නවතම ප්‍රවෘත්ති

පො‍ඩ්ඩන්ට සෙල්ලම් බඩු හදන කර්ණාටක යුවතිය ටීනා

දුරකතන සංවාදයකින් ආගිය තොරතුරු කතාබහ කර ලියනවාට වඩා මේ වැඩේ සියැසින්ම දැකබලා ලිවීම හොඳ නිසා මා ඇයව හමුවීමට වේලාවක් වෙන්කර ගතිමි. ලබාදුන් ලිපිනයට ​ගොස් කොළඹ 05 හැව්ලොක් සිටි සංකීර්ණයේ පහත මාලයේ විදුලි සෝපානයට ගොඩ වූ මා විනාඩි කිහිපයකින් ඇගේ නිවස ඉදිරිපිටය.

සීනුව නාද කළ විගසම දොර හැරිණි. ඈ ද මා එනතුරු බලා සිටියා විය යුතුය.

සොඳුරු යුවතියක් වූ ඇය, මෙරට ප්‍රථම වරට අතින් නිමකළ සිලිකන් පිඟන් සහ සිඟිති සෙල්ලම් භාණ්ඩ සන්නාමය වන ටෲ බයි ටීනා (True by Tina) හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂිකා ටිනා ලෝබෝ චන්ද්‍රසේනයි.

කොළඹ අහස යට සිටිනා බව අමතක කරවන සුළු සුන්දරත්වයක් ඒ වටපිටාව තුළ විය. මා ඇගේ නිවසේ බැල්කනියේ වාඩිවී නිදහසේ කතාබහ කිරීමට පටන් ගතිමි.

‘‘ටීනට ඇයි සෙල්ලම් බඩු හදන්න හිතුනේ?’’

‘‘ඒකට බලපෑව හේතු කිහිපයක් තියෙනවා. මගේ පුංචි දුව ආරීයාට තත්ත්වයෙන් උසස් ආරක්ෂිත සෙල්ලම් බඩු දෙන්න මට ඕන වුණා. ඒකට මගේ හිතට හරියන සිලිකන් බඩු හොයාගන්න මට බැරිවුණා. පස්සෙ සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍ය හොයාගෙන එයාට ඕන කරන ටීදර් (teether), රින්ග් රැට්ල් (Ring rattle) වගේ සෙල්ලම් බඩු මගේ අතින්ම හදන්න තීරණය කළා. 2019 දි තමයි මුලින්ම මේවා හැදුවේ. දැන් විනෝදාංශයක් විදිහට මම මේ ව්‍යාපාරය කරගෙන යනවා.’’

ටෘෘ බයි ටීනාහි ආරම්භය ගැන ඇය සිය මතකය අවදි කළේ එහෙමය.

‘‘මම ඉපදුනේ මැංගලෝර්වල. ඒක ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ තියෙන සුන්දර වෙරලාශ්‍රිත නගරයක්. මම පුංචි කාලේ ඉගෙනගත්තේ අබුඩාබියේ. පස්සේ එංගලන්තේ නොටිංහම් සරසවියෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා.’’

එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය ලබන කාලයේදී කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් මෙන්ම මූල්‍යකරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබාගැනීමට ඇය කටයුතු කළාය. විවාහයෙන් පසු ලංකාවේ පදිංචියට පැමිණි ඇය කාලයක් ඕස්ට්‍රේලියානු සමාගමක මූල්‍යකරණ උපදේශිකාවක ලෙසද කටයුතු කර ඇත.

කුඩා වියේ සිට කලාත්මක දෑ ගැන ඇල්මක් තිබුණද අධ්‍යාපනයේ සහ රැකියාවේ කාර්යබහුලත්වය නිසා එවන් දෑ මඟහැරුණු බවත් ඈ කියයි.

‘‘කවදහරි දවසක මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න ඕනේ කියන හීනේ හිතේ තිබුණා.’’

දැන් ඒ හීනය සැබෑ වී ඇත. කතාව අතරතුර ටීනා ඇය නිර්මාණය කළ සිඟිති භාණ්ඩ කිහිපයක්ම ම​ගේ දෑත් මත තැබුවාය.

‘‘මේවා හදලා තියෙන්නේ මම කැමතිම පාටවලින්. ඒ වගේම මේවගේ සැලසුම් පවා මම අතින්ම තමයි හදාගන්නේ.’’

කුඩා දරුවකු ආවට ගියාට හැම සෙල්ලම් බඩුවකටම කැමති වන්නේ නැත. ඒත් ටීනාගේ මේ සෙල්ලම් බඩුවලටම ආවේණික වර්ණ ළදරු නෙත් පැහැර ගන්නා බව සිතිය හැක. එමෙන්ම හානිකර සංඝටක කිසිවක් අඩංගු නොවන නිසා දරුවන්ට ආදරේ අම්මලා තාත්තලා මේ සෙල්ලම් බඩු දරුවෙකුට ලබාදීම ගැන දෙවරක් සිතිය යුතු නොවේ.

‘‘දුවට හදපු මේ නිර්මාණ නිකමට වගේ මගේ ඉන්ස්ටග්‍රෑම් එකේ දැම්මා. ඒ වෙලාවේ මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා 2020 ජූලි මාසේ වෙනකොට ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරලා මේ වැඩේ පටන්ගත්තා.’’

වෙළෙඳ ව්‍යාපාරයකට මුල්ගල් තැබීම පහසුය. ඒත් වෙළෙඳපොළ සාර්ථකත්වය පවත්වා ගැනීම එතරම් පහසු නැත. ඒ නිසා වෙළෙඳපො‍ළ් හොඳ නමක් දිනාගැනීමට ඈ ඇපකැප වන්නීය.

‘‘මේවා වැඩිපුරම භාවිතා කරන්නේ ළදරුවොනේ. ඒ නිසා භාණ්ඩ හා අමුද්‍රව්‍යවලට දේශීය වගේම ජාත්‍යන්තර තත්ත්වය සහතික ලබාගන්නත් මම අමතක කළේ නැහැ.’’

මෙම සිලිකන් නිෂ්පාදනවල කිසිඳු රසායනික සංඝටකයක් අඩංගු නොවන බව තහවුරු කර ඇති අතර ප්‍රමිතිගත අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ගෙන් ලබාගන්නා සිලිකන් (Food Grade Silicone) හා ප්‍රතිකාර නොකළ දැව (Untreated wood) කාබනික හා පරිසර හිතකාමී දෑ මේවායේ අමුද්‍රව්‍ය ලෙස භාවිත කරයි.

ටෲ බයි ටීනා සන්නාමය යටතේ නිපදවෙන සියලුම පිඟන් භාණ්ඩ හා අමුද්‍රව්‍ය සඳහා FDA (Food and Drugs Administration, USA) තත්ත්ව සහතිකය ලබාගෙන ඇත. එමෙන්ම ඒ සියල්ල CPSC (Consumer Product Safety Commission, UAS) ප්‍රමිතීන්ට අනුව ඉතාමත් සෞඛ්‍යාරක්ෂිත සකසා තිබෙන බවද සහතික කර ඇත. එපමණක් නොව මෙම භාණ්ඩ සඳහා දේශීය ප්‍රමිති ආයතනයක් වන CISIR (කාර්මික තාක්ෂණ ආයතනය) යටතේ ද ස්වාධීන තත්ත්ව සහතිකයත් ලබාගත් බවත් ඈ කීවේ තම භාණ්ඩවල උසස් තත්ත්වය පිළිබඳ ආඩම්බර වන ආඩම්බරකාර ව්‍යවසායිකාවක් ලෙසින්ය.

‘‘පාට පාට සිලිකන් පිඟන් භාණ්ඩවලට තමයි දැන් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. ඒ වගේම රින්ග් රැට්ල්, හෙයා බ්‍රෂ්, පබළු ක්ලිප්ස්වලට එහෙමත් හොඳ ඉල්ලුමක් තියෙනවා. ගොඩක් සෙල්ලම් බඩු සෙල්ලම් කරද්දි කැඩිලා බිඳිලා යනවනේ. හැබැයි මේවා නම් එහෙම කැඩෙන්නේ නැහැ. හැබැයි කාලයත් එක්ක ඕනම දෙයක් ගෙවෙනවා. ඉතින් මේවත් එහෙමයි. මාස හයකින් පස්සේ දරුවන්ගේ සෙල්ලම් බඩු ගෙවිලද කියලා හොයන එක දෙමව්පියන්ගේ වගකීමක්.’’

ටෲ සන්නාමය දවසින් දවස ජනප්‍රිය වෙද්දී කොවිඩ් නිසා රැකියා නොමැතිව අසරණව සිටින උදවියට ඒ තුළින් රැකියා ලබාදීම ඇගේ ඊළඟ බලාපොරොත්තුවයි.

‘‘මේ වෙනකොට ආදායම් අහිමිවෙලා අසරණ වුණු අය ඕනතරම් ඉන්නවනේ. ඉතින් ඔවුන්ට නව ආදායම් මාර්ගයක් සකස් කරන්න මම කැමතියි. ඒ වගේම කොවිඩ් අවදානම අඩු වුණාට පස්සේ ජාත්‍යන්තර සහ දේශීය සමාජ සේවා සංවිධාන එක්ක එකතුවෙලා භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ වැඩමුළු, උපදේශන පවත්වන්නත් මගේ අදහසක් තියෙනවා.’’

තමාගේ බඩවියත ගැන මිස අන්‍යයන්ගේ අමාරුකම් ගැන හිතන පිරිස අඩුය. නමුත් මේ සොඳුරු කර්ණාටක යුවතිය එවැන්නියක නොවන බව කතාවෙන් පැහැදිලිය.

‘‘ටෲ බයි ටීනා සන්නාමයෙන් පොඩි ප්‍රදර්ශනාගාරයක් විවෘත කරන එක තමයි ව්‍යාපාරය පැත්තෙන් මගේ ඊළඟ පිම්ම. දෙමාපියන්ට පොඩි පැටවුන්ටත් එක වගේ සතුටු වෙන්න පුළුවන් විදියේ ප්‍රදර්ශනාගාරයක් හදන්නේ කොහොමද කියන එක මේ දවස්වල මම සැලසුම් කරනවා. ඒකේ පළවෙනි පියවර විදිහට මම ටෲ බයි ටීනා (www.truebytina.com) වෙබ් අඩවිය එළිදැක්වුවා.’’

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයට පා තැබීමට සිහින දකින්නන් වෙනුවෙන් වචනයක් දෙකක් කතා කිරීමටත් ඈ අමතක නොකළාය.

‘‘ව්‍යාපාරයක් පටන් ගන්න කලින් බොහෝ දේවල් ගැන හිතන්න ඕනේ. හැබැයි සේරටම වඩා ඒ ගැන හිතේ තියෙන දැඩි ඇල්ම සහ ස්ථිර අධිෂ්ඨානය වැදගත්. ඒ වගේම තමයි තමන් කරන දේ ගැන නිවැරදි දැනුමක් ලබාගන්න එකත් වටිනවා. ව්‍යාපාරය සාර්ථක වෙනකොට මුලදි තිබුණු ප්‍රමිතිය අඩු කරන අයත් ඉන්නවා. හැබැයි එහෙම දේවල් කරලා දියුණු වෙන්න අමාරුයි. ඉතින් නිතරම තත්ත්වයෙන් උසස් භාණ්ඩ ලබාදෙන්න ඕනෙ කියන එක තමයි මගේ අදහස.’’

අද ‘ධරණී’ කවරය දරා සිටින ‘ටෲ බයි ටීනා’ සන්නාමයේ හිමිකාරිය ටීනා සහ ඇගේ සිඟිති දියණිය ආරීයාට සමුදෙමින් අපි ඒ සොඳුරු කතාබහ එසේ නිම කළෙමු.

හර්ෂිණි රත්නායක