විශේෂාංග

රටටම පරිගණක හදන සූරියවැවේ සූරවීර කෙල්ලෝ

‘‘සාමාන්‍යයෙන් තාක්ෂණික අංශයේ රැකියා දොරටු විවර වෙන්නේ පිරිමි පාර්ශවයටනේ. හැබැයි ලංකාවේ එකම පරිගණක එකලස් කිරීමේ ආයතනය වන අපේ ආයතනයේ තත්ත්වය ඊට වඩා වෙනස්. අපේ වැඩ කරන සේවකයන්ගෙන් සීයට අසූ පහක්ම ඉන්නේ කාන්තාවන්. ගමක ජීවත්වෙන කෙල්ලො ටිකක් ලංකාවටම පරිගණක හදනවා කියන එක ඇත්තටම ටිකක් වෙනස් දෙයක්නේ. ඉතින් ඒ නිසා මේ රැකියාව ගැන මට හරි ආඩම්බරයි.’’

එසේ පවසන්නේ අද ‘ධරණී’ කවරය දරා සිටින හුරුබුහුටි යුවතිය යූ.එම්.ශානිකා කුමාරි ය.

​ඇය e-wis ආයතනය ස්ථාපිත කළ, ලංකා​වේ එකම පරිගණක එකලස් කිරීමේ මධ්‍යස්ථානයේ තත්ත්ව ආරක්ෂණ කාර්මික ශිල්පිනියක ලෙස සේවය කරන්නීය.

සූරියවැව පිහිටි මෙම සුවිශේෂී කර්මාන්ත ශාලාවෙන් සිදුවන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ලෙස පරිගණක දෘඪාංග කොටස් එකලස් කිරීමයි.

‘‘මේ රැකියාව බොහොම සියුම් විදියට, හොඳ අවධානයකින් කළ යුතු එකක්. ඉවසීම කියන එක මේකෙදි හරිම වැදගත්. කාන්තාවන්ට පිරිමින්ට වඩා හොඳ ඉවසීමක් තියෙනවා. ඉතින් ඒ නිසා පරිගණක දෘඪාංග එකලස් කරන වැඩේ පිරිමින්ටත් වඩා හොඳට අපිට කරන්න පුළුවන්. කොහොමටත් පුංචි කාලේ ඉඳලම මට පරිගණක දෘඪාංග ගැන ඉගෙනගන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසාම මම ඒ සම්බන්ධයෙන් NVQ පාඨමාලාවකුත් හදාරලා හිටියේ.’’

නමුත් ඒ අංශයෙන් ඉදිරියට යාමට හැකි මාර්ගයක් ඇයට තිබුණේ නැත. සූරියවැව පිහිටි e-wis කර්මාන්තශාලාවේ නැරඹුම් චාරිකාවකට සහභාගී වන්නට ඇයට අවස්ථාව ලැබෙන්​නේ ඔය අතරය.

‘‘මගේ ගම තිස්සමහාරාමය. ඉතින් මේ පළාත්වල ඔය වගේ ක්ෂේත්‍රයකට එන්න තියෙන අවස්ථා අඩුයි. අනික ගෑනු ළමයෙක්ට ඔය වගේ අවස්ථාවක් දෙන්න කැමති වෙන පිරිසත් අඩුයිනේ. ඒ නිසා ඉගෙනගත්ත දේ අපතේ යයිද කියලා හිතේ දෙගිඩියාවකුත් නොතිබුණාම නෙවෙයි. ඔය අතරේ තමයි සූරියවැව e-wis කම්හලට නැරඹුම් චාරිකාවක් යන්න මට අවස්ථාවක් ලැබුණේ. එතනට ගියහම මගේ හීනේ හැබෑවුණා ව​ගේ හැඟීමක් දැනුණා. ඊටපස්සේ තමයි මමත් මේ ආයතනයට එකතු වෙන්න තීරණය කළේ.’’

ඈ කියන්නේ ආයතනයට සම්බන්ධ වන සියලුම දෙනාට පරිගණක දෘඪාංග සහ මෘදුකාංග සම්බන්ධයෙන් අංග සම්පූර්ණ පුහුණුවක් ලබාදෙන නිසා පරිගණක දැනුමක් නැති කෙනෙකුට වුවද ඊට සම්බන්ධ විය හැකි බවයි. පරිගණක තාක්ෂණය දිනෙන් දින යාවත්කාලීන වන නිසා ඔවුන් ලබන පුහුණුව, පුහුණු කාලසීමාවට පමණක් සීමා වන්නේද නැත.

‘‘සාමාන්‍යයෙන් අපි වෙනත් රැකියාවක් කරන්නේ ඉගෙනීම අවසන් කරලානේ. නමුත් මෙතැනදී අපි කරන්නෙ ඉගෙනගන්න අතරෙම රැකියාවක නිරත වෙන එකයි. පරිගණක දැනුමට අමතරව නායකත්ව පුහුණුව, කාර්යක්ෂමව වැඩ කරන ක්‍රමවේද සහ නිවැරදි විනයක් ගොඩනගාගන්නා ආකාරයත් රස්සාව ඇතුළෙදි අපි ඉගෙනගන්නවා.’’

ඇය සේවය කරන ආයතනයේ වැඩි සේවක පිරිසක් හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පදිංචි අයවලුන් වීමද සුවිශේෂීය.

‘‘මට මේ අවස්ථාව නොලැබුණා නම් මේ ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වෙන්න නගරබද ප්‍රදේශයකට යන්න වෙනවා. නමුත් දැන් වැඩි මහන්සියක් නොවී ගෙදර ඉඳලම මට මම කැමති රැකියාව කරන්න පුළුවන්.

අනික මුළු ආසියාවටම තියෙන්නේ පරිගණක එකලස් කිරී‍මේ ආයතන පහයි. ඉතින් එයින් එකක් මගේ ගමෙත් තියෙනවා කියන එකම මට ලොකු ගෞරවයක්.’’

ලොව දැවැන්ත තාක්ෂණික ව්‍යාපාර වන මයික්‍රොසොෆ්ට්, ඉන්ටෙල්, හෙයර් වැනි ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ අනුබද්ධිතව කටයුතු කරන ආයතනයක සේවය කිරීමට ලැබීම පිළිබඳව ඈ තුළ ඇත්තේ නිහතමානී සතුටකි.

පරිගණක එකලස් කිරීමේ තත්ත්ව ආරක්ෂණ නිලධාරිනියක ලෙස ඇයට පැවරී ඇති කාර්යභාර්යය පිළිබඳව ඈ අපත් සමඟ පැවසුවාය.

‘‘ලැප්ටොප්, ස්මාර්ට් බෝර්ඩ්, ටැබ්ලට් පරිගණක, ඩෙක්ස්ටොප් පරිගණක විතරක් නෙවෙයි ජංගම දුරකතනත් අපි එකලස් කරනවා. පාරිභෝගිකයන්ගේ ඉල්ලීමට අනුව වෙන වෙනම තියෙන උපාංග කොටස් එකට එකතු කරලා පරිගණක නිර්මාණය කෙරෙනවා. එහෙම නිපදවෙන පරිගණකවල නිමාව සහ තත්ත්වය පරීක්ෂා කරන එක තමයි මගේ රාජකාරිය. අපිට දවසකට පරිගණක 500ක් විතර එකලස් කරන්න පුළුවන්. නමුත් දිනකට එකලස් වෙන පරිගණක ප්‍රමාණය තීරණය වෙන්නේ ලැබෙන ඇණවුම් ප්‍රමාණයට අනුවයි.’’

වෘත්තිය තුළින් උපයාගත් දැනුම ඇයගේ ප්‍රායෝගික ජීවිතයට නිතැතින්ම වැදගත් බව ඈ කියයි.

‘‘රැකියාවට යනකොට තිබුණු දැනුමට වඩා හොඳ පරිගණක දැනුමක් මට දැන් තියෙනවා. මගේ පෞද්ගලික පරිගණකයේ ඕනම දෝෂයක් මට දැන් තනිවම හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගමේ කෙනෙක්ගේ පරිගණකයක් කැඩුණොත් ඒ අයටත් මුලින්ම මතක් වෙන්නේ මාව. ඉතින් මම තමයි දැන් මුළු ගමේම පරිගණක අලුත්වැඩියා කරන්නේ.’’

මේ වෘත්තිය නිසා ඇයට සමාජයෙන් හොඳ ගෞරවයක් මෙන්ම පිළිගැනීමක්ද හිමිව ඇත.

‘‘ගෑනු ළමයෙක් මේ වගේ රැකියාවක් කරනවා කිව්වම ගොඩක් අය පුදුම වෙනවා. ඒ නිසාමද මන්දා සමාජයෙන් මට හොඳ ගෞරවයක් ලැබෙනවා කියන එකත් මට දැනිලා තියෙනවා. දැනුමෙන් විතරක් නෙවෙයි මම දැන් ආර්ථික අතිනුත් ස්වයංපෝෂිතයි. දැනුම සහ පළපුරුද්ද එක්ක අපිට ආයතනයේ ඉහළම තනතුරුවලට යන්නත් පුළුවන්. ඉතින් මේ ක්ෂේත්‍රයේම දිගු ගමනක් යන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව.’’

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්