Uncategorized

බැදුම් කන්න ඕනේ මැදුම් පිළිවෙතේ ඉඳන්

අපි ආහාර විදියට ගන්න දේවලින් අපේ ලස්සනට වින කටින තුන් කට්ටුවක් ඉන්නවා. ඔයින් සීනි සහ ලුණු ගැන මීට කලින් අපි කතා කළා. ඉතිරි අනිත් කෙනා තෙල් මෑන්. වැඩිපුර තෙල් කෑවහම මොකද වෙන්නේ කියන එකයි, ඇඟට ප්‍රශ්නයක් නොවෙන්න තෙල් කන්නේ කොහොමද කියන එකයි තමයි අද කතා කරන්නේ.

1830 ගණන්වල එංගලන්තේ පාලනේ කළ පළමුවැනි වික්ටෝරියා රැජිනත් බොහොම තදින් තෙල් කෑමට ඇබ්බැහි වුණු කෙනෙක්. මේ රැජින පුංචි සන්දියේ ඉඳලම බැදපු මස් කන්න බොහෝම කෑදරලු. කවදාහරි රජ වෙන්න ඉන්න කුමාරිකාව මේ විදියට බැදුම් කන එක ගැන වික්ටෝරියාගේ අම්මා නිතරෝම දොස් පරොස් කියලා. හැබැයි වික්ටෝරියා නෙමෙයි ඒ කතා කනකට අරන් තිබුණේ.

ඔහොම කොහොමහරි වික්ටෝරියා රජ වුණා. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නා වාගේ රජ වෙච්චි දා ඉඳලා රැජින බැදුම් කන එක වැඩි කළා මිසක අඩු කළේ නැතිලු. ඉතින් වික්ටෝරියා රැජින පිට්ටු බම්බුවක් වගේ මහත් වුණා. තමන්ගේ ඇඟේ ලස්සන නැති කරගත්තු වික්ටෝරියා ලස්සනට අඳින පළදින ගෑනුන්ට ඊරිසියා කළා. ඒ විතරද හැඩ ගෑනුන්ව මරලත් දැම්මා.

වෙලාවකට අපේ සමහර බවලත් උදවියත් වික්ටෝරියාට දෙවැනි නෑ කියලා හිතෙනවා. උන්දැලට ලස්සනට ඉන්නත් ඕනේ, හැබැයි කට පාලනේ කරගන්නත් බැහැ.

තෙල් කියන්නේ ඒ තරමට නරක දෙයක්දෑ කියලා ඔහොම කිව්වහම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම නැහැ. තෙල් නැතිව වාහනයකට දුවන්න බැහැ වගේ තමා අපේ ඇඟටත් තෙල් ඕනේ. තෙල් කියන්නේ අපිට ශක්තිය දෙන හොඳම ශක්ති පෝෂකයක්. ආහාරවලින් ලැබෙන විටමින් A, D, E, K වගේ මේද ද්‍රාවක විටමින් ඇඟට අවශෝෂණය කරගන්නත් තෙල් උදව් කරනවා. ඒ නිසා මනුස්සයෙක් දවසකට තෙල් 20gක් ඒ කියන්නේ කැලරිවලින් ගත්තොත් කැලරි 400-500ක වගේ තෙල් කන්න ඕනේ.

ප්‍රශ්නේ තෙල් කන එක නෙමෙයි. ඉවක් බවක් නැතිව කන එක. ‘Fat makes you fat’ කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා. මේදය ඔබව මහත් කරවනවා කියන එකයි ඒ කතාවේ තේරුම. දෛනික අවශ්‍යතාවයට වැඩියෙන් ගන්න තෙල් මේදය වෙලා ඉහේ බඩේ අතේ පයේ තැම්පත් වෙනවා. එතකොට ඉතින් මහත් වෙන එක ගැන අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ඒ විතරයෑ ශරීරයේ අනවශ්‍ය මේදය තැම්පත් වුණාහම අධිරුධිර පීඩනය, කොලොස්ට්‍රෝල්, හෘදරෝග වගේ සෞඛ්‍ය ගැටලු ඇතිවෙනවා. තෙල් කෑම කෑවහම මූණේ කුරුළෑ එනවා කියලත් කට්ටිය කියනවා. හැබැයි ආහාරවල තියෙන තෙල්වලින් සීබම් ඇතිවීම කෙරේ බලපෑමක් නැහැයි කියලයි වෛද්‍යවරු නම් කියන්නේ.

