රූපලවන්‍ය

කකුලෙ කොටු රූල් නම් මඟුල කොට උඩ

ස්ස්නංගිනංගි මට අද ගණන් පොත ගේන්න අමතක වුණා. කකුලේ තියෙන කොටුරූල් ටික දෙනවද ගණන් ලියන්න?”

ගණන් පන්තියේ කොල්ලෝ කුරුට්ටෝ ටික සඳමාලිට එහෙම කියලා හිනාවුණා. අරියාදු විහිළුවට හිත රිද්දගත්තු  සඳමාලි එහෙම්මම බිම බලාගත්තා.

ඔය කියාපු සිද්ධිය වෙලා දැන් අවුරුදු ගාණක් ඇති. හැබැයි මේ මෑතකදිත් මට සඳමාලිව හම්බුණා. එදා වගේම තාමත් එයාගේ කකුලේ කොටු කොටු තියෙනවා.

කකුල්වල ගණන් ලියන්න පුළුවන් සයිස් එකට කොටු තියෙන ගෑනු ළමයෙක් දැක්කහම සමහරු ‘කොටුරූල් කෙල්ල, කොරපොත්ති’ වගේ නම් දාලා ඒ අයට විහිළු කරනවා. විහිළු කරලා නවතිනවා නම් බැරියෑ. කොරළ තිබුණු ගෑනු ළමයෙක්ට වෙච්චි ඇබැද්දියක් ගැන මනෝඋපදේශිකාවක් දවසක් මරු කතාවක් කිව්වා.

එක පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක් එක්ක හාද‍වෙලා. ඔය කියන පිරිමි ළමයා අර අම්මගේ වචනෙට පිටින් නොයන මමාස් බෝයි කෙනෙක්ලු. ඉතින් දවසක් කොල්ලා අම්මට කෙල්ලව පෙන්නලා. ගෑනු ළමයගේ කියන්න කිසිම අඩුපාඩුවක් තිබිලා නැහැ. හැබැයි කෙල්ලගේ කකුලේ කොරළලු. අර කියන්න එකක් නැත්තම් නහය මුක්කං කියන්නා වාලේ ගෑනු ළමයගේ කකුලේ කොරළය කියලා අම්මා මඟුලට අකමැති වෙලා. පස්සේ අම්මා අකමැතිය කියලා පුතත් සම්බන්දේ නතර කළාලු. ඔය හේතුව නිසා මානසිකව වැටුණු ගෑනු ළමයා උපදේශනයට අර මනෝඋපදේශිකාව ළඟට ඇවිල්ලා. කකුලේ තියෙන කොරළ ගැන වුණත් ඒ යුවතිය හරියට වද වුණාලු.

කකුලේ හැදෙන කොරළ  නිසා ගොඩක් කාන්තාවෝ මානසිකව ලතැවෙනවා. අනික මේ තත්ත්වය එක්ක ලස්සනට කොටට ඇඳුමක් අඳින්න කාරියත් අපහසුයිනේ. ඉතින් කොරළ ගැනයි නිට්ටාවටම කොරළ සුව කරන සත්කාර කීපයක් ගැනයි අද ලිපියෙන් කතා කරන්න හිතුවා.

කකුල්වල කොරල හැදෙන්නේ කොහොමද කියලා මුලින්ම බලමුකෝ. අපේ හමේ තෙල් නැත්තම් සීබම් නිපදවන ග්‍රන්ථි තියෙනවා. හමේ තෙතමනය ආරක්ෂා කරගන්නේ ඔය තෙල්වලින්. අර කියාපු ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය අඩු වුණහම සීබම් හැදෙන එක අඩු වෙනවා. පස්සේ සමේ තෙතගතිය අඩුවෙලා චර්ම සෛල මැරෙන්න ගන්නවා. ඒ විතරක්නම් බැරියැ, මැරුණු සෛල එකට එක්කාසු වෙලා කොරස්තරය කියලා ඝනකම් සෙල තට්ටුවක් හැදෙනවා. ආන් ඒකට තමා අපි කොරළ කියලා කියන්නේ. ගොඩක් වෙලාවට මේ තත්ත්වය ඇතිවෙන්නේ කකුල්වල. කලාතුරකින් සමහරුන්ගේ අත්වලත් කොරළ එනවා. ඒ වගේම වැඩිපුරම කොරළ හැදෙන්නේ ගෑනුන්ට.

කොරළ හැදෙන්නේ තෙල් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය අඩුවුණාම කියලා කිව්වනේ. ඒවයේ ක්‍රියාකාරීත්වය අඩුවෙන්න බලපාන හේතු මොනවද කියන එකයි වැදගත්ම කතාව.

මුල්ම එක තමයි ජානමය උරුමය. දකුණු පළතේ උදවිය අතර මේ කොරළ තත්ත්වය ටිකක් වැඩියි. ඒ අයට මේක පරම්පරාවෙන් උරුම වෙනවා කියලයි කියන්නේ.

වියළි පළාත්වල ජීවත්වෙන අයටත් කොරළ ඇතිවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම නිතරම උණුවතුර ස්නානය, ​රේසර් භාවිතා කරලා කකුලේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම, ප්‍රමිතියක් නැති ආලේපන භාවිතයත් කොරළ හැදෙන්න ​හේතුයි. තව එතකොට දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු, වකුගඩු, අක්මාව ආශ්‍රිත රෝග, විටමින් ඌණතා වගේ දේවල් ඇඟ ඇතුළේ තියෙනවානම් ඒවගේ රෝග ලක්ෂණයක් විදියටත් සමහරුන්ට කොරළ එනවා.

දැනටම කොරළ හැදිලා තියෙන කෙනෙක් නම් මුලින්ම කරන්න ඕනේ හොඳට වතුර බොන එක. දවසට වතුර ලීටර 2ක් අනිවාර්යයයි ඔන්න. උණුවතුරෙන් නාන, ඇඟ සෝදන එක අඩු කරන්න. අපි රෙදි සෝදන්න භාවිතා කරන සබන් කුඩු හරියට සේදුනේ නැතුවමත් ඒවයේ තියෙන රසායනික සංයෝග කෙළින්ම අපේ ශරීරවල තැවරෙනවා. ඒ වගේ දේවලුත් කොරළ වැඩිවෙන්න බලපානවා. ඉතින් කොරළ තියෙන කෙනෙක් නම් ඇඟ සෝදන්න වගේම රෙදි සෝදන්නත් මෘදු සේදුම්කාරක පාවිච්චි කරන්න.

අව්වේ යනවා නම් අනිවාර්යයෙන්ම කකුල්වලත් සන්ක්‍රීම් ගාන්න. උදේට, දවල්ට, රෑට තුන්පාරක් කොරළ සම මොයිස්චරයිස් කරන්න. සැලිසිලික් ඇසිඩ්, හයලුරොනික් ඇසිඩ්, ග්ලසරින්, කොකෝවා, ආමන්ඩ්, ඔලිව් වගේ දේවල් අඩංගු අලේපන කොරළ සමට පංකාදුයි.

අලිගැට​පේර, නැවුම් කිරි, යෝගට්, ගොටුකොළ, බිත්තර, ආමන්ඩ්, පොල් ලොඳ, පොල්වතුර වගේ විටමින් A අඩංගු ආහාර ටිකක් වැඩිපුර ගන්න. ඔය දේවල් කරන ගමන් ගෙදරදිම මේ සත්කාර ටිකත් කරලා බලන්න.

ඔලිව් තෙල්, ලෙමන් යුෂ, බේකින් පවුඩර් සමාන ප්‍රමාණවලින් අරගෙන වතුර ටිකක් දාලා කොරළ සමේ ගාන්න. විනාඩි 20ක් තියලා හෝදලා අරින්න.

මුංඇට පිටි 50gකට එළඟිතෙල්, තල තෙල් දාලා හොඳට මිශ්‍ර කරලා කකුලේ ආලේප කරන්න. පැය බාගයක් තියලා සෝදන්න.

ආනමාළු ගෙඩියක් පොඩි කරලා ඒකට තල තෙල්, එළඟිතෙල්, මී පැණි මිශ්‍ර කරලා කොරළවල ගාන්න.

පිරිසිදු තැඹිලි තෙල් ටිකක් අරගෙන ඒකට හීන් උඳුපියලියා ටිකක් කොටලා දාලා රත් කරලා කොරළ කකුලේ ගාන්න.

මේ කියපු දේවල් හරියටම කළොත් සඳමාලිට වගේ ඔයාලට කාගෙන්වත් කයි කතන්දර අහන්න වෙන්නේ නැහැ. ලස්සනට කකුල ටිකක් පේන ඇඳුමක් අඳින්න දෙපාරක් හිතන්න ඕන වෙන්නෙත් නැහැ. හැබැයි මේ දේවල් කරලත් කොරළ සුවවුණේ නැත්නම් වෛද්‍යවරයෙක් ගාවට යන එක තමයි රජෝ නුවණට හුරු.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි