නවතම ප්‍රවෘත්ති

රුපියල් හැටදාහක් ගෙවපු රස්සාව අතෑරලා මම අටදහස් පන්සීයේ රස්සාව තෝරාගත්තා

යතුරුලියන්නියක ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කර ප‍්‍රධාන විධායක නිලධාරිනී මට්ටම දක්වා පැමිණි නදී ධර්මසිරි අද අපේ කතා නායිකාවයි. වාණිජ අංශයෙන් උසස්පෙළ විභාගයට සූදානම් වුවත් ජීවිතය හමුවට ආ එකී නොකී ප‍්‍රශ්න හේතුවෙන් ඇයට විභාගයට ඉදිරිපත් වීමට නොහැකි විය. එහෙත් අවසන අධ්‍යාපන ගමනේ ඉහළටම ගිය ඈ මහා බ්‍රිතාන්‍යයේ සී.අයි.එම්. අධ්‍යක්ෂ මණ්ඩලයටද තේරී පත්වූවාය. ඒ අතරතුර ආ අභියෝග සාර්ථකව කළමනාකරණය කරගනිමින් සතුටින් ජීවිතය දරන නදී ඒ ගැන ‘ධරණී’ට කී කතාවයි මේ.

 

*උසස් පෙළ පංතිවල ඉගෙනගනිද්දි සෑම සෑම විෂයකටම ලකුණු අනූවකට වඩා ගත්ත ඔබ උසස් පෙළ විභායට ඉදිරිපත් වුණේ නැති බව මම අහලා තියෙනවා. අපි මේ කතාබහ එතැනින් පටන්ගනිමු?

හොඳයි. ඔය කාරණයට එන්න කලින් මම පුංචි කාලයේ පටන් ලබපු අධ්‍යාපනය ගැන කෙටියෙන් කියන්නම්. මම වයස මාස හයේ ඉදන් අවුරුදු හයක් වෙනකම් ජීවත්වුණේ ජර්මනියේ. ඒ මගේ තාත්තා රාජ්‍ය තාන්ත‍්‍රික සේවයේ රැකියාව කළ නිසා. මම මොන්ටිසෝරි ගියේ ජර්මනියේ. ඊටපස්සෙ මුලින්ම පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ. පුංචිම කාලෙ පටන් ඉස්කෝලෙ ඇරිලා ආපු හැටියේ මම කළේ පහුවදාට කරගෙන එන්න කියලා දීපු ගෙදර වැඩ කරන එක. අම්මවත් තාත්තාවත් කියලා නෙමෙයි මම එහෙම කළේ. මමම හිතලයි එහෙම කළේ.

එහෙම හොඳින් අධ්‍යාපන කටයුතු කළත් ශිෂ්‍යත්ව විභාගය පවත්වන දවස වෙනකොට මට හොඳටම උණ හැදුනා. උණ නිසා යන්න එපා කියලා ගෙදරින් කියද්දිත් මම ශිෂ්‍යත්වය ලියන්න ගියා. ඒ ගැහි ගැහී. එහෙම ගිහින් ලියපු ශිෂ්‍යත්ව විභාගයෙන් මම සමත් වුණේ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෙවැනියා විදියට. ශිෂ්‍යත්ව ප‍්‍රතිඵලය මත මට ඕනෑම පාසලක් තෝරාගැනීමේ අවස්ථාව ලැබුණා. ඒ අනුව මම තෝරාගත්තෙ කොළඹ විශාකා විද්‍යාලය. මගේ පාසල් ජීවිතයේ කිසිම වාර විභාගයක කිසිඳු විෂයකට ලකුණු අසූපහකට අඩුවෙන් අරන් නැහැ. පළවැනි තුන්දෙනාගෙන් පහළට ගිහිල්ලත් නැහැ.

ඔය විදියට අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරේ සාමාන්‍ය පෙළ පංතියෙදි මට මගේ පළමු පෙම්වතා මුණගැහුනා. ප්‍රේම සම්බන්ධය පටන්ගත්තට පස්සෙ පවත්වපු පළවැනි වාර විභාගයෙදි මම පංතියෙ හයවැනියා වුණා. ඒ තමයි මම පංතියේ තුන්වැනියාගෙන් පහළට ගිය පළවැනි සහ එකම අවස්ථාව. ඒ වෙලාවෙ මාව ෂොක් වුණා. හැබැයි ඊළඟට පවත්වපු වාර විභාගයේ පටන් මම එය නිවැරදි කරගත්තා. මම සාමාන්‍යයෙන් මගේ ජීවිතයේ කිසිම දෙයක් අම්මගෙන් හංගන්නෙ නැහැ. ප්‍රේම සම්බන්ධය පටන්ගත්තට පස්සෙත් සතියකින් මම ඒ ගැන අම්මට කිව්වා.

 

*සාමාන්‍ය පෙළ පංතියේ ඉන්න දුව ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්තා කිව්වහම අම්මා මොන වගේ ප‍්‍රතිචාරයක්ද දැක්වූයේ?

අම්මා වැඩිය එය ගණන් ගත්තෙ නැහැ. අම්මා හිතන්න ඇති ඉස්කෝලෙ කාලෙ පෙම් සබඳතාවයක් නිසා එය වැඩිකල් තියෙන එකක් නැහැ කියලා. හැබැයි ඒක එහෙම වුණේ නැහැ. ප්‍රේම සම්බන්ධය පටන්ගත්තට පස්සෙ මගේ පෙම්වතා විදේශගත වුණා. විදේශගතව ඉදලා ආපහු ආවට පස්සෙ ඔහු අපේ ගෙදර ආවා. ඒ වෙලාවෙ අපේ අම්මට තේරුණා එය නවතින සම්බන්ධයක් නෙමෙයි කියලා. ආගමික පසුබිම්, ආර්ථික පසුබිම්, පවුල් පසුබිම් වගේ කාරණා මත මට ඔහුව නොගැළපෙනවා කියන මතයේ අපේ අම්මා හිටියේ. ඒ නිසා මගේ ප්‍රේම සම්බන්ධයට අම්මා තදින්ම විරුද්ධ වුණා.

අපේ අම්මයි මමයි දෙන්නම හරිම මුරණ්ඩුයි. අම්මා මගේ ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වීමත් සමඟ ඇතිවුණු ප‍්‍රශ්න නිසා මට උසස් පෙළ විභාගය ලියන්න බැරිවුණා. මෙතැනදි මම ඔබට තවත් දෙයක් කියන්න ඕනි. මගේ පළමු පෙම්වතා දැඩිලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවෙක් කියලා ඊට පසු කාලයක මම දැනගත්තා. හැබැයි එහෙම දැනගත්තට පස්සෙත් මම ඔහුව අත්හැරියේ නැහැ. අවුරුදු හතක් මම උත්සාහ කළා ඔහුව මත්ද්‍රව්‍යවලින් ගලවා ගන්න. ඒකට මගේ දෙමව්පියනුත් ඔහුගේ දෙමව්පියනුත් උදව් කළා. ඒත් අපේ උත්සාහය සාර්ථක වුණේ නැහැ. ඊටපස්සෙ මම ඒ සම්බන්ධය නතර කළා.

 

*උසස් පෙළ විභාගයට ඉදිරිපත් නොවුණත් ටයිපිස්ට් කෙනෙක් විදියට රැකියාවකට යොමුවෙලා ඔබ ඉතාම සාර්ථක වෘත්තිය ගමනක් ඇවිත් තියෙනවා. ඇයි ඒ ගමන ටයිපිස්ට් කෙනෙක් විදියට පටන්ගන්න හිතුවේ?

ඒක වුණේ මෙහෙමයි. උසස් පෙළ විභාගයට ඉදිරිපත් නොවී කාලය ඔහොම ගෙවෙද්දි අපේ අම්මා තමයි මට කිව්වේ ජාතික ආධුනිකත්ව මණ්ඩලය නොමිලේ පවත්වන යතුරුලියනය පාඨමාලාව ගැන. මම ඒක කරන්න පටන්ගත්තා. ඒක වසරක පාඨමාලාවක්. පාඨමාලාව පටන් අරන් මාස හතකට පස්සෙ පාඨමාලාව කරපු අය වෙනත් ආයතනවලට දැම්මා ප‍්‍රායෝගික පුහුණුවට.

මට මතක විදියට ඔය පාඨමාලාවෙ විභාගයෙන් මම සමත් වුණේ පළමුවැනියා නැත්නම් දෙවැනියා විදියට. එහෙම සමත් වෙලා ලැබුණු ලකුණු අනුව අපිව පුහුණු කරන්න ඉල්ලන ආයතන අතරින් තමන් කැමති එකක් තෝරාගැනීමේ අවස්ථාව මට හිමිවුණා. ඒ අනුව මගේ තෝරාගැනීම වුණේ සංචාරක මණ්ඩලය. සංචාරක මණ්ඩලයේ ටයිපිස්ට් කෙනෙක් විදියට කාලයක් වැඩ කරලා ඊටපස්සෙ මම සීටීසී ඊඟල් ආයතනයට එක්වුණා ස්ටෙනෝග‍්‍රැෆර් කෙනෙක් විදියට. එතැන ස්ටෙනෝග‍්‍රැෆර් කෙනෙක් විදියට අවුරුදු හතරක් වැඩ කළාට පස්සෙ මට උසස් වීමක් ලැබුණා දෙපාර්තමේන්තු ලේකම් කෙනෙක් හැටියට.

ඊටපස්සෙ මම ලේකම් කෙනෙක් විදියට කළ යුතු සෑම විභාගයක්ම කළා. ලේකම් කෙනෙක් හැටියට ඒ කාලෙ කරන්න පුළුවන් ඉහළම විභාගය තමයි London Chamber of Commerce Industry (Private Secretary’s Certificate)කියන එක. ඒක අවුරුද්දක පාඨමාලාවක්. මම ඔය විභාගය කරපු අවුරුද්දෙ ඒකෙන් ලංකාවෙන්ම සමත් වුණේ දෙන්නයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මම. ඒ අනුව ඒ කාලෙ ලංකාවෙ හිටපු ලේකම්වරියන් අතරින් ඉහළම සුදුසුකම් සපුරපු කීපදෙනා අතරින් මම එක්කෙනෙක් වුණා. ඔය විදියට සෙකටේරියල් ෆීල්ඩ් එකේ ඉහළටම ගිය මම අන්තිමට නැවතුනේ මහරාජා ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂවරයකුගේ පෞද්ගලික ලේකම්වරිය වෙලා. මහරාජා ව්‍යාපාර ව්‍යුහය අනුව මම දරපු පෞද්ගලික ලේකම් තනතුර ජ්‍යෙෂ්ඨ කළමනාකාර කියන තනතුරට සමාන වුණා.

 

*පෞද්ගලික ලේකම්වරියක් ලෙස ඉහළටම ගිය ඔබේ වෘත්තිය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙන්නෙ අලෙවිකරණ ක්ෂේත‍්‍රයට පිවිසීමෙන්. කොහොමද අලෙවිකරණයට යොමුවුණේ?

මම කලින් ඔබට කියපු එල්.සී.සී.අයි.පී.එස්.සී. පාඨමාලාවේ එක විෂයක් තිබුණා Economics and External affairs කියලා. ඔය විෂය ඉගෙනගනිද්දි තමයි මට මාකටින්වල විෂය කාරණා ගැන යම් අවබෝධයක් ඇතිවුණේ. අලෙවිකරණය ගැන තිබුණු කැමැත්ත එතකොට තවත් වැඩි වුණා. මහරාජා ව්‍යාපාරයේ මූලිකත්වයෙන් ඩයලොග් ආයතනය ආරම්භ කරද්දි මහරාජා සමාගම් සමූහයේ සභාපති වුණු කිලී මහරාජා මහත්තයා මාව එක්කර ගත්තා ඩයලොග් එකට. ඩයලොග් ආයතනයේ ආරම්භක සාමාජිකයන් හත්දෙනා අතරින් එක්කෙනෙක් මම.

මහරාජා ආයතනයෙදි මට සැලකියයුතු ඉහළ වැටුපක් ලැබුණා. හැබැයි එතැන ඉන්නකොට මට දැනුණා මාකටින්වල පහළම පියවරේ ඉදලා අත්දැකීම් මම ලබන්න ඕනි කියලා. ඒ නිසා මහරාජා ආයතනයෙන් ඉවත් වෙලා මම හේමාස් සමාගමට එක්වුණා Trainee Product Executive කෙනෙක් විදියට. ඒ කියන්නෙ මහරාජා ආයතනයෙදි දරපු තනතුරට වඩා බෙහෙවින් පහළ මට්ටමේ තනතුරකට. මහරාජා ආයතනයෙන් මට රුපියල් හැටදහසක වැටුපක් ලැබුණා. හේමාස් ආයතනයෙන් ආරම්භයේදි ලැබුණේ අටදහස් පන්සියයක වැටුපක්. මට එතැනදි වැදගත් වුණේ තනතුර සහ වැටුපට වඩා අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ ලබන අත්දැකීම්.

එහෙම ආරම්භ කරපු අලෙවිකරණ වෘත්තිය ගමන නිෂ්පාදන විධායක, සන්නාම කළමනාකරු, අලෙවි කළමනාකරු, අලෙවි සේවා කළමනාකරු, සහකාර සාමාන්‍යාධිකාරී, සාමාන්‍යාධිකාරී, අලෙවි ප‍්‍රධානී, අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක ලෙස ඉහළටම එන්න පුළුවන් වුණා. මම එහෙම වෘත්තිය ජීවිතයේ ඉදිරියටම ආවේ උසස් පෙළින් මගහැරුණු අධ්‍යාපන කටයුතුත් සම්පූර්ණ කරගන්න ගමන්. සී.අයි.එම්. කරලා පසු කාලයක මම සී.අයි.එම්. ලංකාවෙ සභාපතිනිය වුණා. ඒ කාලෙම මහා බ්‍රිතාන්‍යයේ සී.අයි.එම්. අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වයට පත්වුණා. සී.අයි.එම්. වගේම එම්.බී.ඒ. කළා. මම එම්.බී.ඒ. කළේ පී.අයි.එම්. එකේ. මෙරිට් පාස් එකකුත් ගන්න පුළුවන් වුණා. පස්සෙ කාලෙක ඩිජිටල් මාකටින් ඩිප්ලෝමාවකුත් කළා. මිනිසුන්ගෙ මනස ගැන වැඩි අවබෝධයක් ලබාගන්න මනෝ උපදේශනය ගැනත් ඉගෙනගත්තා. අදත් තවදුරටත් මම අධ්‍යාපන කටයුතු කරනවා.

 

*ඔබ අලෙවිකරණ වෘත්තිය ජීවිතය ආරම්භ කළේ හේමාස් ආයතනයෙන්. එතැනින් පටන් අරන් මේතාක් පැමිණි වෘත්තිය ගමනෙදි ඔබ සේවය කළ ආයතන පිළිවෙලින් සඳහන් කරන්න පුළුවන්ද?

හොඳයි මම එය පිළිවෙලින් කියන්නම්. හේමාස් ආයතනයෙන් ෆීනික්ස් ඇඩ්වර්ටයිසින්. ෆීනික්ස් එකෙන් පස්සෙ රිට්ස්බරි සහ මන්චී සමාගම. එතැනින් ලින්ක් නැචුරල්. ලින්ක් නැචුරල් සමාගමේ නිෂ්පාදනයක් වන සමහන් පැකැට්ටුවේ අදටත් තියෙන්නෙ මගේ මූලිකත්වයෙන් කරපු කවර නිර්මාණය. ලින්ක් නැචුරල් සමාගමෙන් පස්සෙ ග‍්‍රාන්ට් ඇඩ්වර්ටයිසින් ආයතනයේ වැඩකළා අවුරුදු පහක් විතර.

එතැනින් පස්සෙ ඒෂියන් එලායන්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සේවය කළා අවුරුදු නමයක්. දැන් සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස් බවට පත්වෙලා තියෙන්නෙ එදා ඒෂියන් එලායන්ස් නමින් තිබුණු රක්ෂණ සමාගම. ඒෂියන් එලායන්ස් එකෙන් පස්සෙ මම එක්වුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට. ටෙලිකොම් ආයතනයෙන් සම්පත් බැංකුවට. එතැනින් පස්සෙ මම අන්තිමට සේවය කළේ ඩේවිඩ් පීරිස් සමාගමේ. ඔය සම්පූර්ණ වෘත්තිය ජීවිතයට වසර තිස්පහක්. දැන් මම මගේ ජීවිත අත්දැකීම් ඇසුරෙන් පුද්ගල සංවර්ධන දේශකයෙක් ලෙස කටයුතු කරනවා. මගේ නිදහසට බාධා නොවන ලෙස අලෙවිකරණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ උපදේශන සේවා සපයනවා. ඒ වගේම මගේම සමාගමක කටයුතුත් ආරම්භ කරලා තියෙනවා.

 

*තිස්පස් වසරක වෘත්තිය ජීවිතයක් ඔබට තියෙනවා. ස්ථිර රැකියාවෙන් ඉවත්වෙලා තමන්ගේම ව්‍යාපාරයකට අතගහද්දි ඒක අවදානමක් කියලා දැනුණෙ නැද්ද?

මම ඔබට කලින් කියපු මහරාජා ආයතනයෙන් හේමාස් ආයතනයට යන තීරණය ගන්න වෙලාවෙත් මම එයට බයවුණේ නැහැ. රැකියාවේ තනතුර සහ වැටුප කියන කාරණා සලකනකොට එය විශාල තීරණයක්. මෙතැනදි මම තවත් කාරණයක් ඔබට කියන්න ඕනි. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම මගේ අධ්‍යාපන කටයුතුවලට රුපියලක්වත් අම්මගෙනුයි තාත්තාගෙනුයි ඉල්ලගෙන නැහැ. මම හම්බකරපු සල්ලිවලින් තමයි පාසල් කාලයෙන් පසු මගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගත්තේ. මම මේ කාරණාවලින් කියන්න උත්සාහ කරන්නේ තීරණ ගන්න බයවෙන්න ඕනි නැහැ කියන එක සහ ලැබෙන ආදායම හරියට කළමනාකරණය කළොත් අපට අවශ්‍ය දේවල් කර ගන්න පුළුවන් කියන එක.

ස්ථිර රැකියාවෙන් ඉවත් වෙලා තමන්ගෙම දෙයක් කරන තීරණය ගන්න බය නොවුණේ එයට අවශ්‍ය පසුබිම අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ මම හදාගෙන ආපු නිසා. මම ඒ පසුබිම හදාගන්න පටන්ගත්තෙ මට වයස අවුරුදු තිහේදි මුහුණ දෙන්න වුණු සිදුවීමක් හින්දා. ඔය කාලෙ මගේ අම්මට සැත්කමක් කරන්න වුණා. අම්මා කැමති වුණේ නැහැ ඒ සැත්කම රජයේ රෝහලක කරන්න. ඒ නිසා පෞද්ගලික රෝහලක කළේ. හැබැයි රෝහලේ බිල ගෙවන්න මා ළඟ ඒ වෙලාවෙ සල්ලි තිබුණෙ නැහැ. අන්තිමට වෙන කරන්න දෙයක් නැතිව මගේ රත්තරං බඩු ඔක්කොම උගස් තියලා තමයි රෝහලේ බිල ගෙව්වේ.

එදා තමයි මට ඉතිරිකිරීමේ වටිනාකම හරියටම තේරුණේ. ඒ නිසා එදා ඉදලා මම ඉතිරිකිරීම හොඳින්ම කළා. හැබැයි මම එහෙම ඉතිරි කළේ ලෝබකමට හැමදේම පොදිගහගෙන නෙමෙයි. ලංකාව පුරා වගේම ලෝකයේ රටවල් ගණනාවක මම සංචාරය කළා. ඒ වගේම සමාජ සේවා කටයුතුත් සෑහෙන්න කළා. අදටත් කරනවා. ඔය හැමදේම අතරේ මම විනයක් ඇතිව ඉතිරිකිරීමත් කළා. ඒ වගේම ඉතිරිකරගත්ත දේ ආරක්ෂාකාරීව ආයෝජනය කළා. ඒ නිසා වෘත්තිය ජීවිතයේ මට ඇතියි කියලා හිතුණු තැනට ආවට පස්සෙ ස්ථිර රැකියාවෙන් ඉවත්වෙන තීරණය ගන්න අපහසු වුණේ නැහැ. ස්ථිර රැකියාව කරපු කාලෙ වගේම වෙනසකින් තොරව මගේ ජීවන විලාසිතාව පවත්වාගෙන යන්න පුළුවන් ආර්ථික ශක්තියක් මම ගොඩනගාගෙන තියෙනවා.

 

*ඔබ විවාහයෙන් වෙන්වෙලා තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක්. ජීවිතයට සහකරුවෙක් හිටියනම් හොඳයි කියලා හිතෙන අවස්ථා නැද්ද?

එකට ජීවත්වෙන්න බැරි තරමට නොගැළපීම් තියෙනවා කියලා දැනුණු තැනදි ඉතා කෙටි කාලයකින් මමයි සැමියයි සුහදව වෙන්වුණා. හැබැයි අදටත් ඔහු මගේ හොඳ මිතුරෙක්. විවාහයෙන් වෙන්වුණාට පස්සේ මට ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම තිබුණා. ඒත් ඒවා විවාහය දක්වා ගියේ නැහැ. තවත් වැදගත් දෙයක් මම මෙතැනදි කියන්න ඕනි. ඒ තමයි විවාහ වෙලා හිටිය කාලෙදි මගේ සැමියගෙන්වත් ප්‍රේම සම්බන්ධතා තිබුණු කාලවල පෙම්වතුන්ගෙන්වත් මම කවදාවත් යැපිලා නැහැ. මම උපයපු මුදල්වලින් ස්වාධීන ආර්ථික ශක්තියක් ඇතිව මම හැමදාම ජීවත් වුණේ. අදටත් ජීවත් වෙන්නේ. ඒ වගේම මගේ දෙමාපියන් දෙන්නගේ සෑම වියදමක්ම දරමින් ඒ දෙන්නව සියයට සියයක්ම බලාගන්නෙත් මම.