ට්‍රාන්ස් මේදය (Trans fat), සංතෘප්ත මේදය (Saturated fat), අසංතෘප්ත මේදය (Unsaturated fat) කියලා මේද වර්ග කිහිපයක් තියෙනවා.

ට්‍රාන්ස් මේදය කියන්නේ සකස් කළ ආහාරවල තියෙන මේදයට. ඩෝනට්, චීස්, බර්ගර්, පීසා, ගැඹුරු තෙලේ බැදගත් මස්, මයික්‍රෝවේව් කළ පොප්කෝන් වගේ ආහාරවල ට්‍රාන්ස් මේදය ඕසේට. මේ වගේ ආහාරවල මේදය ඇඟේ තැම්පත් වෙනවත් වැඩියි. ඇඟත් කෙට්ටුවට තියාගෙන ගොඩක් කල් ජීවත්වෙන්නත් හීන දකිනවා නම් මුලින්ම ඔය ජන්ක් ෆුඩ් කියන කොට්ඨාසය මනාප ලැයිස්තුවෙන් කපලා දාන්න.

ඊගාවට සංතෘප්ත මේදය සහ අසංතෘප්ත මේදය. සංතෘප්ත මේදය කියන්නේ ද්විත්ව බන්දන අඩු තෙල් වර්ගයක්. ඒ කියන්නේ රසායනික ව්‍යූහය ගනිපුවහම බන්දන අඩුයි. සංතෘප්ත මේදය හරි ඉක්මනට කොලොස්ට්‍රෝල් බවට පත්වෙනවා. එතකොට රෝගාබාධ ඇතිවෙන්නයි මහත් වෙන්නයි තියෙන ඉඩකඩ වැඩියි. සංතෘප්ත මේදවලට හොඳම උදාහරණය තමයි පොල්තෙල්.

අසංතෘප්ත මේදය ඕකේ අනිත් පැත්ත. ඔලිව්, රටකජු තෙල්, සෝයා තෙල්, අලිගැටපේර, ආමන්ඩ් තෙල්, තල තෙල්, සූරියකාන්ත තෙල් අසංතෘප්ත මේදයට උදාහරණ.

සංතෘප්ත මේදය ඇඟට හොද නැතිය එතකොට අසංතෘප්ත මේදය හොඳය කියලා සමහරු කියනවා අහලා ඇති. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. අසංතෘප්ත මේදය වගේම සංතෘප්ත මේදයත් අපිට ඕනේ. හැබැයි ගාණට. දවසකට අවශ්‍ය තෙල් පරිමාණය ඇතුළේ සංතෘප්ත මේදය කොටස් එකකුයි අසංතෘප්ත මේදය කොටස් දෙකකුයි තියෙන්නේ ඕනේ. ඒ පරිමා යකාට දාලා මේ වර්ග දෙකෙන් එකක් විතරක් වැඩිපුර කන්න ගියොත් වැඩේ දෙල් වෙනවා.

අපේ රටේ ගොඩක් අය කෑමවලට දාන්නේ පොල්තෙල්. පොල්තෙල්වලින් අපේ ඇඟට අවශ්‍ය සංතෘප්ත මේද ප්‍රමාණය ලබාගන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩි උෂ්ණත්වයකට භාජන කරද්දි ඇඟට අහිතකර රසායනික විපර්යාස වෙන්නේ නැහැ. ඒ නිසා ගැඹුරු තෙලේ බදින්න හොඳම තෙල් පොල්තෙල්. හැබැයි පොල්තෙල්වල අපිට අත්‍යවශ්‍ය මේද අම්ල නැහැ.

සුරියකාන්ත, ඔලිව්, සෝයා වගේ අසංතෘප්ත තෙල්වල අපිට අත්‍යවශ්‍ය මේද අම්ල තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ තෙල් වර්ග තද උෂ්ණෙකට ලක් කළාම රසායනිකව ප්‍රතික්‍රියා වෙලා ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් හැදෙනවා. මේක හෘද රෝග හැදෙන්න හේතු වෙන වර්ගයක්. ඒ නිසා ගැඹුරු තෙලේ බදින කෑම හදන්න මෙහෙම තෙල් වර්ග ගන්න එපා. තෙම්පරාදුවකට නැත්තම් සැලඩ් එකකට එකතු කරන්න.

හැමඑකටම පොල්තෙල් දාන්නෙත් නැතිව අසංතෘප්ත තෙල් දාන්නෙත් නැතිව ඔය කිව්ව විදියට තෙල් වර්ග  1:2 ( සංතෘප්ත: අසංතෘප්ත) අනුපාතයට සමබර කරන්න.

ඇඟට ගුණ විදියට තෙල් කන්න වැදගත් වෙන ටිප්ස් ටිකකුත් මේ ගමන්ම කියන්නම්.

අපි කෑමවලට පොල්තෙල් දානවා මදිවට පොල්කිරිත් දානවනේ. පොල්කිරිවලත් පොල්තෙල් තියෙනවා. එතකොට කෑමවල එක්කාසු වෙන සංතෘප්ත තෙල් ප්‍රමාණේ වැඩි වෙනවා. ගොඩාක් වෙලා රත් කරද්දි පොල්වල තෙල් පෑදෙනවා. ඉතින් පොල්කිරි ගොඩාක් රත්වෙන්න කලින් හොද්ද ලිපෙන් බාගන්න පුළුවන් නම් පොල්කිරි පොල්තෙල් වෙන එක අඩු වෙනවා.

සාමාන්‍යයෙන් අපි කරන්නේ භාජනය ලිපේ තියලා ඒක රත්වුණාම භාජනේට තෙල් ටිකක් දාලා ඒ තෙලුත් රත් වුණාම උයන පිහන දේ දාන එකනේ. හැබැයි ඒ ක්‍රමේ වැරදි. තෙල්වලින් දුම දානවා කියන්නේ ඒකේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙනවා කියන එකයි. ඒ නිසා තෙලෙන් දුම දාන්න කලින් ආහාර එක්කාසු කරන්න. පුළුවන් නම් භාජනයේ වතුර ටිකක් තියෙද්දිම තෙල් ටික එක්කාසු කරන්න.

වෙළඳපොළේ එක්ස්ට්‍රා වර්ජින් තෙල් වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් මේ වර්ගවලට රාසයනික ද්‍රව්‍ය එකතු කරනවා අඩුයි. වෛද්‍යවරු වුණත් සෞඛ්‍යසම්පන්නයි කියලා නිර්දේශ කරන්නේ මේ තෙල්. හැබැයි ඉතින් මෙව්වයේ ගාණ සැරයි. ඉතින් ගෙදර තෙල් හින්ද ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ.

අධික උෂ්ණත්වයට ලක්කරාපු පොල්තෙල් නැවත දෙපාරක් විතර බැදුම්වලට පාවිච්චි කළාට කමක් නැහැ. හැබැයි පොල්තෙල් කළුපාට වෙලා නම්  ආයෙත් පාවිච්චි කරන්න එපා. ඔලිව් තෙල්, තල තෙල්, සෝයා ඇතුළු අසංතෘප්ත තෙල් එක පාරක් බැද්දට පස්සේ ආයෙත් පාවිච්චි කරන්න එපා.

පාම් තෙල් කෑමට හොඳද කියලත් සමහරු අහනවා. මෙහෙමයි පාම් තෙල් කොටස් දෙකකට බෙදෙනවා. එකක් පාම් ඇටෙන් හදාගන්න තෙල. සංතෘප්ත, අසංතෘප්ත මේද වර්ග දෙකම මේ වර්ගයේ තියෙනවා. මේ ජාතිය මිලෙන් වැඩියි. පාම් ඇටය සහ පොත්ත අතර කොටසින් හදාගන්න තෙල් වර්ගෙකුත් තියෙනවා. මේක බොහොම ලාබයි. ඇඟටත් හොද නැහැ. ගොඩක් ලාබෙට පොල්තෙල් විකුණන උන්දලා කරන්නේ පොල්තෙල්වලට මේ බාල පාම් තෙල් කලවම් කරන එක.

කවලම් තෙල් වර්ග හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ටිකක් සීතල වෙච්චි හැටියේ තෙල් මිදෙනවා දැකලා තියෙනවා නේද? කවලම් නැති හොඳ තෙල් තමයි සීතලට මිදෙන්නේ. කලවම් ජාති නම් ආයෙ ජීවිතේට මිදෙන්නේ නෑ ඕන්.

සුරියකාන්ත තෙල්, තල තෙල්, සෝයා තෙල් වගේ දේවල් මිල අධික නිසා ඒවා පාවිච්චි කරන්න අමාරු නම් තෙම්පරාදුවට බටර් ටිකක් මාජරින් ටිකක් දාන්නත් පුළුවන්. මොකද මේව්වගේ තියෙන්නෙත් අසංතෘප්ත මේදයම තමයි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි