නවතම ප්‍රවෘත්ති

ජනතා සේවයට කැපවුණු අපිට රෑ දවල් දෙකේ වෙනසක් නෑ

‘‘සිංහල මිනිස්සු පුදුම මිනිස්සු කොටසක්. ඔවුන්ට සේවය කළත් බණිනවා, නොකළත් බණිනවා. සේවය කළොත් වැඩියෙන් බණිනවා. ඒවා හමුවේ සිනාසී වැඩ කරන්නට හැකි නම් ලංකාවේ ජනයාට සේවය කළ හැකිය. අනගාරික ධර්මපාලතුමා තමයි එහෙම කියලා තියෙන්නෙ. ඒ කියමන තදින්ම හිතට අරගෙන තමයි මමත් රාජ්‍ය සේවයට බැඳුණේ.’’

එසේ පවසන්නී දිල්හානි කාංචනා නිශාමලීය. මහරගම, උඩහමුල්ල, 525A, නැගෙනහිර වසමේ ග්‍රාම නිලධාරිනිය ඇයයි. රාජකාරිය අකුරටම ඉටු කරමින්ද, වරෙක රාජකාරියෙන් ඔබ්බට යමින් ජනතා සේවයට කැපවෙමින්ද සිටින රුව ගුණ සපිරි මේ ග්‍රාම නිලධාරිනිය අද ‘ධරණී’ කවරය දරා සිටියි.

ඔබ සේවයට ඇති කැමැත්ත නිසා ග්‍රාම නිලධාරිනියක් වුණු කෙනෙක්ද නැත්නම් පෙන්ෂන් එක බලාගෙන රාජ්‍ය සේවය තෝරගත්ත කෙනෙක්ද?

මගේ තාත්තා ග්‍රාම නිලධාරීවරයෙක්. මට මතක ඇති කාලෙ ඉඳලම තාත්තගෙන් උපදෙස් ගන්න ගමේ හැමකෙනෙක්ම වගේ අපේ ගෙදරට එනවා. ඒ කාලේ තාත්තා රැයක් දහවලක් නැතුව ගමේ අයට සේවය කරන හැටි දකිනකොට මේක මිනිස්සුන්ට මොනතරම් නම් සේවයක් කරන්න පුළුවන් රස්සාවක්ද කියලා මට හිතුණා. එදා ඒ ඇතිවුණු හැඟීම නිසා තමයි මමත් ග්‍රාම නිලධාරිනියක් වුණේ. එහෙම නැතුව ලැබෙන වැටුප ගැනයි, විශ්‍රාම වැටුප ගැනයි නම් මම කවමදාකවත් හිතලා නැහැ.

ග්‍රාම නිලධාරිනියක් විදියට වැඩ පටන් ගත්තෙ කොයි කාලෙද?

2014 අවුරුද්දේ තමයි මම කුරුණෑගල, පොල්පිතිගම මගේම ගමේ, 352 බොගොල්ල ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරිනිය විදිහට වැඩ බාරගත්තේ. වැඩ බාරගත්තට පස්සේ අවුරුදු දෙකක් විතර මම ගමේ උදවිය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කළා. පස්සේ 2016දී සැමියාගේ නිවස පිහිටා තිබෙන මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 525/A උඩහමුල්ල, නැගෙනහිර වසමේ ග්‍රාම නිලධාරිනිය විදිහට මාරුවීමක් ලබාගෙන තමයි කොළඹ පදිංචියට ආවේ.

මේ දවස්වල කොවිඩ් වසංගතය එක්ක වෙනදට වඩා වැඩ රාජකාරි බහුලයි නේද?

සාමාන්‍ය රාජකාරිවලට අමතරව කොවිඩ්-19 රාජකාරී කටයුතුත් තිබෙන නිසා ඇත්තටම මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. රටම ලොක්ඩවුන් කළ වෙලාවෙ සමහරු බෙහෙත් ටික ගන්න යන්න විදිහක් නැති වුණාමත් මට කතා කළා. එහෙම වෙලාවට කොහෙන්හරි ඒ ඖෂධ හොයාගෙන මම ඔවුන්ට ගෙනිහින් දෙනවා. ඒ වගේම බොහෝදෙනා ආර්ථික අතිනුත් ළිංපතුලටම වැටුණා. ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලන්නත් ඒ අවශ්‍යතා සපුරන්න අවශ්‍ය කරන වැඩකටයුතු සම්පාදනය කිරීමත් ග්‍රාම නිලධාරීවරයාගේ වගකීමක්. ඒ වෙලාවේ ‘මනුසත් දෙරණ’ වැඩසටහන මගිනුත් අපේ වසමට ආධාර උපකාර රැසක් ලබාදුන්නා. ඒ ගැනත් මේ වෙලාවේ මම මතක් කරන්නම ඕනේ.

වෙලාවක් කලාවක් නැතුව රාජකාරී කටයුතුවල නිරත වෙන්න වෙන අවස්ථා එහෙමත් ඇති?

එහෙම වෙලාවල් නම් අනන්තයි. මගේ වසමේ එක කොටසක් ගංවතුරට යට වෙනවා. සංචරණ සීමා පනවලා තිබුණු වෙලාවෙත් ඒ වතුරට යටවෙලා එක පවුලක් හරියට අසරණ වුණා. කොවිඩ් තත්ත්වය නිසා එයාලව ළඟපාත ගෙදරක නවත්තන්නවත් මට පුළුවන්කමක් තිබුණේ නැහැ. එදා ඉතින් වතුර ටික බැහැලා යනකල් මුළු රෑම මමත් එයාලා එක්කම හිටියා. එයාලගේ හිතට ශක්තියක් වෙන්නයි ඒ වෙලාවේ මට අවශ්‍ය වු‍ණේ.කෙනෙක් අසරණ වුණු වෙලාවට ඒක රාජකාරියේ කොටසක්ද නැද්ද කියලා නොහිතා උදව් උපකාර කළ අවස්ථා ඕනතරම් තියෙනවා. බොහොම පිරිසිදු හදවතකින් තමයි මම ඒ වෙලාවට උදව් කරන්නේ. මට මතකයි දවසක් දරු ප්‍රසූතියට අවශ්‍ය කරන කළමනා ටික ගන්න විදිහක් නැතුව අසරණ වුණු මවක් මට කතා කළා. ඒක ඉතාම සංවේදී අවස්ථාවක්. ඇගේ දරු ප්‍රසුතියට තිබුණෙත් දින දෙකයි. ඉතින් මම මගේ වියදමින් ඇයට අවශ්‍ය සියලුම දේ අරගෙන ඒ මොහොතේම ඇගේ නිවසට ගියා.

සමහර ග්‍රාම නිලධාරී නෝනලා හරි සැරයි. ඔබත් එහෙමද?

මම බොහොම නිහතමානී විදිහට මගේ සේවය ලබාදෙන කෙනෙක්. හැබැයි ටිකක් සැරට කටයුතු කරන්න සිද්ධවෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. එකම දේ කිහිප සැරයක් තේරුම් කළත් තේරුම් ගන්නේ නැති සමහරු ඉන්නවා. ඒ විතරක් නෙවෙයි යමකට උපදෙස් දුන්නම ‘ඕක ​ඔහොම නෙවෙයි මෙහෙමයි මිස්’ කියන පිරිසකුත් ඉන්නවා. එහෙම වෙලාවට ඉතින් රතු කට්ට පනින එක වුණත් සාධාරණයි නේද?

රාජ්‍ය සේවකයන්ට ඇණුම් බැනුම් එල්ල වෙනවා වැඩියි නේද? එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ අඩුපාඩුවලට සමස්තයටම දෝශාරෝෂණය කරන එක ගැන මොකද හිතන්නේ?

රට වෙනුවෙන් සේවයක් නොකර, මුදල් පස්සෙම හඹා යන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒත් ඉතින් කිහිපදෙනෙක්ගේ දුර්වලකම් නිසා සමස්ත රාජ්‍ය සේවයටම දොස් කියන එක වැරදියි.

වයස් භේදයක් නැතුව බාල, තරුණ, මහළු හැමෝම එක්ක ඔබට ගණුදෙනු කරන්න වෙනවා. වැඩිපුරම ලේසි සහ වැඩිපුරම අමාරු කාත් එක්ක වැඩ කරන්නද?

යමෙකුගේ උපතේ ඉඳලා මරණය දක්වා අදාළ රාජකාරී කටයුතු අපිට පැවරිලා තියෙනවා. ඉතින් බාල, තරුණ, මහළු ඔය හැමෝමත් එක්ක අපිට කටයුතු කරන්න වෙනවනේ. එතැනදී ඒ අයගේ සිතැඟි තේරුම් ගන්න පුළුවන් නම් ඔය කොයි කාත් එක්කත් සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්.

හැබැයි සමහර වෙලාවට වයසක උදවිය එහෙම කියන දේ තේරුම් ගන්නෙම නැහැනේ. එහෙම දේවල් නිසා අපහසුතාවයට පත්වෙච්ච වෙලාවල් තියෙනවද?

එකපාරක් කොවිඩ් නිසා රජයෙන් රුපියල් 5000ක සහනාධාරය ලබාදීපු වෙලාවක විශ්‍රාමික මහත්මයෙක් ඇවිල්ලා මගෙන් ඒ මුදල් ඉල්ලුවා. ඔහු විශ්‍රාමිකයෙක් නිසා ඒක ඔහුට ලබාදෙන්න මට පුළුවන්කමක් තිබු‍ණේ නැහැ. අන්තිමට ඔහු එය ඔහුගේ අවිවාහක පුතා වෙනුවෙන් ලබාගන්න උත්සාහ කළා. අවිවාහක නිසා ඔහුගේ පුත්‍රයා අයත් වුණෙත් ඔහුගේ පවුලටමයි. එතැනදී ඒ පුද්ගලයා ඉතා දුරදිග ගිය විශාල ගැටළුවක් ඇති කළා. ඒ වෙලාවෙ නම් ඇත්තම මම බොහොම අපහසුතාවයට පත්වුණා.

එතකොට වැඩ කටයුතුවලදී ගමේ අයගෙන් ලැබෙන සහාය එහෙම කොහොමද?

මොන දේ කළත් නෑ, බෑ නොකියා මට උදව් උපකාර කරන පිරිසක් ඉන්නවා. තමන්ගෙම පවුලේ කෙනෙක්ට වගේ තමයි ගොඩක් අය මට සලකන්නේ. ගොඩක්දෙනා සතුටුදායක ආරංචියක් වුණත් මුලින්ම කතා කරලා කියන්නේ මට. ඒ තරමටම ඒ අයට මාව සමීපයි.

ඔබට ඇගයීම්, ප්‍රසංශා එහෙමත් ලැබිලා ඇති?

පත්වීම අරගත්තු පළවෙනි අවුරුද්දෙම ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟයෙන් වසම් 82ක් අතරින් අටවෙනි ස්ථානය ලබාගන්න මට හැකියාව ලැබුණා. ඊට අමතරව මේ වෙද්දිත් මගේ සේවය වෙනුවෙන් මට ප්‍රසංශනීය වාර්තා හතරක් විතර ලැබිලා තියෙනවා.

වෘත්තීය ජීවිතය එක්ක පෞද්ගලික ජිවිතයේ වැඩ කටයුතු ටික සමබර කරගන්නේ කොහොමද?

ඇත්තටම මේ දවස්වල නම් පෞද්ගලික ජීවිතයක් නැති තරමටම මම කාර්යබහුලයි. සතියට දින හයක් අපි රාජකාරී කටයුතුවල නිතර වෙන්න ඕනේ. සිකුරාදා තමයි මගේ විවේක දිනය. අත්‍යවශ්‍ය වැඩ රාජකාරි පැවරුණු වෙලාවක විවේක දිනයේදීත් වැඩ කරනවා. මේ හැමදේකටම මගේ මහත්තයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. රෑ දෙක තුන වුණත් කිසිම පැකිළීමකින් තොරව ඔහු මාත් එක්ක රාජකාරි කටයුතුවලට යන්න එනවා. ඔහුගේ මව සහ නැගණියවත් මතක් කරන්න ඕනේ. මට නිවසේ කටයුතු සඳහා වෙන් කරන්නවත් කාලයක් නැහැ. ඔවුන් මම වෙනුවෙන් ඒ සියල්ල නොපිරිහෙලා ඉටු කරනවා.

ඉතින් රාජ්‍ය සේවිකාවක් ලෙස තවත් දිගු ගමනක් යන්නද බලාපොරොත්තුව?

මීටත් වඩා මහජනතාව වෙනුවෙන් සේවය කරන්න පුළුවන් තැනකට යන්න මගේ හිතේ අදහසක් තිබෙනවා. ඒ අරමුණ වෙනුවෙන් මම මහන්සි වෙනවා.

සටහන – සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප – සමන් අබේසිරිවර්ධන

හැඩගැන්වීම – මරීනා පෙරේරා (මරීනා පෙරේරා බ්‍රයිඩ්ල් ස්ටූඩියෝ)