විශේෂාංග

මගේ ඇඟ මගේ

පුංචි නෙතුකි වෙනදාටත් කලින් පංතියේ පාඩම් වැඩ අහවර කළේ අල්ලපු ගෙදර තරූ අයියා සමඟ සෙල්ලමට යාමටය.

අම්මේ මම තරූ අයියා එක්ක සෙල්ලම් කරලා එන්නම්.

පස් වියැති නෙතුකි නිවසින් පිටතට බැස්සේ පුංචි සමනලියක මෙන් සැහැල්ලු සිතින්ය.

තරූ අයියා ගෙදර නැහැනේකමක් නෑ, ගෙට එන්නකෝ. මම ඔයාට ටොෆියක් දෙන්නම්…”

නෙතුකිට නිවසට ආරාධනා කළේ ටික දිනෙක සිට තරූ අයියගේ නිවසේ නැවතී සිටි සම්පත් මාමාය.

තරූ අයියගේ නිවසත්, සම්පත් මාමාත් තමාට නුහුරු නුපුරුදු නොවූයෙන් නිවස ඇතුළට යාමට පුංචි නෙතුකි ද දෙවරක් සිතුවේ නැත.

නෙතුකිට ටොෆියක් ලබාදුන් සම්පත් මාමා ඇයව අත අතපත ගෑමට පටන්ගත් සැණින් නෙතුකිට මතක් වූයේ පිටස්තර කිසිවෙකුට තමාගේ ඇඟ අතපත ගෑමට ඉඩ නොදෙන ලෙස පාට පාට ලස්සන පින්තුර සහිතව තමා කියවූ පොතය. ඒ නිසා ඇය සම්පත් මාමාගේ අත ගසා දමා වහා ගෙදර දිවගොස් සිදුවූ සියල්ල අම්මා සමඟ කීවාය.

නෙතුකි කියවා තිබූ ඒ පොතේ නම නම් ‘මගේ ඇඟ මගේ’ යන්නය. මේ පොත ලියා පළකර ඇත්තේ තරුණ වෛද්‍යවරයෙකු වන නුවන් තොටවත්ත මහතාය.

ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් අප සමඟ සිදුකල සංවාදයකදී හෙතෙම ප්‍රකාශ කළේ දරුවෙකුට සිදුවිය හැකි ලිංගික අතවරයකින් ඔහුව මුදවාගැනීමට ඇති හොඳම මඟ දරුවා තුළ ඇති දැනුවත්භාවය වැඩි කිරීම බවයි.

අපි නොදන්නවා වුණාට අපේ රටේ දරුවෝ සෑහෙන ගානක් පොඩි කාලෙදිම ලිංගික අපයෝජනයට ලක්වෙනවා. එහෙම සිද්ධවෙන ගොඩක් අපයෝජන විවිධ හේතූන් නිසා වාර්තා වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ වාර්තා වෙනවාට වඩා වැඩි ලිංගික අපචාර ප්‍රමාණයක් වාර්ෂිකව අපේ රටේ සිදුවෙනවා.”

දරුවාව කුමන ආකාරයක හෝ ලිංගික ක්‍රියාවක් සඳහා පොළඹවා ගැනීම ලිංගික අපයෝජනයක් ලෙස නිර්වචනය කළ හැක. අසභ්‍ය දෑ පෙන්වමින් හෝ අසභ්‍ය දෑ ප්‍රකාශ කරමින් දරුවන්ව ලිංගික ක්‍රියාවන්ට පොළඹවා ගැනීමට උත්සාහ කිරීම, ළමුන්ගේ ලිංගේන්ද්‍රිය ස්පර්ශ කිරීම හෝ තම ලිංගේන්ද්‍රිය ස්පර්ශ කරන ලෙස දරුවාට බල කිරීම, ඒවා ප්‍රදර්ශනය කිරීම, දරුවා සමඟ ලිංගිකව එක්වීම ඇතුළු අපයෝජන රැසක් දරුවෙකුට සිදුවිය හැකියි.

අපේ අම්මලා දරුවෙකුට දෙන ලොකුම අවවාදය අඳුරන්නේ නැති අය එක්ක කතාවට යන්න එපා කියන එකයි. හැබැයි නාඳුනන අය අතින් දරුවෙක් අපයෝජනය වෙන්න තියෙන ඉඩ සීමිතයි. ගොඩක් දරුවෝ අපයෝජනයට ලක්වෙන්නේ දන්න කියන හොඳටම හිතවත් අය අතින්. ඒ ළඟ ඉන්න මාමා කෙනෙක්, බාප්පා කෙනෙක් එහෙමත් නැතිනම් සීයා කෙනෙක් වුණත් වෙන්න පුළුවන්.”

දරුවන් සමඟ හොඳින් කුළුපහ වීමට මෙවන් පුද්ගලයන් හරි දක්ෂය. එසේම තමා අතවරයට ලක්වන බව දරුවා නොදන්නේ නම් එම සිදුවීම රහසේම යටගැසීමට ඔවුන්ට පහසුය. ඥාති නිවසකදී, මිතුරෙකුගේ නිවසකදී, පාසලේදී නැතහොත් පාසල් වෑන් රථයේදී, නේවාසිකාගාරයේදී මෙන්ම වෙනත් ඕනෑම ස්ථානයකදී දරුවෙකු අපයෝජනයට ලක්වීමට ඉඩ ඇත.

අපයෝජනයට ලක්වෙන්නේ එක්තරා සමාජ තලයක දරුවන් විතරයි කියලා ඇතැමුන් සිතනවා. නමුත් ඒ අදහස වැරදියි. ඕනෑම සමාජ තලයක, ඕනෑම අධ්‍යාපන මට්ටමක සිටින දරුවන් ළඟම හිතවතෙකුගේ අතින් ඕනෑම මොහොතක අතවරයට ලක්වෙන්න පුළුවන්.

අනික මේ ක්‍රියාදාමය එකවර සිදුනොවෙන්න පුළුවන්. සැලසුම්සහගතව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරනා අපයෝජනයන් තිබෙනවා. මෙවන් දේ දිගින් දිගටම සිදුවුණාම දරුවෙකු නිතැතින්ම ආතතියට ලක්වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ ආතතියෙන් යුත් අවේගශීලී වැඩිහිටියෙක් නිර්මාණය වීමයි. ඒ වගේම අපචාරයට ලක්වෙන දරුවා වැඩිහිටියෙක් වුණහම ඔහු අතින් තවත් දරුවන් අපයෝජයට ලක්වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි.”

අතැඟිලි තුඩින් පිරිමැද්දත් කැඩී බිඳී යන තරමට සමනොළ තටු සියුමැලිය. තටු කඩා සිඳ දැමූ පසු සමනොළයන්ට නිසි ලෙස පියෑඹීමට අපහසු වන්නා සේම කුඩා වියේදී ලිංගික අපයෝජනයකට ලක්වන සියලු දරුවන් යහපත් වැඩිහිටියන් ලෙස සමාජගත වන්නේ නැත.

දෙමාපියන් තමයි දරුවන්ගේ ආරක්ෂකයෝ වෙන්න ඕනේ. ඉතින් දරුවා ගැහැනු දරුවෙක්ද, පිරිමි දරුවෙක්ද කියන කාරණාව නොබලා අපි අපේ දරුවන් සියල්ලන්ම ආරක්ෂා කරගන්න ඕනේ.”

ලිංගික අපයෝජනය පිළිබඳව දැනුවත් නොමැති දරුවෙකු අපයෝජනයකට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. කුඩා වියේදීම ඒ සම්බන්ධයෙන් දරුවා දැනුවත් කිරීම වැදගත් වන්නේ ඒ නිසාය.

දෙයක් වුණාට පස්සේ හඬා වැළපෙන එකට වඩා එය වළක්වාගැනීමට උත්සාහ කරන එක තමයි වඩාත්ම හොඳ. දරුවෙක් ඉපදුණු ගමන් අපිට ඔහුට මේ දේවල් පැහැදිලි කරන්න බැහැනේ. ඉතින් පුංචිම කාලෙදි ළඟින්ම ඉඳලා මල් වගේ දරුවන්ව රැකගන්න වෙනවා.

අවුරුදු හතර පහ වෙනකොටම මේ දේවල්වල අවධානම තේරුම් කරලා දීලා එවැනි දෙයින් ඈත් වෙන්න කියලා දරුවන් දැනුවත් කරන්න ඕනේ. මේ වයසේ දරුවෙක්ට ඒ කාරණා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි බොහොම සරල විදිහට දරුවාට මේ පණිවිඩය ලබාදෙන්න දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ.”

ඔහු කියන්නේ ළමා ලිංගික අපයෝජන වළක්වා ගැනීමට නම් දෙමාපියන් දරුවන් සමඟ විවෘත සංවාදයක් ගොඩනගාගත යුතු බවය.

ඒ කියන්නේ තමන්ගේ ඇඟ කාටවත්ම අල්ලන්න දෙන්න එපා කියන එකත්, කවුරුහරි එහෙම කරන්න හැදුවොත් ඉක්මනින්ම එතැනින් අයින් වෙලා ඒ බව අම්මට හරි තාත්තට හරි කියන්න කියන එකත් අපි දරුවට කියලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම ඇඳුම්වලින් වහලා තියෙන තැන් අම්මට තාත්තට ඇරෙන්න වෙන කාටවත් අල්ලන්න දෙන්න හොඳ නැහැ කියන පණිවිඩය අවුරුදු හතර පහ වෙනකොටම අපි දරුවාගේ මනසට දාන්න ඕනේ.”

දරුවෙකු සමඟ මේ කතාබහ ඇරඹීමට ප්‍රවිශ්ඨය ලබාගන්නා ආකාරය වෛද්‍ය නුවන් තොටවත්ත මහතා විසින් රචිත පොතෙහි සඳහන් කර ඇත.

අපචාරයකට ලක්වෙන්න කලින්ම එය නරක දෙයක් බව දරුවන්ව දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් තමයි මගේ ඇඟ මගේ කියන ළමා ග්‍රන්ථය මම රචනා කළේ. මේ කතාව කියවන්න පුළුවන් දරුවන් තනිවම ඒ දේ ඉගෙනගනියි. තවමත් කියවන්න බැරි දරුවන්ට කතාව කියලා දීලා, රූප පෙන්නලා ඒ ගැන හරි අපූරුවට පැහැදිලි කරන්න දෙමව්පියන්ට පුළුවන්. හැබැයි එතැනදී දරුවෝ අහන ප්‍රශ්නවලට සරලව ලස්සනට උත්තර දෙන එකත් හරි වැදගත්.”

දරුවන්ට වඩාත් උචිත සරල බස් වහරකින් රචිත මෙම ළමා පොත් පිංච තුළ ළමා මනස සොඳුරු කරන සුන්දර සිතුවම් පෙළක්ද අන්තර්ගතය.

හැම ජාතියකටම අයිති දරුවන් අපචාරයට ලක්වෙන්න පුළුවන්. ඒ නිසා මේ පොත සිංහල, දමිළ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම පළකරලා තියෙනවා. මේ පොත භාෂා තුනෙන්ම පළකරමු කියන අදහස ගෙනාව සමයවර්ධන ප්‍රකාශකයින්ටත්, ළමා මනසට ගැළපෙන විදිහට සිතුවම් සිත්තම් කරලා දීපු සිදුපමා චන්ද්‍රසේනටත්, දමිළ පරිවර්තනය සිදුකළ අනුෂා සිවලිංගම්ට සහ ඉංග්‍රීසි පරිවර්තනය සිදුකළ සඳනි ප්‍රාර්ථනාටත් මගේ ස්තූතිය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. පුංචි පොතක් වුණත් මේ පොතට මහ විශාල සමාජ වගකීමක් ඉටු කරන්න පුළුවන්. ඉතින් තමන්ගේ දුවට පුතාට මේ වගේ පොතක් ලබාදෙන එක දෙමව්පියන්ගේත් වගකීමක්.”

 

මලක් වුණත් හරි ලස්සන

ගහේ තිබුණොතින් විතරයි

නෙලා ගත්තොතින් ඒ මල

පරවේවි ඔන්න

 

පුංචි අපිත් මල් වාගෙයි

හරිම ලස්සනයි සුවඳයි

මේ ලෝකේ කාටවත්ම

බෑ අල්ලන්න

 

අපේ පාට අපි රැකගමු

සුවඳ පරිස්සම් කරගමු

ඒ ඇති මේ මුළු ලෝකෙම

ලස්සන වෙන්න…’

 

මේ වෛද්‍ය නුවන් තොටවත්ත මහතාගේ ‘මගේ ඇඟ මගේ’ කෘතියෙන් උපුටාගත් සුන්දර පද්‍ය පංතියක්ය. ඇත්තය. පුංචි මල්වල සුවඳ, පාට අකාලයේ මිලින වීමට ඉඩනොදී ඒ මල් රැකගැනීමට එක්වීම අප සියලුදෙනාගේ වගකීමය.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි