විශේෂාංග

මට කොහෙන්හරි සල්ලි හොයලා දුන්නේ නැත්නම් උඹේ පැටිකිරිය මිනිහටයි මිනිහගෙ පවුලේ අයටයි කියන්න වෙනවා

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර උපදේශන නිලධාරිනී භාග්‍යා අබේසිංහ
———————
“ගොඩක් කාන්තාවන් පළමු වතාවට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ තමන්ගේ සැමියා නැතිනම් පෙම්වතා එක්ක. මනෝවිද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව කාන්තාවක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන වේගය පිරිමියෙක්ට සාපේක්ෂව වැඩියි. ඒකට හේතුව තමයි කාන්තාවකගේ ශරීරයේ තිබෙන ජල ප්‍රමාණය අඩුයි. ඒ වගේම මේද ප්‍රමාණය වැඩියි. මේ හේතු නිසා මත්ද්‍රව්‍ය වැනි දෙයක් භාවිතා කළාට පස්සේ වැඩි කාලයක් එය කාන්තාවකගේ ශරීරයේ රැඳී පවතිනවා. මේකෙ තියන භයානකකම තමයි යම් කාන්තාවක් අත්හදාබලන්න කියලා හිතලා එක් වරක් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කළොත් පිරිමියෙක්ට වඩා ඉක්මනින් ඇය ඊට ඇබ්බැහි වීම.”

එසේ පවසන්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර උපදේශන නිලධාරිනී මනෝවිද්‍යාඥ භාග්‍යා අබේසිංහය. ඇයගේ වෘත්තීය ජීවිතයේ මුණගැසුණු එවැනි සිදුවීමකට මුහුණ දුන් කාන්තාවක් පිළිබඳවද භාග්‍යා අපට හෙළි කළාය. මනඃකල්පිත නම්, ගම් ඔස්සේ එම සත්‍ය සිදුවීම ඔබ හමුවේ මෙසේ දිගහරින්නෙමු.

නදීගේත් කසුන්ගේත් එකම දියණිය වන හංසි, මොහොතින් කාගේත් සිත් දිනාගන්නා ඉතා සුරතල් දියණියකි. නගරයෙන් මඳක් ඇතුළට වන්නට ඔවුන්ගේ නිවස පිහිටා තිබූ නිසා සිඟිති දියණියව නිවස අසලම පෙර පාසලකට ඇතුළත් කිරීමට කසුන් තීරණය කළේය.
“ඔයාට පිස්සුද අපේ දුවව ඕකට යවන්න හදන්නේ? ටවුන් එකේ තියෙන මොන්ටිසෝරියේ වැඩ සේරම කරන්නේ ඉංග්‍රීසියෙන්. එතනට ගියොත් නම් දුව ඉංග්‍රීසි ටිකක් හරි ඉගෙනගනී.”

නදීගේ මෙන්ම කසුන්ගේත් එකම සිහිනය වූයේ තම දියණියට හොඳින් උගන්වා පැහැසර අනාගතයක් උදාකර දීමය. ඒ නිසා අකමැත්තෙන් වුවත් නදීගේ ඉල්ලීමට එකඟ වීමට කසුන්ට සිදුවිය.

කසුන් පාන්දර යාමයේම රැකියාවට පිටත්වන නිසා නදීට දියණියව පාසලට ඇරලවීමට සහ නැවත රැගෙන ඒමට ත්‍රීරෝද රථයක් කතාකරදීමට ඇත්නම් හොඳ යැයි ඔහු සිතුවේය.

හන්දියේ ත්‍රීවිල් හයර් දුවන ජානකගේ සාධාරණ මුදල් අයකිරීම නිසා කසුන් මේ කටයුත්ත ජානකට බාරදුන්නේ හිතේ විශ්වාසයෙන්ය.
පෙර පාසලට ගිය පළමු දිනයේම දියණිය හඬන්නට වූයෙන් එදින පෙර පාසල අවසන් වනතුරුම ඇයට පෙනෙන දුරින් රැඳී සිටීමට නදී සිතුවාය.

දෙවෙනි දිනයේදීත් දියණිය හඬන්නට වූයෙන් පෙර පාසල අවසන් වනතුරු එහි ගේට්ටුව අසලට වී සිටීමට නදීට සිදුවිය.
“ඔයාට මෙතන තනියම ඉන්න බැහැනේ. මාත් බබා එනකල් ඔයා එක්ක ඉන්නම්.”

ජානකගේ සාධාරණ අයකිරීම් සහ ඔහුගේ කරුණාවන්ත බව නිසා නදී ඔහුව විශ්වාස කළේය. මේ අයුරින් තවත් සති දෙකක් පමණ ගතවිය. දියණියගේ ඇඬුම් දෙඩුම් නිසා නදී සහ ජානක මේ සෑම දිනකම ඇය එනතෙක් පෙරපාසල අසලම රැඳී සිටියෝය. ඒ කාලය අතරතුර ජානකත් නදීත් ත්‍රීරෝද රථයට වී ආගිය තොරතුරු කතාබහ කිරීමටත් අමතක නොකළෝය.

මෙලෙසින් ඇරඹි කතාබහ ආදරයකට පෙරළෙන්නට වැඩි දවසක් ගියේ නැත. එපමණක් නොව මාස දෙකක පමණ කෙටි කාලයකින්ම නදීව ලිංගික සබඳතාවයකට පොළඹවා ගැනීමට තරම් ජානක සූක්ෂම වී තිබිණි. දැන් නදීට දියණිය ගැන හාංකවිසියක් නැත. උදෑසනම දියණියව පෙර පාසලට ඇරලවන ඇයට ඉතිරි පැය කිහිපයේ සිතූ සේ ජානක සමග ආදර ලෝකයේ තනි වනවාට වඩා වටිනා දෙයක් නොවීය.

ජානක ඒ වනවිටත් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බව නදී දැනගන්නේ ඔය අතරය. නමුත් ඔහුට ඇති ආදරය නිසා ඔහුව අත්හැරීමට නදීට සිත් දුන්නේ නැත. ජානක ද නිකන් හිටියේ නැත. ඔහුට අවශ්‍ය වූයේ නදීටද මත්ද්‍රව්‍ය හුරුකරවීමටයි.
“ඔයා මට ආදරෙයි නම් එක පාරක් අරන් බලන්නකෝ. ඊටපස්සේ අපිට තවත් ආදරෙන් ඉන්න පුළුවන්.”

තම අනියම් පෙම්වතාගේ ඉල්ලීම ඉවතලීමට නොහැකි තැන අකමැත්තෙන් වුවද මත්කුඩු භාවිත කිරීමට නදීට සිදුවිය. සිඟිති දියණිය ගැන හෝ තැකීමක් නොකළ නදී පසුව මත්ද්‍රව්‍ය නොමැතිව ජීවත් වීමට නොහැකි තරමටම ඒවාට ඇබ්බැහි විය.
“අද මගෙ අතේ සල්ලි නැහැ. අපිට කසුන්ගෙන් සල්ලි ටිකක් ගන්න බැරිවෙයිද?”

ජානකගේ දැඩි ඉල්ලීම නිසා කිහිපවරක්ම කසුන්ගේ පසුම්බියෙන් මුදල් සොරකම් කිරීමට යොමුවූවත් නිතර නිතර කසුන්ගේ මුදල් සොරකම් කිරීමටද නදී බිය වූවාය.

“එහෙම කියලා කොහොමද? අපේ වැඩේට සල්ලිත් ඕනෙනේ. ඔයා කැමතිනම් සල්ලි හොයාගන්න අපිට තව විදිහක් නම් තියෙනවා.”
ජානක කීවේය. මුදල් සොයාගැනීමට ජානකගේ ඊළඟ උපාය වූයේ නදීව තම යහළු මිත්‍රාදීන් අතර මුදලට විකිණීමයි. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි නදී ද ඒ යෝජනාවට එකඟ වීමට දෙවරක් සිතුවේ නැත.

මේ සෙල්ලම ජයටම සිදුවෙද්දී, බමනමත නිසා නිවසේ වැඩත්, දියණියගේ කටයුතුත් අතපසු කළ නදී සිටියේ වෙනම ලෝකයකය.
නදීගේ පැටිකිරිය, ගමේ ගොඩේ ලැව්ගින්නක් මෙන් පැතිරී යද්දී කසුන්ටද සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු ආරංචි විය. එතැන් පටන් ජානකගේ ත්‍රීරෝද රථයේ දියණිය පෙර පාසලට රැගෙනයාම නතර කළ කසුන් නදීට නිවසින් පිටතට යා නොහැකි ලෙස තහංචිද දැමුවේය. සිත්තැවුල නිසා මත්වතුර භාවිතයට යොමු වූ කසුන් දිනපතා නදීට ගුටිබැටද දුන්නේය.
කසුන්ගේ ගුටිබැට මදිවාට ජානකගේ තර්ජන ගර්ජනවලින්ද නදීට නම් අඩුවක් පාඩුවක් නොවීය.

“මට අද සල්ලි ටිකක් ඕනේ. කොහොමහරි හොයාගෙන වරෙන්. නැත්නම් උඹ ගැන සේරම විස්තරේ මිනිහටයි, මිනිහගෙ පවුලේ අයටයි කියනවා…”

කසුන්ගෙනුත්, ජානකගෙනුත් ලද පීඩාවලට අමතරව මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වූ පසු ඇතිවන ‘විරමණ’ තත්ත්වයෙන්ද පීඩා විඳි නදී මත්ද්‍රව්‍ය ඉල්ලා හඬමින්, කෑගසමින් කාලය ගත කළ අතර, මේ සියලු ගැටළු නිසා හිංසාවට සහ පීඩාවට පත්වූයේ කිසිත් නොදත් පුංචි මල් කැකුල හංසි ය.

“ටීචර්… දැන් අපේ අම්මගේ වැඩේම අඬන එක. අපේ තාත්තයි, අම්මයි හැමදාම රෑට ගෙදර බඩු කුඩුපට්ටම් කරනවා. තාත්තා අම්මට හොඳටෝම ගුටිත් දෙනවා ටීචර්…”
හංසි සියල්ල ඇයගේ පෙර පාසලේ ගුරුතුමියට කීවේ නොතේරුම්කම නිසාය. නමුත් නදීගේ වෙනසක් ගුරුතුමියටද එයට පෙර සිටම වැටහී තිබූ නිසාම ඇය නිවසටම ගොස් නදීව හමුවීමට තීරණය කළාය. එහිදී නදී හැඬූ කඳුළින්ම සිදුවූ සියල්ල පෙර පාසල් ගුරුතුමිය සමඟ පැවසූ අතර වහාම ක්‍රියාත්මක වූ ගුරුතුමිය මේ ගැන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට පැමිණිලි කළාය.

පසුව නදීව මෙන්ම ඇයගේ සැමියා වන කසුන්වද උපදේශන සේවා වෙත යොමු කෙරුණ අතර ජානක මේ වනවිටත් සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර උපදේශන නිලධාරිනී මනෝවිද්‍යාඥ භාග්‍යා අබේසිංහ තවදුරටත් මේ ගැන අදහස් දැක්වූයේ මෙසේය.

“නදීව මට හමුවෙනකොට ඇය හිටියේ විශාල කායික සහ මානසික පීඩාවකින්. මැරෙන්නට සිතෙන බව ඇය මාත් එක්ක කිහිප සැරයක්ම කිව්වා. නමුත් උපදේශනයට යොමුවෙලා කෙටි කාලයකින්ම ඇය සාමාන්‍ය තත්ත්වයට පත්වුණා. ඇය විතරක් නෙවෙයි ඇයගේ ස්වාමි පුරුෂයා කසුනුත් මත්වතුර භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නතර කළා.

පළමු අත්දැකීම නොගන්නාතාක් අපිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවී ඉන්න පුළුවන්. ඇත්තටම මේවට ඇබ්බැහි නොවී ඉන්න එක තමයි වැදගත්ම දේ. ඒත් දැනටමත් ඇබ්බැහිවීමක් සිදුවෙලා නම් ඒ අයගේ උපකාරයට ඔවුන් එක්ක අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අපි ඉන්නවා. ‘1927’ කියන්නේ මත්ද්‍රව්‍ය ගැටළු සඳහාම පමණක් වෙන්වුණු ක්ෂණික ඇමතුම් අංකයක්. ලංකාවේ කොහේ හිටියත් ඕනම වෙලාවක මේ අංකයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ දීර්ඝකාලීන මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමක් නිසා මොළයේ යම් යම් කොටස්වලට හානි වෙන්න ඉඩ තියෙනවා. ඒත් දීර්ඝකාලික ඇබ්බැහිවීමකට නොයා සාර්ථකව මේ ඇබ්බැහිවීමෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වෙලා සාර්ථක ජීවිත ගතකරන ඕනෑතරම් දෙනා මගේ වෘත්තමය ජීවිතයේ මට හමුවෙනවා. ඒ නිසා කිසිම විටෙක උපදේශන සේවා සඳහා යොමු වෙන්න මැලි වෙන්න එපා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය එක්ක මේ දවස්වල පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට ඇතුළත් කරගැනීමේ අවහිරතා පැවතුණත් ඉඩලද වහාම ඒ කටයුතු සඳහා යොමුකිරීම් සිදු කරනවා. නමුත් ප්‍රජාපාධක ප්‍රතිකාර ක්‍රමය යටතේ නිවසේ සිටම ලබාගත හැකි උපදේශන සේවාවන් මේ වනවිටත් ක්‍රියාත්මක වෙනවා.”

සෙව්වන්දි හෙට්ටිආරච්චි