විශේෂාංග

දුප්පතෙකුට පෙම් කළ වරදට වසර 25 ක් හිරේ දාලා

වරක් පැරීසියේ නීතිපතිවරයාට පැමිණි ලියුම් අතරේ වූ එක් ලියමනක හරි අපූරු කතාවක් තිබුණි. ඒ නගරයේ ප්‍රසිද්ධ පවුලක අප්‍රසිද්ධ රහසක් ගැනය. 1901 වසරේදී නීතිපතිවරයාට ලැබුණු එම ලිපිය එවූ පුද්ගලයෙක් ගැන එහි සඳහනක් නොතිබුණි. නමුත් ලියුමේ වූ රහස ඇඟ කිලිපොළා යන අන්දමේ එකක් වූ නිසා ඔහු එය විමර්ශනයක් වෙනුවෙන් එරට පොලිසියට යොමුකළේය. ඒ මෙසේද පවසමිනි.

මට මේ ලියුම එවපු කෙනෙක් ගැන සඳහනක් නෑ. ඒත් මේ ලියුමේ තියෙන්නේ ටිකක් භයංකාර කතාවක්. මොනියර් වතුයායේ ඉන්න මැඩම් මොනියර් මහත්මියගේ ගෙදර පරීක්ෂා කරන්න. ඒ ගෙදර කාමරේක මහා නරක දෙයක් සිද්ධවෙනවා කියලා මේ ලියුමේ ලියලා තියෙනවා.”

මැඩම් මොනියර් යනු එවකට පැරීසියේ උන් ධනවත් ප්‍රසිද්ධ කාන්තාවකි. බොහෝවිට ඇය සමාජය තුළ ප්‍රසිද්ධව තිබුණේ පුණ්‍ය කටයුතු සිදුකරන්නියක් ලෙසය. ඒ වෙනුවෙන් ඇයව අගයා ප්‍රජා සම්මානයක් පවා ඇයට ලැබී තිබුණි. ඇයට මාර්සෙල් නමින් පුතෙක් සහ බ්ලැන්චේ නමින් දුවෙක් සිටි අතර මාර්සෙල් නීතිඥයෙකු ලෙස සේවය කළේය. දියණිය ගැන නම් කලක පටන් කතාබහක් තිබුණේ නැත. ඒ නිසා ඇයව දන්නා හඳුනන බොහෝමයක් දෙනා සිතා සිටියේ ඇය විදෙස් රටක අධ්‍යාපනය හදාරමින් සිටින බවකි.

මේ අතර නීතිපති නියමයෙන් විමර්ශන සිදුකරන්නට මැඩම් මොනියර්ගේ නිවසට පැමිණි පොලිස් කණ්ඩායම පුළුල් සෝදිසියක් සිදුකළද සැකකටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි විය. නමුත් උඩුමහලේ සෝදිසිකිරීම් අතරතුරේ හුළඟත් සමඟ එක්වරම හමා ආ ඉහිලිය නොහැකි දුර්ගන්ධයක් ඔවුන්ගේ සැකයට හේතු විය. තවදුරටත් සොයාබැලීමේදී පෙනී ගියේ එම ගඳ ආවේ ඉහළ මාලයේ දොරඅගුල් දා වසා තිබූ කාමරයකින් බවයි.

අපි මේ කාමරේ ඇතුළට ගිහින් බලන්න ඕනේ. ගඳ එන්නේ කාමරෙන්. මැඩම් මොනියර්ට නොකියා අපි අගුල කඩමු.”

මොනියර්ට හොරා අගුලු කඩා කාමරයේ දොර අරිනවාත් සමඟම පොලිස් කණ්ඩායමට පැන දුවන්නට සිතුනේ එයින් වහනය වූ අධික දුර්ගන්ධය නිසාය. එය ඒ තරමටම නාස් කුහර හැකිළී යන අන්දමේ දුර්ගන්ධයකි. කිසිඳු එළියක් නොතිබූ කාමරයේ එක් ජනේලයක් තිබූ අතර එයද අවුරුදු ගණනකින් විවෘත කළ බවක් පෙනෙන්නට තිබුණේ නැත. එහෙත් එක් පොලිස් නිලධාරියෙක් දුර්ගන්ධය ඉවසාගත නොහැකිව එය විවෘත කළේය. ඒත් සමඟින්ම කාමරයට වැටුණු ආලෝකයෙන් පොලිස් කණ්ඩායම දුටුවේ ඔවුන් හීනෙකින් හෝ නොසිතූ අන්දමේ අප්‍රසන්න දසුනකි. ඒ මළමුත්‍රා ගොඩක් මැද යකඩ දම්වැලකින් ගැටගසා සිටි දිරාපත්ව ගිය කාන්තාවකි.

ඉන්පසු මැඩම් මොනියර්ව උඩුමහලට කැඳවා ප්‍රශ්න කරන්නට එතැන් පටන් පොලිසිය පියවර ගත්තේය. මුලින් ඇය බොරු රංගනයක නියැලෙන්නට උත්සාහ කළත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. අවසානයේ විසිපස් වසරක් සඟවා තිබූ ඇත්ත වමාරන්නට ඇයට සිදුවිය. එහිදී පොලිසියට දැනගන්නට ලැබුණේ ඒ බ්ලැන්චේ නම් මැඩම් මොනියර්ගේම දියණිය බවයි. ඇය විසිපස් වසරක් පුරාවටම සිට ඇත්තේ යකඩ දම්වැල්වලට සිරවී ඒ අඳුරු කාමරය තුළය. ඒ පනුවන් ගැසූ ඇයගේම මළමුත්‍රා ගොඩේය. කන්නට ටිකක් ලැබුණද එක විනාඩියකට හෝ ඇයට හිරුඑළිය දකින්නට අවස්ථාවක් දෙන්නට මැඩම් මොනියර්ගේ හිත උණුවී තිබුණේම නැත. තම කුසින් වැදුවද මොනියර් ඇයට කර තිබුණේම සිතුවිල්ලකින් හෝ තම දරුවෙකු ගැන මවකට නොසිතෙන අන්දමේ හතුරුකම්ය. එනිසාම ඇය පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පොලිසිය විසින් බ්ලැන්චේව රෝහල්ගත කළේය. එහිදී තහවුරු වූයේ ඇයට කලක පටන් හරිහැටි කෑමක් බීමක් නොලැබී ඇති අතර දරුණු මන්දපෝෂණයෙන් පෙලුණු බවකි.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමුකර තිබූ බ්ලැන්චේ සිය පාපොච්චාරණය සිදුකළේ දින ගණනාවකට පසුය. එහිදී අනාවරණය වූයේ මේ සියල්ලටම මුල ඇය වයසින් වැඩි දුප්පත් නීතිඥයෙක් සමඟ ඇතිකරගෙන තිබූ ප්‍රේම සම්බන්ධයක් බවයි. ඊට මැඩම් මොනියර් එකහෙලාම අකමැති වී ඇත. ඒ ඔහු ඇයට නොගැළපෙන බව කියමිනි. නමුත් දියණිය එම සම්බන්ධය නවතා දැමීමට සූදානමක් තිබී නැත. ඊට පලිගැනීමක් ලෙසිනුයි මොනියර් ඇයව යකඩ දම්වැල්වලින් අතපය ගැටගසා කාමරයක සිරකොට තබා ඇත්තේ. මොනියර්ගේ සැමියා මෙන්ම අනෙක් පිරිමි දරුවාද ඊට බලපෑම් නොකර තිබෙන්නේ ඔවුන් ඇයට දැක්වූ බියගුළුකම හේතුවෙනි.

කෙසේ හෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව බ්ලැන්චේ ප්‍රංශයේ සාත්තු නිවාසයක ජීවිතයේ ඉතිරි කාලය ගත කළ අතර 1913 වසරේදී ඇය මියගොස් තිබේ. එහෙත් මැඩම් මොනියර් නම් මිය ඇදුනේ ඇය දියණියට කළ අකටයුතුකම්වලට වන්දි ගෙවමිනි. ඒ අනුව ඇය අත්ඩංගුවට පත්ව දින කීපයකින් දරුණු මානසික පීඩනකට ලක්ව ඇති අතර එහි ප්‍රතිඵලය වූයේ මැඩම් මොනියර් හෘදයාබාධයකට ගොදුරුවීමයි. පසුව දින කීපයකින් ඇය මියගොස් තිබේ. එහෙත් අදටත් මේ කතාවේ එක් අභිරහසක් ඉතුරුව ඇත. ඒ බ්ලැන්චේ ගැන නීතිපතිවරයාට ලිපිය එවූ පුද්ගලයාය. කාගේත් විශ්වාසය වන්නේ ඒ නාදුනන්නා වෙන කවුරුත් නොව බ්ලැන්චේගේ හිටපු පෙම්වතා බවයි.

රුවන් එස්.සෙනවිරත්න