මම මෙතැනදි කිවයුතුම තවත් දෙයක් තමයි ස්වාධීන ආර්ථික ශක්තියක් ගොඩනගාගෙන තනිකඩව ඉන්න කාන්තාවන් දිහා සමාජයේ බොහෝදෙනෙක් දකින විදිය ගැන. සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියට සමහර අවස්ථාවල දැනෙන දුක වේදනාව හැරුණාම මම මේ ගෙවන්නෙ පසුතැවීම් නැති බොහොම තෘප්තිමත් ජීවිතයක්. හැබැයි සමාජයේ සමහරු හිතන්නෙ මම වගේ තනිකඩව ඉන්න අයට පහසුවෙන් ළංවෙන්න පුළුවන් කියලා. ඔවුන්ගෙ ඕනෑ එපාකම් මම වගේ අයගෙන් සපුරගන්න පුළුවන් කියලා. එහෙම හිතලා මට ළංවෙන්න උත්සාහ කරපු සමහරුන්ට මම බැනලත් තියෙනවා ලිංගික උවමනා ඉටුකරගන්න මට ළංවෙන්න එන්න එපා කියලා.

 

*ඔබ ජීවිතයේ විවිධ කාලවල සෑහෙන සෞඛ්‍යමය අභියෝගවලට මුහුණ දුන්නු කෙනෙක්. ඒ ගැන කියන්න කැමතියි නම් එතැනින් අපේ මේ සංවාදය අවසන් කරන්න මම කැමතියි?

ඔව්. ජීවිතේ එක් එක් කාලවල මම සෑහෙන සෞඛ්‍යමය අභියෝගවලට මුහුණදීලා තියෙනවා. එක අවුරුද්දක මාස දහයක වගේ කාලයක් ඇතුළත මට දාහතර පාරක් රෝහල්ගත වෙන්න වුණා. කොවිඩ් වසංගතය ආරම්භ වෙනකොට මගේ වෛද්‍යවරු මට අවධාරණයෙන් කියපු දෙයක් තමයි කොවිඩ් නම් හදාගන්න එපා හැදුනොත් බේරගන්න බැහැ කියලා. හැබැයි මට කොවිඩ් වැළඳුණා. කොවිඩ් හොඳවෙනකොටම ඩෙංගු හැදුණා. ඒ වගේම සැත්කම් ගණනාවකට මම මුහුණ දීලා තියෙනවා. ඔය හැමදේටම මුහුණදීලත් මම ඔලුව කෙළින් තියාගෙන ජීවත් වෙනවා. වෛද්‍ය උපදෙස් අනුව නම් මම මේ වෙනකොට සෑහෙන බෙහෙත් ප‍්‍රමාණයක් බොන්න ඕනි කෙනෙක්. හැබැයි මම එහෙම බෙහෙත් බොන්නෙ නැහැ. මම අසනීප කළමනාකරණය කරගෙන ඉන්නෙ මානසික ශක්තියෙන්. අසනීපයක් වුණහම ඒ ගැනම හිතහිතා ඉන්නෙ නැතිව මනස ශක්තිමත් කර ගත්තහම අපට අපවම පාලනය කරගෙන ලෙඩරෝග පරාජය කරන්න පුළුවන්.

 

*ඉතින් අන්තිමට අපේ රටේ කාන්තාවන්ට දෙන පණිවිඩය මොකක්ද?

තමන් තුළ තියෙන ශක්තිය කිසිම වෙලාවක අවතක්සේරු කරන්න එපා. තමන්ගෙ ශක්තිය නිවැරදිව හඳුනාගත්තොත් විශ්ව ශක්තියත් ආශිර්වාද කරනවා. ජීවිතේ මුහුණ දෙන්න වෙන ඕනිම අභියෝගයකදි පසු බසින්නෙ නැතිව තමන්ගෙ ශක්තියෙන් තමන්ගෙ කකුල් දෙකෙන් හිටගන්න කියන එක තමයි මම අපේ රටේ කාන්තාවන්ට කියන්නේ.

 

හසිත කුරුප්පු