි. ඒ අතරින් ජීවත්වෙද්දි ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුළුවන්  පොදු දේවල් ටිකක් අද අපි කතා කරමු.

ප්‍රයෝජනවත් දේ විතරක් පාවිච්චි කරනවා, අනවශ්‍ය දේ අඩු කරනවා කිව්වහම සමහරුන්ට ‘අපෝ ඒක මොන ලෝබකමක්ද?’ කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හිතෙන්නේ අපි වගේ දුප්පත් රටවල අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට විතරයි. දැකලා තියෙනවද ​​ෆේස්බුක් එකේ අයිතිකාරයා මාර්ක් සකර්බර්ග් හැමදාම එකම වාගේ ඇඳුම් ඇඳගෙන සෙරෙප්පු කුට්ටම් දෙකක් දාගෙන ඉන්නවා? මොකද ඔහු අවමවාදියෙක්. මේ බිලියනපතියා විතරක් නෙමෙයි ස්ටීව් ජොබ්ස්, වොරන් බෆට්, ඇල්බට් අයින්ස්ටයින්, බැරැක් ඔබාමා, අබ්දුල් කලාම් වගේ ලෝක ප්‍රකට මිනිස්සු ඕනේතරම් අවමවාදියෝ විදියට හඳුන්වන්න පුළුවන්. අපේ වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර වගේ මහත්වරු වුණත් කොච්චර සරලව ජීවත්වෙච්චි මිනිස්සුද? අවමවාදය කියන්නේ ලෝබකමකට නෙමේ. ඒක මනස නිදහස් කරන සරල කලාවක්.

මම දන්න තව කාන්තාවක් ඉන්නවා ඇයත් ජීවත්වෙන්නේ තනියම. හැබැයි කඩේ ගියාම සාගතේකට වගේ කෑම බඩු ගන්නවා. පස්සේ නරක් වෙලා ඒ දේවල් විසි කරනවා. ලී බඩු, හෑන්ඩ් බෑග්, ඇඳුම් පැළඳුම් එහෙමත් එහෙමයි. ගේ පුරා බඩු පුරෝගෙන. නිකමට හිතන්න අපි ගොඩක් සෙනඟ ඉන්න බස් එකකට නැග්ගහම අපිට නිදහසේ හුස්මක් කටක්වත් ගන්න පුළුවන්ද? ඒකෙන් බැහැගන්නකල් අපිට කොච්චර අපහසුවක් දැනෙනවද? අපේ ජීවිතේ වුණත් එහෙමයි. සරල වෙන තරමට ජීවිතේ සනීපයි. හැබැයි සරලකම, දේවල් අවම කරනවා වගේ දේවල් ආධ්‍යාත්මයත් එක්කම එන්න ඕන දේවල්. ‘සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝය’ කියලා ජේසුතුමා කියලා තියෙනවා. සිතින් දිළින්දෝ කියන්නේ හිතේ ලොකු තණ්හාවක්, ආශාවක් නැති උදවියට. ඒ අයගේ ජීවිත සරලයි. තණ්හාව, ආශාව වැඩි අයට අවමවාදය වගේ සංකල්පවලට යන්න ටිකක් අමාරුයි. ඒ නිසා මුලින් ඔය වගේ කාරණා ටිකක් ගැඹුරින් හිතලා බලන්න. ඔය කියපු කාරණා එක්ක අවමවාදය ප්‍රායෝගිකව ජීවිතේට ඈඳගන්නේ කොහොමද කියලා දැන් බලමු.

අපිට පළවැනියටම මේක ආදේශ කරන්න පුළුවන් ගෙයක් හදිද්දි. ලංකාවේ ගොඩක් දෙමාපියෝ ඉන්නවා තරුණ කාලේ ණයවෙලා මහා ලොකු ගෙවල් හදනවා. පස්සේ කන්නේ බොන්නේ නැතිව දරුවන්ට උගන්වන ගමන්අර ණය ගෙවනවා. පස්සේ දරුවෝ වෙනම ජීවිත හොයාගෙන ගියාම අපි මෙහෙමයි ක‍ළේ කියලා කුල කියවනවා. ගෙවල්වල නිර්මාණ මෝස්තර වුණත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉස්සර තිබුණු ගෙවල් ගොඩක් දැන් කඩලා හදලනේ. ඉතින් එහෙම බැලුවහම අර දෙමව්පියන්ට මහන්සියත් නෑ, සතුටින් කාපු බීපු දේකුත් නෑ. ආසාවෙන් හැදුව ගෙදර හැඩෙත් නෑ. ඒ නිසා ගෙයක් හදද්දි මුලින්ම බලන්න පවුලේ කී දෙනෙක් ඉන්නවද,නඩත්තු කරන්න පුළුවන්ද,අස්පස් කරන්න පහසුද.අස්පස් කරන්න අපහසු ලොකු ගෙදරකට විශාල කාලයක් දෙන්න වෙනවා. ‘ගෙදර වැඩ ඇර මට කාලයක් නෑ’ කියලා ආඩපාලි කියන බිරින්දෑවරු කොච්චරද. එතැනදී කාලය, නිදහස, සතුට වගේ දේවලුත් ඇහිරෙන්න පුළුවන්.

ඊළඟ කාරණාව ගෙදරට බඩු මුට්ටු ගන්නකොටත් අවමවාදය කියන සංකල්පය අනුගමනය කරන්න. සමහර ගෙවල් තියෙනවා මේස දහයක් විතර තියෙනවා. පුටු සෙට් තියන්න ඉඩ නැහැ. ඇවිදින්න ඉඩක් නෑ, ලී බඩු පුරෝලා. අල්ලපු ගෙදර බඩු ගනිද්දි ඒ දිහා බලාගෙන ගෙදරට බඩු ගන්න අයත් ඉන්නවනේ. දැන් තියෙන තරඟකාරීබව එක්ක නිෂ්පාදන ආයතන වුණත් එක එක අලෙවි උපක්‍රමවලින් අනවශ්‍ය දේවල් ගන්න මිනිස්සුන්ව පොළඹවනවා. අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද කියලා හරියට තීරණය කරන්න අපි සබුද්ධික වෙන්න ඕනේ.

තව කාරණාවක් තමයි දෙයක් ගන්නකොට ඒකෙ ප්‍රමිතිය ගැන හිතන්න. ඒක අවමවාදය අනුගමනය කරන ධනවතුන්ගේ උපක්‍රමයක්. උදාහරණයක් විදියට ඔයා රුපියල් 1000ක් දීලා ඇඳුම් 10ක් ගන්නවා නම් ඒ වෙනුවට 1000ක්දීලා එක ඇඳුමක් ගන්න. එතකොට ඒක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වගේම ඇඳුම් අල්මාරියේ ඉඩ ඉතිරි කරගන්නත් පුළුවන්.

ඒ වගේම තමයි එක දෙයක් අලුතින් ගන්නකොට ඒ වෙනුවට දෙයක් අයින් කරන්න. හිතන්නකෝ ගෙදරට අලුතින් පුටු සෙට් එකක් ගන්නවා. ඒ වෙනකොටත් ගෙදර සෙටි එකක් තියෙනවා නම් පරණ එක කාටහරි දෙන්න. නැත්නම් විකුණන්න. සපත්තු, හෑන්ඩ්බෑග් ඔය ඕනම එකක් එහෙමයි.

අනික බඩු ගන්න යනකොට ලිස්ට් එකක් හදාගෙන යන්න. දැක්කහම ආස හිතුණ පලියට ඒකේ නැති කිසිම දෙයක් නොගෙන ඉන්න තරමට හිත පාලනය කරගන්න. ගෙදර ඉන්නේ තුන්දෙනාද ඒ අවශ්‍ය ප්‍රමාණයට කෑමබීම වුණත් ගන්න.

දෙයක් ගන්නකොට නිතරම හරිම තීරණය ගන්න ඕනේ. ඒ කියන්​නේ හිතන්නකෝ ඔයා කෙනෙක්ගේ උපන්දිනේකට තෑග්ගක් දෙනවා. උපන්දිනේට මේසේ උඩ තියන ටෙඩි බෙයාර් කෙනෙක් කියලා හිතමු. ඒක ඒ කෙනාට අත්‍යවශ්‍යම දෙයක් නෙමේනේ. ඒ වෙනුවට එයාට අත්‍යවශ්‍යම දෙයක් දෙන්න බලන්න.

ඒ වගේම තිරසාරබව රැකගගන්න එකත් අවමවාදයේ ලක්ෂණයක්. ඒ කියන්නේ නිතරම ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් පරිසර හිතකාමී දේවල් පාවිච්චි කරන්න බලන්න. නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් දේවල් එකපාරක් පාවිච්චි කරලා විසි කරන්න එපා. ඒක ලෝබකම නෙමේ අරපිරිමැස්ම. ඒ වගේම තමයි දන්න අඳුරන කෙනෙක් නිකන් දෙයක් දුන්නත් ඒක අනවශ්‍ය දෙයක් නම් ඒක ගෙදරට ගෙනැල්ලා ඉඩ අහුරගන්න එපා. ඒ වෙනුවට ඒක සුහදශීලීව ප්‍රතික්ෂේප කරන්න.

අවමවාදයේදී ප්‍රමාණයට වඩා ප්‍රමිතිය වැදගත්. ඒක බඩුමුට්ටුවලට විතරක් නෙමේ අපි ආශ්‍රය කරන මිනිස්සුන්ටත් අදාළයි. කේලම් කියන, ඕපදූප හොයන විෂ සහිත මිනිස්සු අයින් කරලා ඒ වෙනුවට හොඳ ගුණධර්ම තියෙන මිනිස්සු කිහිපදෙනෙක් ජීවිතේට ළංකරගන්න. ඒ වගේම තමන්ගේ ඔලුවේ වුණත් තියාගන්න ඕනේ හොඳ ධනාත්මක සිතුවිලි විතරයි.

ජීවිතේට අත්‍යවශ්‍යම දේවල් ටික එක්ක සරලව, පිරිසිදුවට, පිළිවෙලට ඉන්නකොට ඒ මොහොත් ජීවත්වෙන්න ලේසියි. ඒ වගේම අනවශ්‍ය මානසික පීඩන කළමනාකරණය පහසුයි. කාලය වගේම මුදල් ඉතිරි වෙන එක තවත් ප්‍රතිලාභයක්. ඒ කාලය මුදල් අත්‍යවශ්‍ය දේට යොමු කරලා සතුටින් ජීවත්වෙන්න අවමවාදය උදව්වක්.

ඉන්දිකා ප්‍රනාන්දු

මනෝඋපදේශිකා

සමාජ විද්‍යා ග්‍රන්ථ කතුවරී

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි