විශේෂාංග

දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා මම ආදරේ කළේ කසාවතට

ඉකුත් සතියේ සයිබර් අවකාශය පුරා වේගයෙන් සංසරණය වූ ඡායාරූප පෙළක් දක්නට ලැබුණි. විසිඑක් වියැති දිල්මි හංසනී නවෝද්‍යා නම් තරුණිය සොඳුරු මනාලියක ලෙස සැරසී ඉන් සුළු මොහොතකට පසු, සියල්ල අතහැර උතුම් පැවිදි දිවියට පත්වීමේ සංවේදී දසුන් පෙළයි.

යොවුන් දියණියක මව් සෙවණෙන් නික්මෙද්දී, මව එම වේදනාව විඳගන්නා අයුරුත්, ඒ සියල්ල අතැර පැවිදි දිවිය දක්වා තම ගමන්මඟ සැකසුණු අයුරුත් කලල්ගොඩ සුදර්ශිකා මෙහෙණින්වහන්සේ, එම ගුරු මෙහෙණින්වහන්සේ හා පවුලේ ඥාතීන් ‘ධරණී’ වෙත දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසේ.

සතර වරිගයක් නිවන්පුර වෙත කැඳවාගෙන යන ගමනට පළමු පින් සිතිවිල්ල පහල වෙද්දී දිල්මි හංසනීට යාන්තමින් වයස අවුරුදු දොළහ සම්පූර්ණ වූවා පමණි. ගේ ළඟම පිහිටි පන්සලට යනෙන වාරයක් පාසා කසාවතට සිත බැඳෙන අයුරක් ඒ පුංචි සිතට දැනෙමින් තිබුණාය. සැබෑවටම ඇයට බණ පද ඇසුනේ, දහම් කරුණු ඇසුනේ මව්කුස තුළ සිටියදී යැයි කීම වරදක් නොවේ. ඒ ඇයගේ අම්මා වන මහේෂිකා බ්‍රාහ්මණ ඇය කුස දරා සිටියදී සිල් සමාදන් වූ නිසාය.

‘‘ලොකු සාදු මට මහණ වෙන්න ඕන.’’

එවකට හත වසරේ පන්තියේ වූ දිල්මි, කලල්ගොඩ ශ්‍රී ජයබෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය අලකොලගල ඤාණරතන හිමියන්ට පැවසුවේ සෙමෙනි. සෙමින් කතාබහ, සංවර ගමනකින් යුතු දිල්මිගේ ඉල්ලීම ලොකු හාමදුරුවෝ ලොකුවට සිතුවේ නැත.

‘‘එහෙම මහණ වෙන්න බැහැනේ. ඉස්සෙල්ලා ඉගෙනගන්න ඕන. ඒ වගේම අවුරුදු විස්සක් වෙනකල්වත් ඉන්න ඕන.’’

විහාරාධිපති හිමියන් දිල්මිගේ ඉල්ලීම ලොකුවට බාරගත්තේ නැත. දිල්මි පුංචිකමට එවන් ඉල්ලීමක් කරන්නට ඇතැයි ලොකු හාමුදුරුවෝ සිතූහ. දිල්මිගේ අම්මාත් හිතුවේ නිකමට මෙන් දියණිය එම වදන් කියන්නට ඇති බවය. පන්සල පෙනෙන දුරින් වීමත්, හැම පෝයටම සිල් සමාදන්ව ආගමට දහමට ලැදිව කටයුතු කරනා පවුල් පසුබිම නිසාත්, දිල්මිගේ හිත හැමට රහසේ තව තවත් ගමන් කළේ සසුන් මාවත දිගේය.

‘‘දුව ඉගෙනගන්න හරිම දක්ෂයි. නැටුමට සංගීතයට දක්ෂයි. .පො.. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හොඳින් සමත් වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න සුදුසුකම් ලැබුවා. ඉඳහිට මහණ වෙන්න ඕන කියන කතාව කිව්වත්, එය එහෙම වේවි කියලා අපි හිතුවේ නැහැ. මොකද එයා හරි සතුටින් නිතරම කාලය ගත කළ දරුවෙක්. නංගිලා තුන්දෙනා, අම්මා, තාත්තා එක්ක​ බොහොම සමීපයි. ඥාතීන්ටත් බොහොම ළෙංගතුයි. අම්මගේ තාත්තගේ උපන්දිනය ආවත්, කේක් හදලා, සැරසිලි කරලා ඇය හැමෝවම පුදුම කරවනවා. දුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ​තේරුණත්, එයාට ඕන වුණේ අවුරුදු ගණනාවක් ඒ වෙනුවෙන් වැය නොකර උපාධියක් ගන්න. ඒ අනුව බාහිර විභාග අපේක්ෂිකාවක් ලෙස ලියාපදිංචි වෙලා ඉගෙනුම් කටයුතු කරගෙන ගියා. ඔය අතරේ පෞද්ගලික ආයතනයක රැකියාවකුත් කළා.’’

ඒ දිල්මිගේ ලොකුඅම්මා වන කාංචනා ඉඳුනිල් මහත්මියයි. ඇය දිල්මි කුඩා වියේ පටන්ම එම පවුල හා බෙහෙවින්ම සමීපව කටයුතු කළ අයෙකි. දිල්මිගේ ළමාවිය කොතරම් ලස්සනට ගෙවුණාදැයි කියන්නට ඇය හොඳින්ම දන්නීය.

දිල්මි සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්තේ මාළඹේ රාහුල බාලිකාවෙනි. ඇය උසස් පෙළ හදාරන්නේ මරදානේ ගෝතමී බාලිකාවෙනි.

‘‘මොනතරම් ගිහි ජීවිතයේ ලස්සන දැක්කත්, දුව නිතර නිතර කියපු දෙයක් තමයි, ‘මේ හැමදේම හිස්’ කියන කාරණය. ජීවිතයේ යථාර්ථය තේරුම්ගන්න ඕන කියන කාරණය, ධර්ම තර්ක ඔස්සේ එයා කතා කරනවා. පන්සලේ ධර්ම සාකච්ඡාවලට යනවා. ඔහොම කාලය ගෙවෙද්දී මේ දරුවා ඇත්තටම සාසනයට යාවිද කියන සැකය නොතිබුණාමත් නෙවෙයි. ඔය අතරේ අම්මා දුවගේ හඳහනත් බලලා තිබුණා. ඒ වෙලාවේ කියලා තිබුණා මේ දරුවා ගිහි ජීවිතයේ නම් ඉන්න එකක් නැහැ, විවාහයක් කරගන්නෙත් නැහැ, හැබැයි සාසනයට ගියොත් බැබලෙන කෙනෙක් වේවි කියලා.’’

කෙසේ හෝ සංසාරයේ පුරුදු චාරිකාවක් පරිද්දෙන් ඇය ගිහි දිවියට සමුදෙන කාලය ළංවෙමින් තිබුණි. කොරෝනා සමඟ වැඩිපුර ගෙදර සිටියදී ඇය කුඩා කාලයේ කළ ඉල්ලීම නැවත ලොකු හාමුදුරුවන් හමුවේ තබන්නේ ඒ අතරය. ඒ මීට මාස දෙක තුනකට කලිනි.

‘‘වෙද්දි හැමෝම දැනගත්තා දුව ස්ථිර වශයෙන්ම සාසනයට ඇතුළත් වෙන්න තීරණය කරලා කියලා. ඒ මොහොත අම්මට දරාගන්න බැරි වුණා. අම්මා, නංගිලා ඇයව මැදි කරගෙන ඇඬුවා. ​මේ ලෞකික සැප සම්පත් හරිම තාවකාලික බවත්, මේක බොහොම හොඳින් හිතලා ගත්තු තීරණයක් සහ කළකිරීමක් නිසා ගත් තීරණයක් නොවන බවත් ඇය නිතර නිතර කිව්වා.’’

කාංචනා ඉඳුනිල් මහත්මිය පැහැදිලි කළාය. දිල්මි හංසනීගේ පැවිදි දිවිය ආරම්භ විය යුතු අයුරු කල්පනා කළ විහාරාධිපති ඤාණරත්න හිමියන්ට සිහිපත් වූයේ, පාදුක්කේ මාතික මාතා ආරාමාධිපති සුපේෂලා මෙහෙණින්වහන්සේයි. අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන උන්වහන්සේ එවන් තනතුරකට පත් පළමු මෙහෙණින්වහන්සේ ද වෙයි. තම ආරාමයේ කුඩා මෙහෙණින් වහන්සේලා තෙනමක් සිටින බවත්, දැනුම් තේරුම් ඇති අයෙකු පැවිදි කරගැනීමට සොයනා බවත් දැන සිටි ඤාණරතන හිමියෝ, දිල්මි හංසනීව එම ආරාමයට කැඳවාගෙන ගියහ. ඒ පවුලේ අයද සමඟිනි. ඒ දෙමාපියන් ඇයගේ මහණවරයට අවසර දුන් පසුය.

‘‘නායක හාමුදුරුවෝ මේ දරුවව ආරාමෙට බාරදුන්නේ සැප්තැම්බර් පළමුවෙනිදා. හාමුදුරුවෝ අතපැන් වත්කරලා අටපිරිකර සමඟින් ඇයව අපට භාරකළා. ඒ එක්කම නායක හාමුදුරුවෝ කිව්වා දායක පිරිසගේ ඉල්ලීමක් තියෙනවා, උන්වහන්සේගේ උපන්දිනය යෙදෙන සැප්තැම්බර් තිස්වෙනදාට මහණ පින්කම සිදු කරන්න කියලා. ඒ අනුව එම නායක හාමුදුරුවන්ගේ අනුශාසන පරිදි එම පැවිදි පින්කම සංවිධානය කළා. මම මහණ දිවියට පත්වුණ ආකාරයටම දිල්මි දැරියව මහණ දිවියට පත් කරන්න මම අදහස් කළා.’’

ඒ හල්පන්දෙණියේ සුපේෂලා ගුරු මෙහෙණින්වහන්සේයි.

වසර විසිඅටකට පෙර එම මෙහෙණින්වහන්සේ ද පැවිදි දිවියට පත්වෙද්දී, ප්‍රථමයෙන්ම මංගල සාරියෙන් සැරසී තිබේ. ඒ පැවිදි පින්කමේ චාරිත්‍රවලට පෙරයි. ඒ ආකාරයෙන්ම දිල්මි හංසනීවත් හැඩකර, තම ලස්සන දෙස බලන්නට ඉඩ දුන්නාය. තම රුව දුටු විට හිත වෙනස් වන්​නේ නම්, ඇයට ආපසු ගිහි දිවිය වෙත හැරෙන්නට කිසිඳු බාධාවක් නැත. ඒ වාගේම පැවිදි දිවියට පත්වන වයස දහයේ දොළහේ දැරියන්ට පැවිදි චාරිත්‍රයට පෙර ළමා සාරිය ඇන්දීම කළත්, ඊට වැඩි වයස් දැරියන්ට මංගල සාරිය ඇන්දීම කරන්නේ, ‘මට මංගල සාරියක් ඇඳලා ඒ අත්දැකීම ලබන්න බැරි වුණා’ යන පසුතැවීම පසුකලෙක ඇතිවීම වළක්වනු පිණිස බවද සුපේෂලා මෙහෙණින්වහන්සේ පැහැදිලි කළහ.

‘‘ඇත්තටම දිල්මි දුවට මංගල සාරිය අන්දද්දී මම ළඟම හිටියා. දුවගේ අම්මා ඒ වෙනකොට හිටියේ ඒ මොහොත දරාගන්න බැරි හිත් වේදනාවකින්. කොහොම වුණත්, උඩරට මනාලියක් විදිහට දුවව සැරසීම කළා. වෙලාවෙදිත් ඇය කිව්වේ, ‘මේ ලස්සන ඕන නම් තව පැයක් තියෙයි, ඒ සුළු මොහොතට මේ තරම් මහන්සි වෙලා ලස්සන කරනෙක තේරුමක් නෑ’ කියලයි. සියල්ල තුළ ඇති නිස්සාර බව, අනිත්‍ය බව තමයි ඒ මොහොතෙත් දුව කතා කළේ. ඒ වෙලාවෙ පැවිදි වුණහම සිදුකරන තම මංගල ධර්ම ​දේශනාව කරන හැටි ගැනත් කතා කළා. ඒ නැතුව තමන්ගේ ලස්සන දිහාවත්, ලස්සන මංගල ඇඳුම දිහාවත්, ආභරණ දිහාවත් බැලුවේ නෑ.’’

මනාලියකගේ ලස්සන කැඩපතින් පෙනුණද, දිල්මි ඒ ලස්සන ඇස්වලින් අල්ලා නොගෙන හදවතින් ද බැහැර කළාය. එහෙත් දිල්මිගේ අම්මා​ගේ හදවත කකියන්නට වූයේ දරු කැක්කුමෙනි. ඇය මංගල සාරියෙන් සැරසී සිනාසෙනවිට ඒ අම්මාට, දුවව අන්තිම මොහොතේ හෝ ලෞකික දිවිය තුළ ඇදබැඳ තබාගන්නට හැකි නම් හොඳ යැයි සිතෙන්නට ඇත. ඒ දරුවන් හිතෙහි ගුලිකරගෙන සිටින අම්මලාගේ බලාපොරොත්තුවල හැටිය.

‘‘අම්මා දිල්මි දුවව මංගල සාරිය ඇඳලා ඉන්නවා දැක්කම සතුටට ඇයව බදාගත්තා. ඒ වගේම හිස මුඩු කරද්දී අම්මා කෑගහලා අඩන්න ගත්තා. දුවගේ ඇඟට බරවෙලා කෑගහන්න ගත්තා. ඒත් එක බැල්මකින්වත් ඒ දිහා නොබලමින් ඇය හිත තද කරගෙන බොහොම සැහැල්ලු මුහුණින් තමන් බලාපොරොත්තු වුණ අරමුණ වෙත ළඟා වුණා. තාත්තා කෑගහලා ඇඬුවේ නැතත්, අතමිට මොලවගෙන හිත ගල් කරගෙන ඒ මොහොත දරාගත්තා.’’

කලල්ගොඩ සුදර්ශිකා මෙහෙණින්වහන්සේ, මව පියා සහෝදරියන් මෙන්ම එම ඥාතීන් අතහැර දමා පැමිණි ගමනක් සේ මේ ගමන ගැන සිතන්නට අකමැතිය. තමන් සිවුරු දරන්නේ අවබෝධයෙන්, සසර මඟ කෙටිකර ගැනීමේ පරමාර්ථ ඇතිව බැවින්, ඒ ගමනට ආශිර්වාද කරන්නට මෙන්ම ඒ ගමන හා අත්වැල් බැඳගන්නටද හැකි බව උන්වහන්සේ කීහ. පැවිදි දිවියට පත්වීමට මසකට පමණ පෙර සිට ආරාමයේ නැවතී හිඳ වත්පිළිවෙත්වල යෙදෙමින් කටයුතු කරද්දී ද, හිත සංකාවෙන් සිටි මවට නිතර කී දෙයක් තිබේ.

‘‘ඔයාලා අඬන්න එපා. මාව බලන්න ඔයාලට ආරාමෙට යන්න එන්න පුළුවන්. ඒ වගේම ඔයාලා වයසට ගියත්, මට ඔයාලා දෙන්නව බලාගන්න පුළුවන්. බණ පදයක් කියලා හිත සනසන්නත් පුළුවන්.’’

ඒ වදන් ඔස්සේ හිත සනසා ගන්නට එම මෑණියන්ට සේම ඥාතිවරුන්ටද සිදුවේ. දුක තුළ ගිලෙමින් සැපක් යැයි සිතා දුකම වැළඳගන්නා ජීවිතවලට සිසිල් බණ පදයක් කියන්නට දැන් සුදර්ශිකා මෙහෙණින්වහන්සේට හැකිය.

‘‘මම ත්‍රිපිටකය ඉගෙනගන්න එක ආරම්භ කළා. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමා කරලා ශාසනික ආගමික වශයෙන් මගෙන් ඉටුවිය යුතු මෙහෙය ඉටු කරන්න මං බලාපොරොත්තු වෙනවා. ගිහි ජීවිතයේ කාරණා ගැන දැන් මට කතා කරන්න අයිතියක් නැහැ. ඒත් මං දැනුම් ​​තේරුම් ඇතිදා සිටම කසාවතට ආදරය කළා. මගේ අරමුණ ජයගන්න කටයුතු කළා. සැනසුම් මාර්ගය ඔස්සේ තව තවත් ඉදිරියට යා යුතුයි.’’

සුදර්ශිකා මෙහෙණින්වහන්සේ සෙමෙන් වදන් එකතු කරයි.

පාලි හා ඉංග්‍රීසි අධ්‍යාපනය සහිත ද්විභාෂා ආයතනයක්ද වන මාතික මාතා ආරාමය ඒ ගමනට සිසිල් තෝතැන්නක් වනවා නොඅනුමානය.

‘‘ඇත්තටම සමාජ මාධ්‍යයේ මේ පින්තූර පළවුණහම, විවිධ අදහස් ඉදිරිපත් කරන පිරිස් දැක්කා. සමහරු විවේචනය කරලා තිබුණා, බැණලා තිබුණා. බොහෝදෙනෙක් මෙම ක්‍රියාව අගය කළා. ඇත්තටම ජීවිතයේ යථාව තේරුම් ගත්ත කෙනෙකුට මේ මග මිස වෙනත් මගක් නැහැ.’’

කලල්ගොඩ සුදර්ශිකා මෙහෙණින්වහන්සේගේ ලොකුඅම්මා අපේ කතාබහට සමුදුන්නේ එසේ කියමිනි.

දරුවෙකු ගිහිගෙය අත්හරින මොහොතේ, අම්මෙකුට එය දරාගැනීමට අසීරු වුවත්, එය දරාගැනීම මිස වෙනත් විකල්පයක් නොමැත. වසර විසි ගණනක් ආදරයෙන් හදාවඩා සසුනට පූජා කළ දියණිය ගැන ලෝභයක් ඇති වුවත්, ඒ මුවින් උතුම් බණ පදයක හඬ ඈතින් ඇසෙද්දී සියලු දුක් දුරු වී ඒ මව් හිතට අමා සිසිලක් දැනෙනු නිසැකය.

කලල්ගොඩ සුදර්ශිකා මෙහෙණින්වහන්ස, ඔබවහන්සේ පතන ඒ අමා නිවන් මග බොහෝ දුර නොවේවා!

දීපා වසන්ති එදිරිසිංහ