රූපලවන්‍ය

මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී

මේ දවස්වල කාගෙත් මාතෘකාව ගිනි අව්ව. දන්න අඳුනන කෙනෙක් මූණට මුලිච්චි වුණාම විතරක් නෙමේ තනියම ඉන්න ගමනුත් බහුතරයක් දෙනා කරන්නෙ ඉරට දෙස් දෙවොල් තියන එක. මාර්තු අප්‍රේල් කියන්නේ අපේ රටට ඉර මුදුන් වෙන කාලේ. ඉතින් මේ කාලෙට කොහොමත් ග්‍රීස්මේ වැඩියි. හැබැයි මේ අවුරුද්දේ කලින් අවුරුදුවලටත් වඩා අව්ව තදයි කියලයි වෛද්‍යවරු කියන්නේ. ඔක්සිජනුත් කන්නද අහ අහා ගස් කපන අයියලා ඉන්දැද්දි ග්‍රීස්මේ වැඩි වෙන පුදුමයක්යෑ.

අව්වේ රැස් වැඩිවෙන්න වෙන්න ඇතිවෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු වැඩියි. හැබැයි අපි අද කතා කරන්නේ ඉර අව්වෙන් එන්න පුළුවන් රූපලාවණ්‍ය ගැටලු ගැනයි, එව්වයෙන් සම බේරගන්න හැටි ගැනයි.

අපේ ඇඟේ තියෙන වතුර උරාගෙන සම විජලනය කරන්න ඉරඑළියට පුළුවන්. එහෙම කියාපුවහම අනූව දශකේ ගියපු ඇඩ්වර්ටීස්මන්ට් එකක් මතකෙට ආවා. ඔන්න තද අව්වේ පිට්ටනියක් මැද ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉන්නවා. සෙල්ලම් කරන ළමයි දිහා අහසේ ඉඳන් කෙනෙක් බලාගන ඉන්නවා. වෙනින් කවුරුත් නෙමේ ඉර. උන්දා පිට්ටනියේ සෙල්ලම් කරන ළමයින්ගේ ඔළුවලට බටයක් දාලා යුෂ උරා බිබී මහා හයියෙන් හිනාවෙනවා. ඒ උන්දා කොච්චර යුෂ උරා බිව්වත් සම සජලනයෙන් තියාගන්න එකයි අපේ රාජකාරිය.

පෑන් එකක් ගිනි අව්වේ තියලා ඒකට තෙල් දාලා බිත්තර බදින වීඩියෝ එකක් ෆේස්බුක් එකේ ශෙයා වුණා. බිත්තර විතරක් නෙමෙයි මේ දවස්වල අපේ සමත් අව්වට බැදෙනවා, පිච්චි පිච්චි කරවෙනවා. අව්ව නිසා සම වේලෙනවට අමතරව සම පිච්ච්ලා සන් බර්න් එන්න පුළුවන්. සම රැළි වැටෙන්න, අව් ලප, පිග්මන්ටේශන්වලට විතරක් නෙමෙයි චර්ම පිළිකා හැදෙන්නත් ඉරඑළිය හේතුයි. අනික මේ දවස්වල ඉරඑළියේ තියෙන පාරජම්බුල කිරණ ප්‍රමාණය වැඩි නිසා මේ අව්ව එක්ක සෙල්ලම් නෑ.

මේ දවස්වල අව්වෙන් හම බේරගන්නේ කොහොමද කියලා දැන් කතා කරමු. හොඳම වැඩේ අව්වේ යන එක අඩු කරන එක. විශේෂයෙන්ම උදේ 11 හවස 3 අතර කාලේ තියෙන හිරුකිරණේ සමට අහිතකර පාරජම්බුල කිරණ ප්‍රමාණය වැඩියි. ඉතින් එහෙමයි කියලා තියෙන වැඩ සේරම අකුලන් ගේ අස්සේ ඉන්නද කියලා දැන් කෙනෙක් හිතයි. ඇත්ත. අව්ව සැරයි කියලා කරන්නම ඕන දේවල් නොකර බැහැනේ. ඒ නිසා අව්වේ යන්නම වෙනවා නම් අනිවාර්යයෙන්ම SPF අගය 30ක් වෙන අව් ආලේපන ක්‍රීම් එකක් ගාගෙන යන්න. මූණෙ විතරක් නෙවෙයි ඉරඑළියට නිරාවරණය වෙන හැමතැනකම සන්ක්‍රීම් ගාන්න. කුඩ, තොප්පි, අව් කණ්ණාඩි පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. පුළුවන් තරම් සිසිල් සුළඟ තියෙන හෙවන තැන්වල විවේක ගන්න බලන්න.

අව්වේ යනවා නම් කළු, තද නිල් වගේ තද පාටවල ඇදුම් අඳින්න එපා. තද ඇඳුම්වලට සුටුස් ගාලා හිරුකිරණ අවශෝෂණය කරගන්නවා. එතකොට අපේ ඇඟට රස්නය දැනෙවා වැඩියි වගේම සම විජලනය වෙනවත් වැඩියි. අව්වේ යද්දි සුදු, කහ, අළු, ලා රතු, ලා කොළ, ලා නිල් වගේ පාට පංකාදුයි. මේ පාටවලට හිරුකිරණ අපේ ඇඟට ඇතුළු වෙන්න නොදී පරාවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම පොලියෙස්ටර්, ඩෙනිම් වගේ අමුද්‍රව්‍යවලින් හැදූ බර ඇදුම් වෙනුවට කොට්න්, කපු වගේ බර අඩු සැහල්ලු ඇඳුම් අදින්න.

මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී වගේ මේ දවස්වල අව්වේ ගියත් ගෙදර හිටියත් ඇඟට සැර දැනෙනවා. ඒ නිසා අව්වේ ගියත් ගෙදරම හිටියත් අනිවාර්යයෙන්ම මේ ටික කරන්න.

වතුර ලීටර 2.1/2ක් බොන්න. තරමක සීතල වතුර බොන්න පුළුවන් නම් වැඩිය හොඳා. වතුරවලට අමතරව දොඩම් යුෂ, කොමඩු යුෂ, බාර්ලි, සව්, බෙලි යුෂ, බෙලි මල්, කිතුල් කැඳ, තැඹිලි, කුරුම්බා, එළකිරි, රණවරා, නීරමුල්ලිය, ඉරමුසු බොන්න. පැහුණු අඹ ගෙඩියක් තම්බලා ඒකට වතුර එකතු කරලා පානයක් වගේ හදලා බොන්න. මුදවපු කිරිවලට වතුර එකතු කරලා බොන්න. ඇඟේ සිසිල වැඩි කරන්න ඔව්වට පුළුවන්. ඒ වගේමයි කෝපියි ඇල්කොහොල් බීම ජාතියි බොන්න එපා. එව්වා ඇඟ වේලන්න ඉරට උඩගෙඩි දෙන එව්වා.

බී ලූනු අමුවෙන් කන්න. ඇඟේ ජලය රඳෝගන්න බී ලූනුවලට පුළුවන්. කොමඩු, පිපිඤ්ඤා, කැකිරි, කැරට්, මුං ඇට, නෙල්ලි වගේ ඇඟේ දාහය නිවන කෑම වැඩියෙන් කන්න. ඉස්සෝ, දැල්ලෝ, තක්කාලි, සැමන් වගේ සැර කෑමවලින් කට පරිස්සම් කරගන්න.

නෝනා නානවා නම් නාන්න නෝනා කියලා නන්දා මාලනී මහත්මියගේ සිංදුවක් තියෙනවානේ. හැබැයි ඒ සිංදුවේ වගේ නානවා නම් නාන්න නෙමේ මේ දවස්වල අනිවාර්යයෙන්ම නාන්න නෝනා කියලා තමයි කියන්න වෙන්නේ.

හැබැයි උණුවතුරෙන් නම් නොනා ඉන්න තරමට  හොඳයි. මේ දවස්වල වැඩිය හොඳ සීතල වතුර.

ඒ වගේම මුහුදෙනුයි, ජල තටාකවලිනුයිත් නොනා ඉන්න නෝනලා. නානවට අමතරව දවසට දෙපාරක් සීත වතුරෙන් ඇඟ සෝදන්න. ඒ වගේම කියන්න ඕනේ තද අව්වේ ගිහින් ආපු හැටියේ නාන්න යන්න එපා. ඒකෙන් තාප සංකූලතා ඇතිවෙලා ජීවිතේට වුණත් හානිවෙන්න පුළුවන්. ඒ නිසා අධික රස්නෙට නිරාවරණය වෙලා ආවොත් ටිකක් ඇඟ නිවෙනකල් ඉඳලා නාන්න. නාලා ඇඟ සෝදලා අහවර වුණු හැටියේ මුළු ඇඟටම මොයිස්චරයිසින් ක්‍රීම් ගාන්න. නැත්තම් ග්ලිසරින්, හයලුරොනික්, කෝමාරිකා යුෂ, අලිගැටපේර තෙල් වුණත් කමක් නැහැ. මෙව්වා සමේ තෙතමනය රැකගන්න පංකාදු දේවල්.

ඉර අව්වෙන් සම ආරක්ෂා කරන මාස්ක් වර්ග ගාන්න. සන් මාස්ක් වර්ග වෙළඳපොළෙන් ගන්න පුළුවන්. එහෙම නැත්තම් ගෙදරදිම මේ මාස්ක් හදාගන්න.

ඉදුණු පැපොල්වලට යෝගට්, මී පැණි එකතු කරලා ගාන්න. විනාඩි 20ක් තියලා සෝදලා අරින්න.

තක්කාලි යුෂ සමේ ගාන්න. විනාඩි 20ක් තියලා සෝදලා අරින්න. පස්සේ අයිස්කැටයක් අරන් කපු රෙදි කෑල්ලක තියලා ඒකෙන් මූණ සම්බාහනය කරන්න.

නෙල්ලි කුඩුවලට වතුර හරි පොල් වතුර හරි දාලා මාස්ක් එකක් හදාගන්න.

ඕට්ස් කුඩුවලට එළකිරි එකතු කරලා ගාන්න. ඕට්ස් කුඩු නැත්තම් එළකිරි නිකන් ගෑවත් කමක් නැහැ.

කෝමාරිකා යුෂවලට යෝගට් සහ මී පැණි මිශ්‍ර කරලා සමේ ගන්න. විනාඩි 20ක් තියලා සෝදන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි