රූපලවන්‍ය

ලපවලට ඇප නැති කරන ඇටේ

අවුරුද්ද ගෙවිලා ඉවර වුණාට මොකෝ අවුරුද්දේ පුසුඹ තාම ගෙවිලා ඉවර නැහැ. අවුරුදු කාලෙට ගෙවල්වල එක එක ජාතියේ කැවිලි හැදුනට ඔය හැදෙන හැම කැවිල්ලකටම වඩා සුවඳ දෙන්නේ මුංඇට කැවුම. ඇඟට ශක්තිය එහෙමත් දෙන නිසා මුංඇට කැවිල්ල කන්න කවුරුත් මනාපයි. ඉස්සර අපේ ගෙවල්වල මුංඇට තැම්බෙද්දි අම්මලා ආත්තම්මලා ඒ වතුර ටික අහකට හලන්නේ නැහැ. මුං තැම්බුව වතුර ටික පෙරලා ලුණු ඩිංගක් කාරිය දාලා ගත්තහම පංකාදු පහයි.

මුලින්ම මුංඇට හොයාගෙන තියෙන්නේ ඉන්දියානුවෝ. හිමාල කන්දෙන්. ඒ මීට අවුරුදු 3500කටත් කලින්. මුංඇට කියන්නේ මහෝෂධ  ඖෂධයක්. ගර්භාෂය සිසිල් කරලා ඩිම්බ මේරීමේ හැකියාව වැඩි කරන්න මුංඇටවලට පුළුවන්ලු. ඒ විතරක් නෙමේ ශුක්‍රාණුවල සජීවිකම වැඩි කරන්නත් කදිමලු. ඉතින් ඉස්සර ඉන්දියාවේ ගෑනු දරුපල පමාවෙච්චි හැටියේ හිමාලෙට ගිහිල්ලා මුංඇට හොයාගෙන කාලා ගෙදර උන්දැටත් කැව්වහම වැඩේ හරිලු. වැඩිපුර මුංඇට කෑවහම දරුවෝ ඉක්මන් වෙනවා කියලයි අදත් ආයුර්වේදයේ පිළිගැනීම.

ඒත් කතාව ඒක නෙමේ. බවලතියන්ට දරුවෝ දෙන්න විතරක් නෙමෙයි ලස්සන සමක්, කෙස් කළඹක් කාරිය දෙන්නත් මුංඇටවලට පුළුවන් එකයි වැඩේ කියන්නේ. ඉතින් බවලතියන්ට මෙච්චර ප්‍රයෝජනවත් මුංඇටෙන් ලස්සන වෙන හැටි ගැනයි අද කතාව. මුංඇට කාලා බර අඩු කරගන්න විදියක් ගැනත් මේ ගමනම කතා කරමු.

මුංඇට හමට දෙන ඔපේ නොදන්න නිසාදෝ අපේ රටේ ගොඩක් බවලතියෝ මුංඇටවලින් සත්කාර කරනවා අඩුයි. හැබැයි මුංඇට කියන්නේ ඉන්දියානු කාන්තාවන්ගේ ප්‍රධානම රූපලාවණ්‍ය අමුද්‍රව්‍යක්. මුංඇටවල සමේ පෝෂණයට අවශ්‍ය කරන විටමින් A, B, C, E, K කියන සංඝටක සේරෝම තියෙනවා. මූණේ තියෙන අව් ලප විතරක් නෙමේ කුරුලෑ ලප, තුවාල ලප ඔය කොයි ලපෙත් මකන්න මුංඇටවලට පුළුවන්. කුරුලෑ සුව කරන්නත් මුංඇට ගානවා. සම තෙතමනය කරන්න වගේම පාටයි ඔපෙයි වැඩි කරන්නත් මුංඇට හොඳයි. මුංඇටවලින් කරන්න පුළුවන් සත්කාර ගොන්නක්ම තියෙනවා. ඒ ඒ ගැටලුවට ඕන් ඒ ඒ සත්කාර.

කුරුලෑ නැත්තම් වෙනයම් ලප කැලැල් තියෙන කෙනෙක් නම් මුංඇට රැයක් පෙඟෙන්න තියලා පහුවෙනිදා එළඟි තෙල් එක්කාසු කරලා අඹරලා ලපවලට ගාන්න. විනාඩි 20ක් තියලා සෝදන්න. මේ සත්කාරේ සතියට දවස් දෙකක්වත් කළොත් හොඳයි.

ඊගාවට මූණෙ කුරුලෑ තියෙන කෙනෙක් නම් මුංඇට සෝදලා තෙත ඇරලා කුඩු කරගෙන ඒකට වතුර මිශ්‍ර කරලා ගාන්න. මේ සත්කාරය සතියට දවස් තුනක් විතර කරන්න.

මුංපිටියි, උඳුපිටියි සමව අරගෙන කරපිංචා යුෂෙන් අනලා හෙයා මාස්ක් එකක් වගේ හිසේ සමට ගාන්න. කෙස් හැලීම, හිස්හොරි වගේ ගැටලුවලට සුවයි. මුංඇට තම්බා ගත්තු වතුරෙන් හිස සෝදන්න. විනාඩි 20ක් විතර තියලා සෝදන්න.

මුංඇට පිටිවලට මීකිරි එක්කාහු  කරලා ගෑවොත් සමේ තෙතමනය වැඩිවෙනවා. මූණේ කැළැල් තියෙන කෙනෙක්ට වුණත් මේ සත්කාරය හොඳයි.

තෙල් සහිත සමක් තියෙනවා නම් මුංඇට පිටිවලට මී පැණි ටිකක් මිශ්‍ර කරලා ගාන්න. විනාඩි 20ක් තියලා සෝදන්න. සත්කාරය සතියට දෙවතාවක් කරන්න.

බෙල්ල, ඉකිල්ල, කිහිල්ල කළුවෙලා කියලා තවත් නම් දුක්වෙන්න එපා. මුංඇටවලට වතුරයි දෙහි යුෂ ඩිංගිත්තකුයි දාලා කළුවෙච්චි තැන්වල ගාන්න. විනාඩි 20ක් තියලා සෝදන්න. සතියට තුන්පාරක් මේ සත්කාරෙ කළොත් ඉබේම කළු ගතිය ඇරිලා යනවා

මුං ගාලා සුදුවෙන හැටියි දැන් කියන්නේ. මුංඇට පිටිවලට බිත්තර සුදුමදයක් එක්කාසු කරලා මූණේ ගාන්න. විනාඩි 30කින් සෝදන්න. මුංඇට රැයක් පොඟවලා බ්ලෙන්ඩ් කරගන්න. ඒකට සුදු පොල්තෙල් ටිකකුයි මී පැණි ඇබිත්තකුයි දාලා කලවම් කරලා ගාන්න. තියන්න ඕනේ වෙලාව විනාඩි 20යි. තව මුංඇට පිටිවලට කහයි ලෙමන් යුෂයි එකතු කරලා මූණේ ගාන්න. විනාඩි 20න් සෝදන්න. අමුවෙන් අඹරගත්තු මුංවලට කෝමාරිකායි කඩල පිටියි එකතු කරලා ගාන්න. මේ සත්කාර මුළු ඇඟටම වුණත් කරන්න පුළුවන්.

සම රැළි වැටිලා නම් මුංඇට පිටිවලට ග්‍රීන් ටී ටිකක් කලවම් කරලා ගාන්න. සමේ රැළි නැතත් අවුරුදු 27 පැන්න ඕනම කෙනෙක්ට මේ පැක් එක ටොපේ ටොප්.

කඩෙන් ගන්න ස්ක්‍රබ් වර්ග ගිනි ගණන් හින්දා කඩෙන් ස්ක්‍රබ් ගන්න සල්ලි නාස්ති කරන්න එපා. මුංඇට පිටි ටිකකට වතුර ටිකක් දාලා ස්ක්‍රබ් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

මුංඇට ගානකොට වගේම තමයි මුංඇට කනකොටත් ලස්සන වෙනවා. අර කිව්ව විටමින්වලට අමතරව මිනරල්, පොටෑසියම්, යකඩ වගේ දේවලුත් මුංඇටවල තියෙනවා. ඉතින් පුළුවන් තරම් මුංඇට කන්න. මුංඇට කැඳ බොන්න, දවසක් වතුරේ දැම්ම මුංඇටවලින් නැත්තම් පැළ කරාපු මුංඇටවලින් සලාද හදලා අමුවට කන්න.

කෑම අඩු නොකර ඇඟේ බර අඩු කරගන්න කැමති අයටත් මුංඇට ඉස්තරම්. බත්වල ග්ලයිසිමික් අගය වැඩියි ඒ කියන්නේ සීනි ඇඟට උරාගන්න වේගය. හැබැයි මුංඇට කියන්නේ ග්ලයිසිමික් අගය අඩු ආහාරයක්. බත් ග්‍රෑම් 100gක කැලරි 200ක් තියෙද්දි මුං 100gක තියෙන්නේ කැලරි 115gයි. ඒ වගේම ප්‍රෝටීන 8gක් තියෙනවා. මුංඇට 100gක මේදය 1gයි. ඒ විතරක්ද කොලොස්ට්‍රෝල් ඇත්තෙම නැහැ.

මුංඇටවල ප්‍රෝටීන වගේම තන්තුත් වැඩියි. එහෙම කෑමවලට හොඳට බඩ පිරෙනවා. එතකොට නිතරෝම කුරුල්ලොන්ට වගේ ඩිංග ඩිංග මොනා හරි කන්න බඩගිනි එන්නේ නැහැ.

ශරීරෙට අවශ්‍ය පෝෂණෙත් ලබාදෙන ගමන් බරත් අඩු කරන්න මුංඇට හොඳයි කියන්නේ ඒකයි.

කරන්න ඕනේ මෙච්චරයි. බත්වලට ආදේශකයක් විදියට මුංඇට කන්න. මුංඇට එක්ක මස් මාළු, එළවලු පලා එහෙමත් කන්න. එතකොට සමබල ආහාර වේල සම්පූර්ණයි. මේ විදියට කළොත් බරත් අඩු වෙනවා. හැමදාම එහෙම කන්න බැහැ කියලා හිතෙනවා නම් සතියට දවස් දෙක තුනක්වත් බත් වෙනුවට මුංඇට කන්න. නැත්තම් සතියට තුන් හතර පාරක් උදේ කෑම විදිහට මුංඇට තම්බලා කන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි