ප්‍රීතිමත් ජීවිතයකට

සැමියා සහ බිරිඳ අතරට තුන්වෙනි පාර්ශවයක් එපා

විවාහයෙන් පස්සේ කෙනෙක් අලුත් ජීවිතයක් පටන්ගන්නවා. එතැනින් පස්සේ ඔහුගේ/ඇයගේ ජීවන රටාව වෙනස් වෙනවා. වගකීම් වෙනස් වෙනවා. විවාහය මනුෂ්‍යයෙකුගේ දෙවන උපතයි කියලා කතාවටත් කියන්නේ ඒකනේ.

නිලූෂි සහ මලින්ද කියන්නෙත් ඔය විදියට අලුත් ජීවිතයක් පටන්ගත්තු යුවළක්. මහගෙදර තමන්ගේ නමට තිබුණට බිරිඳත් එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න ඕන නිසාම මලින්ද ඔවුන්ට වෙනම ජීවත්වෙන්න ටිකක් පොඩිවට නිවසක් හැදුවලු.

විවාහ වෙලා අවුරුදු පහ හයක් සතුටින් හිටිය මේ පවුලට කණකොකා හඬන්න පටන් අරන් තියෙන්නේ බිරිඳ ඇති කරගත්ත අනවශ්‍ය ප්‍රශ්නයක් නිසා. ඒ ප්‍රශ්නේ හොඳ විදියට විසඳන්න අවශ්‍ය වුණු නිසා තමයි මලින්ද නිලූෂිව මගේ ළඟට එක්කරගෙන ආවේ.

‘‘බලන්න මිස් මේ ගෑනි අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගෙන දැන් කෑවෝ කෑවෝ කියන්න වෙලා තියෙන්නේ මටයි.’’

මලින්ද නිලූෂි දිහා බලන ගමන් ටිකක් සැරෙන් වගේ කිව්වා.

‘‘මේ මනුස්සයට පිස්සු මිස්. මෙයා මේ නැති ප්‍රශ්නයක් ඔලුවට අරන් ඉන්නේ.’’

ඒ පාර කිව්වේ නිලූෂි. දෙන්නගේ අරියාදු කතා නතර කරලා වෙච්චි දේ ගැන විපරම් කරන්න ඔය අතරේ මම ඉස්සර වුණා.

නිලූෂිට යාළුවෙක් ඉන්නවලු. ඇයගේ නම සමන්ති. මේ දෙන්නා පාසල් කාලේ ඉඳලම මිතුරියොලු. සමන්ති විවාහ වෙලා තියන්නේ ටිකක් දුර පළාතකට. කසාද බැඳලා අවුරුදු දෙකක් යන්නත් කලින් සමන්තිගේ සැමියා ඇයව දික්කසාද කරලා. ඒ කාලේ නිලූෂි සමන්තිට හිත හදාගන්න එහෙම සෑහෙන උදව් පදව් කළාලු. ඊටපස්සේ සමන්ති ජීවත්වෙලා තියෙන්නෙත් කුලී ගෙදරක, තනියම.

ඔහොම ටික කාලයක් ඉද්දි නිලූෂිට දරුවෙක් ලැබෙන ලක්ෂණ පහල වෙලා. ඔය කාලෙම මලින්දට ඔෆිස් එකේ රාජකාරි වැඩකට මාස කිහිපයකට විදේශගත වෙන්න සිද්ධ වුණාලු. නිලූෂිගේ මවත් විදෙස්ගත වෙලා ඉන්න නිසා නිලූෂිගේ තනියට ඔහුගේ මවව සූදානම් කරන්න මලින්ද උත්සාහ කරලා තියෙනවා. ඒත් මලින්දගේ අම්මා එක්ක පොඩි ආරෝවක් තිබුණු නිසා මලින්ද රට ගියහම තමන්ගේ තනියට සමන්තිව ගෙදර නවත්තගන්න නිලූෂි තීරණය කරලා.

ඒ කාලසීමාවේදි සමන්ති නිලූෂිට සෑහෙන උදව් පදව් කළාලු. කොටින්ම නිලූෂිගේ රෙදි ටික පවා සෝදලා දීලා තියෙන්නේ ඇගේ මේ මිතුරිය. ඒ විතරක් නෙවෙයි ගෙදර කන්නේ බොන්නේ මොනාවද, වැඩ සිද්ධ වෙන්න ඕනේ කොහොමද කියන එක, මුදල් පාලනය කරන විදිය පවා තීරණය කරලා තියෙන්නෙත් සමන්ති.

මලින්ද රාජකාරි අවසාන කරලා ආවට පස්සේ සමන්තිව නැවත යවන්න කියලා ඔහු බිරිඳට කියලා තියෙනවා.

‘‘ඔයා මොන ජාතියේ මිනිහෙක්ද? ඒ ගෑනිගෙන් වැඩ අරගෙන අරගෙන දැන් ආව ගමන් එළවලා දාන්නද කියන්​නේ?’’

ඒ පාර නිලූෂි ඔහොම කියලා රණ්ඩු කරලා. නිලූෂි කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා හිතුණු නිසා මලින්ද නිලූෂිට මුකුත් කියන්න ගිහිල්ලා නැහැ.

ඔහොම සති මාස ගණන් ගතවෙලා දැන් මේ කාන්තාව අවුරුද්දක තිස්සේ ඉඳලා මේ ගෙදර නතර වෙලා ඉන්නවලු. එහෙම ඉන්න එක නෙමේ වැඩේ. දැන් මේ මුළු නිවසම පාලනය කරන්නෙ ඇයලු. නිලුෂිත් සැමියා කියන දෙයට වඩා මේ කාන්තාව කියන දේට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.

ඒ වගේම නිලූෂිට මලින්ද ගැන සැක හිතෙන විදියේ දේවල් කිය කිය මේ පවුල කඩන්නත් ඇය උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා ඇයව නිවසින් එළවන්න කියලා මලින්ද බිරිඳ එක්ක නිරතම රණ්ඩු කරනවලු.

තමන් කුඩා කාලේ ඉඳලා දන්නා කියන කෙනෙක් වීම නිසා වගේම අවශ්‍ය වෙලාවේ ඇයට උපකාර කළා කියන හේතු නිසා නිලූෂි සමන්තිට නිවසින් යන්න කියලත් නැහැ. අනික මේ මිතුරියත් ඇය කළ උදව් ගැන නිතර උදම් අනලා තියෙනවා. හැබැයි තමන්ගේ ගෙදරින් යන්න කියන එක මලින්ද බොහොම සුහදශීලීව මේ කාන්තාවට කියලා තියෙනවා. ඒ පාරත් ඇය ඔහු කිව්ව දේ කනකටවත් අරගත්තේ නැහැලු. අවසානෙදි තමයි ඔහු බිරිඳව මගේ ළඟට එක්කරගෙන ආවේ. මිතුරියව නිවසින් එළවන්නේ නැතිනම් නිලූෂිව දික්කසාද කරන බවත් මේ සැමියා ඇය ඉදිරියේදිම මට කිව්වා.

මලින්ද බොහොම වැදගත් පුද්ගලයෙක් බව මට ඔහුගේ කතාබහෙන්ම තේරුණා. බිරිඳට ආදරයක්, ගෞරවයක් නැති සැමියෙක් ඔහුගේ තැන සිටියා නම් මේ පවුල තුළ මීට වඩා සංකීර්ණ ගැටලුවක් මතුවෙන්න තිබුණු බවත් තමන්ගේ සැමියාගේ බිරිඳගේ මිතුරියන් සහ මිතුරන් සමඟ අනවශ්‍ය සබඳතා ඇති කරගත්ත උදවිය උප​දේශනවලදී මට හමුවී තියෙන බවත් මම නිලූෂිට පැහැදිලි කළා.

දෙන්නෙක් විවාහ වෙලා වෙනම ජීවත්වෙන්න හිතනවා නම් දෙදෙනාගේ දෙමාපියන් ඇරෙන්න පිටස්තර අය නිවසේ දවස් ගණන් නතර කරගැනීම මනෝ උපදේශිකාවක් විදියට මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.

කසාද බැන්ද පලියට තමන්ගේ තිබුණු යාළු මිත්‍රකම්, හිතමිතුරු සබඳතා සේරම නතර කරලා දාලා සැමියා – බිරිඳ එක්ක විතරක් ජීවත් වෙන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ.

හැබැයි නිතර නිතර ගෙදර මේ වගේ පිටස්තර අය නතර කරගත්තොත් ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා.

ප්‍රධානම දේ තමයි අඹු-සැමි යුවළගේ නිදහස ඇහිරෙන එක. ගෙදර පිටස්තර අයෙක් ඉන්නවා නම් යුවළකට නිදහස් ආදරණීය ජීවිතයක් ගත කරන්න අමාරුයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

මිනිසුන්ට ඇතිවෙන සිතුවිලි අපේ ඇහැට පේන්නේ නැහැනේ. කොච්චර කිට්ටු සම්බන්ධයක් තියෙන කෙනෙක්ට වුණත් සැමියා සහ බිරිඳ ආදරෙන්, හොඳින් ඉන්නවා දකිද්දි ඊර්ෂ්‍යාසහගත හැඟීම් ඇතිවෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව යටපත් කරගන්න අපහසු කෙනෙක් නම් ඔන්න ඒ පාර ඒ පවුලේ නැති අවුල් අවුළුවන්න උත්සාහ කරනවා.

හිතන්නකෝ විවාහ වෙලා දරුවන් ඉන්න යුවළක් නම් පිටස්තර අයට නිතර නවාතැන් දෙන්න යන එක බොහොම භයානකයි. සැමියාගේ මිතුරෙක් වුණත් බිරිඳගේ මිතුරියක් වුණත්. නිවෙස්වල නතර වෙලා ඉන්න පිටස්තරයන් අතින් කොයිතරම් නම් දරුවන් අපයෝජනයට ලක්වෙනවද?

අනිත් දේ තමයි පවුලක් විදියට නිතර නිතර අනිත් අයගේ උදව් බලාපොරොත්තු වෙන්න එපා කියන එක.

සැමියා බිරිඳ අතර තියෙන ප්‍රශ්න. නැත්නම් පවුලේ ආර්ථික ප්‍රශ්න වේවා වෙනත් ගැටලුවක් වේවා කතාබහ කරලා තමන්ට පුළුවන් හොඳම විදියට ඒ ප්‍රශ්න විසඳගන්නවා ඇරෙන්න ඒවා හැමෝටම කිය කිය නිතරම අනිත් අයගේ උදව් බලාපොරොත්තු වෙන එක පවුල් ජීවිතේකට බො​හොමා දරුණුවට බලපාන්න පුළුවන් කාරණාවක්.

අපි ආශ්‍රය කරන මිනිස්සු ඇතුළේ ඉන්න චරිත අපිට එළියට පෙන්නේ නැහැනේ. ඉතින් කෙනෙක් නිතරම නිකන් උදව් කරන්න උත්සාහ කරනවා නම් එතැනත් යම් අරමුණක් තියෙන්න පුළුවන්.

මේ ලෝකේ පිරිවැයක් නැති කිසිම දෙයක් නැහැ කියලා කියමනක් තියෙනවා. ඉතින් උදව් කරලා ඒ උදව් කියව කියව පසු ප්‍රයෝජන බලාගෙන උදව් ගන්න ගියොත් පස්සේ ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා දෙන්නා දෙමහල්ලන්ගේ ඇතිවෙන ඕනෑම ප්‍රශ්නයක් දෙන්නට පුළුවන් විදියට කළමනාකරණය කරගන්න නැත්නම් විශ්වාසවන්තම ළඟම අයගෙන් විතරක් උදව් බලාපොරොත්තු වෙන්න.

ඊළඟ කාරණාව තමයි අඹුසැමි යුවළක් වුණත් නිතර පිටස්තර නිවෙස්වල නතර වෙන්න යන්න එපා කියන එක. පිට ගෙදරක දවස් තුනකට වඩා නතර වෙන්න එපා කියලා ඉස්සර අය කියලා තියෙන්නේ කට කසනවට නෙමේ.

ඉතින් මේ කිව්ව කරුණු කාරණා නිලූෂිටත් ඒ විදියටම පහදලා දුන්නා. විවාහ ජීවිතයේ සැමියාගේ අංක එක බිරිඳ බවත්, බිරිඳගේ අංක එක සැමියා බවත් පිටස්තරයන්ට ඒ තැනට රිංගන්න ඉඩ දුන්නොත් කූඩුව කැඩිලා බිඳිලා යන්න පුළුවන් බවත් මම ඇයට කිව්වා.

ඊටපස්සේ ඇය බොහොම සුහද විදියට සමන්තිට නිවසින් යන්න කියලා තිබුණා. ඊටපස්සේ නිලූෂි ඇය සමඟ ඇයිහොඳයියක් පැවැත්වුවේ නැහැ කියලත් මට ආරංචි වුණා.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි